රටේ බතට කෙලින හාල් මෝල්ලු

February 23, 2017 | 11:04 am    0   385

රටේ බතට කෙලින හාල් මෝල්ලු

මේ දිනවල අපේ රටේ බොහෝ දෙනාගේ කතාබහට ලක්ව තිබෙණුයේ සහල් මිල ගණන්ය. ඒ සමඟ හිඟයක් පිළිබඳ බියක්ද පවතී.

ඉදිරි කාලයේ රටේ ඇතිවිය හැකියැයි කියන බරපතළ නියඟයක් පිළිබඳව ආරංචියත් සමඟ සහල් අර්බුදය මුලින්ම පැන නැගුණේය.

ඒ සමඟම කිසිදු අවහිරයකින් තොරව දිනෙන් දින සහල් මිල ඉහළ ගියේය. වෙළෙඳපොළේ අන් කවරදාකටත් වඩා සහල් ගිනි ගාණට අලෙවි කෙරෙන බවට නැඟුණු පාරිභෝගික මැසිවිල්ලට පිළියම් ලෙස රජය විසඳුම් ක්‍රියාමාර්ග දෙකකට යොමු විය.

ඉන් එකක් නම් වෙළෙඳපොළේ සහල් සුලබ කිරීම සඳහා දේශීය පාරිභෝජනයට අවශ්‍ය පරිදි සහල් පිටරටින් ආනයනය කිරීමයි. අනෙක සහල් සඳහා රජය පාලන මිලක් පැනවීමයි. එහෙත් එමගින් රජය අපේක්ෂා කළ අරමුණු ඉටුවීද යන්න විමසා බැලිය යුත්තකි.

එතෙක් වෙළෙඳපොළේ හිතූ ගණන්වලට අලෙවි කළ දේශීය සහල් තොග හිටි අඩියේම අතුරුදන්ව ගියේය. නැතොත් සැඟවුණේය. ආනයනික සහල්වලින්ද පාරිභෝගිකයාගේ ඇස්වලට වැලි ගසා කෙරෙන හොර මගඩි පිළිබඳව කරළියට ආවේය.

පොළොන්නරුවේ ප්‍රමුඛ පෙළේ සහල් මෝල් හිමියකු මෙන්ම සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපතිවරයාද වන ගාමිණී කුමාරසිංහ මහතා මාධ්‍ය හමුවක් කැඳවමින් මේ පිළිබද වැඩිදුරටත් අදහස් දැක්වීය.

වී කිලෝවට ගෙවන ගාණ පාරිභෝගිකයාට වැඩක් නෑ

සහල් සඳහා රජය පනවා තිබූ පාලන මිල සංශෝධනය කරවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එකඟ කරවා ගැනීමට හැකිවීම සහල් මෝල් හිමියන් පමණක් ගොවි ජනතාවද ලැබූ ජයග්‍රහණයක් යැයි සමස්ත ලංකා සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ගාමිණී කුමාරසිංහ මහතා පවසයි.

“අපි ජනාධිපතිතුමා සමඟ පැවැති සාකච්ඡාවේදී දීර්ඝ වශයෙන් පැහැදිලි කළා මේ පවතින සහල් පාලන මිල යටතේ ගොවියාගේ වී කිලෝ එකට ලැබෙන මිල පිළිබඳව. ඇත්ත වශයෙන්ම මෙහිදී වැඩිම අසාධාරණය සිද්ධ වෙන්නේ ගොවියාට. පැහැදිලිවම වී කිලෝ එකක මිල රුපියල් 28ට, 30ට අඩුවෙනවා, රුපියල් 72ට නාඩු සහල් කිලෝ එක වික්කොත්. එම නිසා රුපියල් 80ට නාඩු කිලෝ එකක පාලන මිල නියම කරන්න ජනාධිපතිතුමා එකඟ වුණා, සම්බා හාල් කිලෝ එකක රුපියල් 90ක පාලන මිලටත්. ඒ වගේම ජනාධිපතිතුමා සමඟ මේ සාකච්ඡාව කරලා මිල සංශෝධනයක් කරගන්නා තෙක් වෙළෙඳපොළට නිකුත් නොකර තිබුණු දේශීය සහල් වෙළෙඳපොළට නිකුත් කිරීමත් අපි මෙතැන් සිට ආරම්භ කරනවා. මේක මෝල් හිමියන්ගේ පමණක් නොවෙයි ගොවි ජනතාවගේත් විශාල ජයග්‍රහණයක්” යැයි ද ගාමිණී කුමාරසිංහ මහතා කීවේය.

රටේ වී අස්වනු බහුලව වෙළෙඳපොළට පැමිණෙන කාලයට නැතහොත් වී අස්වැන්න නෙළන සමයේ ගොවියාගේ වී ටික කුණු කොල්ලයට මිලදී ගැනීම කරනු ලබන්නේ මෝල් හිමියන් බව ප්‍රකට කරුණකි.

මෙදා ගොවීන් පිළිබඳව අනුකම්පා ඉපිද උණුවූ සිත් ඇතිව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට කරුණු කියන්නට ඉදිරිපත් වී ඇත්තේද එම මෝල් හිමියන්මය.

තමන්ද ගොවි දුක දන්නා ගොවි පරපුරේ එකෙකැයි නිතරම පාහේ ප්‍රකාශ කරන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙවර සහල් කිලෝවේ පාලන මිල වෙනස් කොට ඉහළ ලංසුවකට යන්නට තීරණයකට එළඹ සිටීම එක් පැත්තකින් මෝල් හිමියන්ගේ බහට අවනතව නොව ගොවියා ගැන සිතාගනු ලැබුවක් යැයි ඇතැමකුට සැනසෙන්නටද පිළිවන. මක්නිසාද යත් තමන් ගොවියකුයැයි පවසන ජනපති මෛත්‍රී කලකට පෙර ගොවීන්ගේ අයිතින් වෙනුවෙන් අරගලකොට ඒවාට නායකත්වය දී මතුව ආ දේශපාලන චරිතයක් නිසාය.

මූලාශ‍්‍රය – දේශය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: