“රටකට ඕනේ අපමණ අගයක්” ලියූ කැටිපේ අවුරුදු තුනේ වෙනස ගැන කියන කතාව

January 8, 2018 | 10:41 am    0   672

“රටකට ඕනේ අපමණ අගයක්” ලියූ කැටිපේ අවුරුදු තුනේ වෙනස ගැන කියන කතාව

”රටකට ඕනෑ අපමණ අගයක්” ”මෛත්රී පාලනයේ තේමා ගීත රචකයා” ඔබව මෙහෙම හඳුන්වාදීම සම්බන්ධයෙන් තෘප්තිමත් ද?

බාහිර හඳුන්වාදීම් මත ආත්ම තෘප්තිය තීරණය කරන්න මං කැමති නෑ.

සාහිත්ය නිර්මාණකරුවෙක්, ජනමාධ්යවේදියෙක්, නිර්මාණකරුවෙක් මැතිවරණ ප්රචාරණ ව්යාපාරයක කොටස්කරුවකු වීමේ අවුලක් පේන්නෙ නැද්ද?
නෑ. ඇයි දන්නවද? ඔබ ඔය කිව්ව හැම නාමකරණයකටම අයිති උදවිය දැන හෝ නොදැන හෝ තවත් දේශපාලනයක කොටස්කරුවන් වෙනවා. ඒ නිසා එය කොහෙත්ම අරුමයක් නෙවේ. අනෙක් අතට මං ඔය නාමකරණ සියල්ල තිබියදී මාව හඳුනාගන්න කැමති ජනමාධ්ය කම්කරුවෙක් හැටියට. අපි විවිධ කාලවල විවිධ වැඩබිම්වල වැඩකරන මාධ්ය කම්කරුවන්. මාධ්ය කම්කරුවෙක් හැටියට මගේ දේශපාලන අයිතිය තමයි මං පාවිච්චි කළේ. ඒක මරණීය පාපයක් කියා මම සිතන්නේ නැහැ. මගේ ගණන් බැලීම අනුව අදටත් ඒ ගීතය ලිවීම ගැන පසුතැවිල්ලක් නැහැ.

ලංකාවෙ දේශපාලන සන්දර්භය දිහා බලාගෙන මේ මොහොත විස්තර කරන්න පුළුවනිද?

ලංකාව, කොහොමත්, දකුණු ආසියානු දේශපාලනික බලය අඩු නැති රටක්නේ. මෙහෙමයි. කොයි කොයි දේශපාලන බලවේගයත් තමන්ගේම වෙච්ච අභියෝග මාලාවක් එක්ක පොරබදන මොහොතක් මේක. එක පැත්තකින් වාමාංශික දේශපාලනය, තමන්ගේ හැඩතල ආකෘතීන් උපාය උපක්රම පිළිබඳ අලූත් පර්යේෂණ කරමින් ඉන්නවා සහ එවැනි පර්යේෂණ අවශ්ය බව ඒත්තු ගනිමින් ඉන්නවා. අනෙක් පැත්තෙන් දක්ෂිණාංශික දේශපාලනය, තමන්ගේ ලිබරල්වාදී පරමාදර්ශයන් නැවත නැවත අත්හදා බලමින් සිටිනවා. මේ සියල්ල මැද ජාතිවාදය තමන්ගේ සර්ප හිස් ආයෙමත් එළියට දාන්න කල්යල් බලනවා. නැවතත් මේ සමාජය අවදානම් කලාපයකට නොයා තබාගැනීමේ වගකීම ජනයාට තිබෙනවා. ඔවුන් මේ මොහොතේ ඒ ගැන හරියටම දැනුවත් ද නැද්ද කියන එක වෙනම ප්රශ්නාර්ථයක්.

මීට වසර තුනකට එපිට ඉතිහාසයයි අදින් වසර තුනක මෙපිට ඉතිහාසයයි කියන දෙකම එකක් කිව්වොත්?

සමහර සියුම් යථාර්ථයන් කාලයත් එක්ක අමතක වෙනකොට ඔහොම පේන්න පුළුවනි. හැබැයි, පේන දේ ඇත්ත නම් විද්යාවක් අවශ්ය නොවේ කියල කාල් මාක්ස් කිව්වා. දේශපාලනය සංසිද්ධියක් නෙවේ ක්රියාවලියක්. මිනිස්සු විවිධ ආකාරයේ සාමූහික අරගල හරහා සමාජ දේශපාලන අවකාශයන් පුළුල් කරගන්නවා. ඒවා අසීමිත හෝ සර්ව සම්පූර්ණ නැතත් සාපේක්ෂ ජයග්රහණ ගේනවා. මිනිස් ජීවිත පිළිබඳ තීන්දු හරිම සරලව ගත්ත, ඒ තීන්දු ගත්ත උදවියගෙ නමක් ගමක්වත් බීප් නාදය යොදා මිස ප්රසිද්ධියේ මාධ්යයකට කිව නොහැකිව තිබුණු ඉතිහාසයක් එක්ක මේ මොහොත සංසන්දනය කරන කෙනෙකුට වෙනසක් පේන්නෙ නැතනම් ඒක පුදුමයක්. කෙසේ වෙතත් මං මේ කියන්නේ ප්රයෝගික යථාර්ථය හා පොදු දේශපාලන අභිලාෂ අතර අංශු මාත්රයකවත් පරස්පරයක් නෑ කියා නම් නොවෙයි.

”ඔය ගෙනාවෙ ගේනවැයි කියපු අපමණ අගේ..” මෙහෙම මිනිස්සු ආඩපාලි කියද්දි ඒ පාලනය ගේන්න උදව් කරපු අයට රිදෙන්නෙ නැද්ද? විශේෂයෙන්ම මේ අකුරුවල හිමිකරුවට රිදෙන්නෙ නැද්ද? ඒ මිනිස්සුන්ට දෙන්න උත්තරයක් තියෙනවද?

පාන් මිල වැඩි වුණත් පාන් ගෙඩියට අපමණ අගයක් කියල ශීර්ෂ පාඨ වැටෙනකොට, පුංචි හිනාවක් මුවගට නැගෙනවා මිසක රිදෙන්නෙ නම් නැහැ. දේශපාලනය කියන්නේ මොකක්ද කියල ටිකක් විතර දන්න හින්ද දේවල් තේරුම් ගන්න ලේසියි. මේ ක්රීඩාවේ හැටි මෙහෙම තමයි. පිට්ටනියේ මැද හිටියත් වාටියේ හිටියත් තුවාල වෙන්න තියෙන සම්භාවිතාව සමානයි. ඔබේ ප්රශ්නයේ අවසන් කොටසට මම මෙහෙම කියන්නම්. රටක අගය වැඩිකරගන්න එක අරගලයක්. 2015 ජනවාරි 08 නිමාවුණේ ඒ අරගලයේ එක් පරිච්ෙඡ්දයක් විතරයි. දේශපාලනය ඊයෙන් හෝ අදින් අවසන් වන්නේ නැහැ. එය හෙටටත් අපි කාටත් විවෘතයි.

”රටකට ඕනෙ අපමණ අගය” විස්තර කරන්න පුළුවන්ද?

පුළුවන්. මිනිස් නිදහස සුරැුකෙන්න ඕනේ. දේශපාලනය කිරීමේ වරදට මිනිසුන් මරා නොදැමෙන්න ඕනේ. විරුද්ධ මත දැරීමේ වරදට මිනිසුන් අතුරුදන් නොකෙරෙන්න ඕනේ. ජාති ආගම් හැටියට මිනිස්සු භේද භින්න කිරීමේ කුමන්ත්රණ නොකෙරෙන්න ඕනේ. ජාතියක් හෝ ආගමක් නිසා, එහෙමත් නැත්නම් ලිංග භේදය නිසා කිසිදු මනුෂ්යයෙක් පීඩාවට පත් නොවෙන්න ඕනේ. දේශපේ්රමය කියන වචනයට මුවාවෙලා තක්කඩිකම් කිරුළු පැලඳවීම නවතින්න ඕනේ. මිථ්යාව හිස දරාගෙන ඉන්න ඔළුගෙඩි සුද්ද බුද්ද වෙන්න ඕනේ. සංස්කෘතිය කියන්නේ අවුරුදු දෙදහස් පන්සියයක් විතර පරණ හනමිටියක් නොවන බවත් මිනිස් සමාජයේ විවිධත්වයේ විචිත්රත්වය බවත් ඒත්තු යන්න ඕනේ. කොටින්ම මිනිස්සුන්ට මිනිස්සු හැටියට එකිනෙකාට ගරු කරමින් ජීවත් වෙන්න පුළුවන් වෙන්න ඕනේ.

අගය මනින දර්ශකවල අගය එහෙම හිතපු වේගයෙන් ඉහළ යෑමක් නැහැ. (ආර්ථික වර්ධන වේගය, ඒක පුද්ගල ආදායම වගේ නිර්ණායක* ඔය කියන අගය මායාවක්ද?

සමාජ දේශපාලන අගයන් හා ආර්ථික ප්රස්ථාර අගයන් කියන්නේ සංකල්ප දෙකක්. ඒ දෙකට ප්රවේශ වෙන්නෙත් මාවත් දෙකකින්. මම කතා කළේ පළමුවැන්න ගැන.

ස්වාධීන රූපවාහිනියෙ පත්වීමත් එක්ක කැටපෙට නම් මෛත්රී යුගයෙන් ලැබෙන්න ඕනෙ අපමණ අගය ලැබුණා කියපු විවේචකයන්ට මොනවත්ම නොකියා ඉන්නෙ ඇයි?

ස්වාධීන රූපවාහිනියේ කිසියම් වගකීමක් ලැබීමත් මා මැතිවරණ ප්රචාරක ගීතයක් ලියා තිබීමත් අතර ඔය කියන විදිහේ පටු සම්බන්ධයක් තිබුණා නම්, මේ වගකීම ලැබීම ආණ්ඩු පෙරළියෙන් අවුරුදු දෙකකටත් පස්සෙ සිද්ධ වෙන්නෙ නැහැ නේද? නව ජනමාධ්ය ඇමතිවරයා මේ වගකීම භාරගත හැකිදැයි මගෙන් විමසූ මොහොතේ, ටික කාලයක ඉඳන් ජනමාධ්ය ක්ෂේත්රයේ වැඩ කරන කෙනෙක් හැටියට, මට එය භාරනොගෙන සිටින්නට හේතුවක් තිබුණේ නැහැ. ඒක ලාභ ගනුදෙනුවක් නොවන බව නම් ස්ථිරවම කියන්න පුළුවන්. කෙසේවෙතත්, විවේචකයන්ට උත්තර දෙන්න මම උනන්දු නොවුණු බව ඇත්තයි. ඔබ දන්නවද? විවේචනයට ඉඩදී ඒවා විවෘත මනසින් නිරීක්ෂණය කිරීමත්, අර කූඹියෝ ටෙලි නාට්යයේ ජෙහාන් කියනවා වගේ ”වෙනම ආතල් එකක්.”

අලූත් පත්වීමත් එක්ක කැටපේ නිහඬයි. මේක මෙහෙම වුණේ හෘදය සාක්ෂිය එක්ක කරන ගැටුමක් නිසාද?

නිහඬතාව යනුවෙන් ඔබ අදහස් කරන්නේ, මුද්රිත මාධ්යකරණයේ සිට විද්යුත් මාධ්යකරණය වෙත මාරු වනවිට දැනෙන පෙනුමේ වෙනස විය හැකියි. ඒත් හරයෙන් මා නිහඬ නැහැ. ස්වාධීන රූපවාහිනියේ වැඩසටහන් පෙළගැස්ම හරහා මම හිතට එකඟව වැඩකරමින් සිටිනවා.

”ආණ්ඩුවෙ කුණු හෝදපු වොෂින් මැෂින් එක” මෙහෙම තැනක් ඔබ වගේ නිර්මාණකරුවෙක්ට?

රාජ්ය මාධ්ය සම්බන්ධයෙන් කාලයක සිට කියැවෙන ජනප්රිය විවේචනය ඕක තමයි. මම කැමතියි ඔබට වෙනත් කලාපයක් පෙන්වන්න. බොහොමයක් මාධ්ය මැෂින් කාගේ හෝ කුණු හෝදනවා වගේම අලූත් කුණුවලින් මිනිස්සුන්ගෙ ඔළු ගෙඩි පුරවනවා. මැෂින් කීයකින් මිථ්යාව වපුරනවද? හක්ගෙඩිවල සිට කේන්දර රාහු කාල හරහා ෆෙන්ෂුයි පාන් ගෙඩි දක්වා මිථ්යා ප්රවාහයක් දිනපතා ඒ මැෂින්වලින් මුදා හරිනවා. ඒ වගේම මිථ්යාව මුදල් බවට පත්කරනවා. මට වඩා මේ ක්ෂේත්රයේ ප්රවීණයකු වන, නිර්මාණකරුවකු ලෙස ලොකු නමක් දිනාගත්, සමන් අතාවුදහෙට්ටි සභාපතිවරයා පාලනය කරන ස්වාධීන රූපවාහිනිය, එවැනිම ප්රවීණයකු වන චන්දන තිලකරත්න ප්රධාන විධායක නිලධාරියා වන ස්වාධීන රූපවාහිනිය, එක දශමයකින් මිථ්යාව වැපිරීමට දායක වන්නේ නැහැ. ඒක ප්රතිපත්තියක්. වෙළෙඳ ඉලක්ක වෙනුවෙන් ඒ ප්රතිපත්තිය පාවා දෙන්නේ නැහැ. එහෙම තැනක වැඩ කරන එක අමාරු අත්දැකීමක් නෙවෙයි.

”අලූත් පරපුර” සම්බන්ධයෙන් බොහෝ දෙනකුට අද තියෙන්නෙ විවේචනයක්?

මම අලූත් පරපුර සංවිධානයේ මුලින් හිටියේ නැහැ. කුඹුක්ගැටේ මැර ප්රහාරයට එරෙහිව පැවැත්වූ මාධ්ය හමුවට සහභාගි වීමෙන් අනතුරුව නිදහස් ක්රියාකාරියෙක් ලෙස ඒ මගේ හිතවත් සහෝදර සහෝදරියන්ට සහාය පළ කළා. ඔබ කියන විවේචනය කුමක්දැයි මට පැහැදිලි නැහැ.

වේදිකාවේ හිටපු කැටපෙ එකපාරටම තිරය පිටුපස භූමිකාවක් භාරගත්තෙ ඇයි?

වේදිකාව සහ තිරය අතර බෙදුම් රේඛා ඉක්මනින් මැකී යන නාටකීය යථාර්ථයක, අපි හැමෝම වේදිකාව සහ පේ්රක්ෂකාගාරය යන දෙකම එකවර නියෝජනය කරනවා.

කිසියම් මැතිවරණ ව්යාපාරයකට ක්රියාකාරීව සම්බන්ධවුණ කෙනෙක්ට මධ්යස්ථ පෙනීසිටීමක් තියෙන්න පුළුවනිද?

මධ්යස්ථභාවය කියන්නේ විශාල මායාවක්. මම මධ්යස්ථ නැහැ.

වාසනා සුරංගිකා විතානගේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: