රටේ රිමෝට් එක කාන්තාවට

March 8, 2017 | 8:00 am    0   327

රටේ රිමෝට් එක කාන්තාවට

මාර්තු 8 වෙනිදට යෙදෙන කාන්තා දිනය නිමිතිකොටගෙන ශ්‍රී ලංකා පවුල් සංවිධානය සංගමයේ පණිවුඩයකි

මේ ගෙවෙන්නේ 2017 අවුරුද්දේ මාර්තු මාසය. අවුරුද්දට තියන දවස් 365න් වැඩි ප්‍රමාණයක් විවිධාකාර වූ දින වෙනුවෙන් වෙන්වෙලා තියන අපේ කැලැන්ඩරයේ ඉදිරියට එන මාර්තු 8 දිනයත් විශේෂ දිනයක් කියලා සඳහන් වෙලා තියනවා. විශේෂත්වය විදිහට සටහන් වෙලා තියෙන්නේ නම් International Women’s Day එහෙමත් නැතිනම් ජාත්‍යන්තර කාන්තා දිනය කියලා. හැම අවුරුද්දෙම මේ කාන්තා දිනය වෙනුවෙන් වැඩසටහන් බොහෝමයක් සංවිධානය වෙනවා. TV, Radio හැමතැනම එදා දවස කාන්තාවන් වෙනුවෙන් වෙන් වෙනවා. හැබැයි ඇයි අපි මේ කාන්තා දිනය සමරන්නේ කියලා ඇහුවොත් මේක කාන්තාවන් බලගැන්වීමේ හා සවිමත් කිරීමේ අරමුණින් කරන වැඩක් කියලා හැමෝම පුරුද්දට වගේ කියයි. හැබැයි විශේෂයෙන්ම මේ සමාජයේ පිරිමියා හා කාන්තාව අතර තියන යම් කිසි වෙනසක් හේතුකොට ගෙන කාන්තා අයිතිවාසිකම් සුරැකීම මූලික කරගෙන තමයි මේ වෙද්දි සෑම වසරකම මාර්තු මාසයේදී ජාත්‍යන්තර වශයෙන් මේ කාන්තා දිනය සැමරෙන්නේ.

ඒ හැම අවුරුද්දකදීම කාන්තා අයිතීන් ගැන, කාන්තා හිංසනය පිටුදැකීම ගැන ගොඩනැඟෙන කතාබහ ප්‍රතිඵල රහිත එකක් ද කියලා අපට දෙගිඩියාවක් ඇතිවෙන්නේ ඊළඟ අවුරුද්දේ කාන්තා දිනයේදීත් නැවත ඒ කතාබහම ගොඩනඟන්න සිද්ධ වෙන තත්ත්වයක් ඒ වෙද්දි උදාවෙලා තියන නිසා. කාන්තාවක් කොහොමද තමන්ට හිමි අයිතිවාසිකම් පිළිබඳ දැනුවත් වෙන්නේ? එහෙමත් නැත්නම් කාන්තාවක් විදිහට තමන්ට හිමි අයිතිවාසිකම් අහිමි වෙලා තියෙන්නේ ඇයි කියන කාරණාව ගැන අද සමාජය තුළ තියන අනවබෝධය තමයි මේ ගැටළුවට ප්‍රධාන වශයෙන්ම හේතුවෙලා තියෙන්නේ.

සාමාන්‍යයෙන් ලංකාවේ ජනගහනයෙන් අවුරුදු 10-16 අතර තරුණ ජනගහනය 16%ක් ලෙසත්, වයස 16-19 අතර ජනගහනය 20%-23% ලෙසත්, පොදුවේ සම්පූර්ණ තරුණ ජනගහණය සැලකූ විට වයස අවුරුදු 10-29 අතර ජනගහනය 30%කට වැඩි ප්‍රමාණයක් ලෙස තමයි වාර්තා වෙන්නේ. මේ 30%න් හරි අඩකටත් වැඩි පිරිස කාන්තාවන්. පොදු සමාජය දිහා බැලුවමත් මේ තත්ත්වය මේ විදිහම තමයි. ලංකාවේ කාන්තාවන්ගේ ආයු කාලය පිරිමි පාර්ශවයට වඩා වැඩිවීම මේකට එක හේතුවක්. නමුත් තමන්ගේ උපතේ සිට මියයන තුරුම කාන්තාවන්ගේ අයිතිය සුරැකීමේදී සැළකිලිමත් විය යුතු පැතිකඩයන් සම්බන්ධයෙන් අද බොහෝ දෙනා විශේෂයෙන්ම කාන්තාවන් පවා දැනුවත් නැහැ. හැබැයි කාන්තාවක් විදිහට තමන්ගේ අයිතීන් සුරැකීම ගැන කතා කරද්දී විශේෂයෙන්ම අවධානය යොමු කරන්න ඕන පැතිකඩයන් කිහිපයක් තියනවා.
එක, කාන්තාවන්ගේ සෞඛ්‍ය තත්ත්වය. දෙක, අධ්‍යාපනික මට්ටම. තුන, තමන්ගේ රැකියාවේ සුරක්ෂිතභාවය. හතර, සමාජීය තත්ත්වය පිළිබඳ හොඳ අවබෝධයක් පැවතීම. පහ, කාන්තාව සහ නීතිය.

මෙතනදී මූලික වශයෙන්ම සෞඛ්‍ය තත්ත්වය තමයි ප්‍රධාන වෙන්නේ. මොකද සෞඛ්‍ය කියන්නේ ඉපදුණ දවසේ ඉඳලා මියයන තුරුම ජීවිතයට බලපෑම් කරන්න පුළුවන් වැදගත්ම සාධකයක්. මෙතනදී තමන්ගේ සෞඛ්‍ය ගැන තමන් කොයිතරම් දුරට උනන්දු ද කියන කාරණය ප්‍රධාන වශයෙන් බලපානවා. තමන්ගේ දුව පුංචි කාලේ එයාගේ සෞඛ්‍ය ගැන අම්මලා තාත්තලා හරිම සැළකිලිමත්. හැබැයි ඒ පුංචි දුව වැඩිහිටියෙක් බවට පත්වෙද්දි තමන්ගේ සෞඛ්‍යයට වඩා අනිත් අයගේ සෞඛ්‍ය ගැන තමයි අවධානය දෙන්නේ. නමුත් ගෑණු ළමයෙක් වැඩිවියට පත්වුණ දවසේ ඉඳලා ඊට අදාළව තමන්ගේ ජීවිතයේ යම් යම් සංධිස්ථානවලදී සෞඛ්‍ය කොහොමද මූලික විය යුත්තේ කියලා තමන්ට මූලික අවබෝධයක් තිබීම බොහොම වැදගත්. අපි අර කලින් කියපු වයස් පරතරය තුළ කාන්තාවක් විදිහට සෞඛ්‍ය සම්පන්න වෙනවා වගේම තමන්ම තමන්ගේ ශක්තීන් වර්ධනය කර ගැනීම සිදු කරගැනීමත් වැදගත්. ඕනම කෙනෙක් රැකියා කරන මේ කාලය තමයි ඊට සුදුසුම කාලය කියලා මේ වෙද්දි විද්‍යානුකූලවත් හඳුනාගෙන තියනවා.

කාන්තාවක් වුණාම තමන්ට තමන් පාලනය කිරීමේ හැකියාවක් තිබිය යුතුමයි. පවුල් සංවිධාන ක්‍රමය ලෝකෙට හඳුන්වාදීම කාන්තාවන් තුළ තිබුණ ඒ ධෛර්යය වැඩිදියුණු වන්නට ප්‍රධානම හේතුවක් වුණා වගේම ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය හරහා අපේ රටේ කාන්තා අයිතීන් වෙනුවෙන් ලැබෙන ශක්තියත් අමතක කරන්න බැහැ.
දැන් එතකොට කාන්තාවක් තමන්ට තමන්ගේ ශක්තිය, තමන්ව පාලය කරගැනීමේ හැකියාව ගොඩනඟා ගන්නවා කියන්නේ මොකක්ද, මම කොච්චර කාලයක් ඉගෙනගන්නව ද, මොනව ද ඉගෙනගන්නේ? මම විවාහ වෙන්නේ වයස කීයෙදි ද? විවාහයෙන් පස්සේ මම රැකියාවකට යනව ද නැද්ද, විවාහයෙන් පස්සේ දරුවන් හදනව ද නැද්ද, මම රැකියාවේ කොතරම් කල් දරුවන් නො ලබා ඉන්නව ද නැද්ද, කියන කාරණා පිළිබඳ තීරණ ගැනීමේ හැකියාව ඕනෑම කාන්තාවකට ලැබෙන්නේ තමන්ට තමන්ව පාලනය කිරීමේ හැකියාව තිබුණොත් විතරයි. මේ කියන කාරණා පිළිබඳ අවබෝධය සම්පූර්ණයෙන්ම ලැබෙන්නේ අපි අර කලින් කතා කළ පවුල් සංවිධානයත් එක්ක. එක්දහස් නවසිය විසි ගණන්වල කාන්තාව ගත්තොත් ඔවුන් කළේ විවාහයෙන් පස්සේ දිගටම දරුවන් හදන එකම පමණයි. මාතෘ මරණ අනුපාතයත් සෑහෙන්න ඉහළ මට්ටමක තමයි පැවතුණේ. සෞඛ්‍යමය ගැටලු බොහොමයක් තිබුණා. සංවර්ධනය ක්‍රියාවලියට දායක වෙන්න ඔවුන්ට අවස්ථාව ලැබුණේ නැහැ. එයට ප්‍රධාන ලෙසම බලපෑවේ එකල තරුණියකගේ විවාහයෙන් පස්සේ ඇය හැකි ඉක්මණින් මවක් විය යුතු යැයි සමාජය විසින් තීරණය කර තිබීමයි. නමුත් අද වෙද්දි තත්ත්වය වෙනස්. විවාහයෙන් පස්සේ ඇය නිශ්චිතවම තීරණය කරනවා මවක් විය යුතු කාලය. මොකද ඇය දන්නවා ඒ කාලය තමයි එයට සුදුසුම කාලය කාලය කියලා. ඒ විදිහට තීරණ ගන්න කාන්තාවක් තමයි ශක්තිමත් වෙන්නේ මම ඩිග්‍රි එකක් කරනවා, මම ඉස්සෙල්ලම ලෝන් එකක් අරගෙන ගෙයක් හදනවා වගේ තමන්ගේ අනාගතය බය නැතුව සැලසුම් කරගන්න.

ප්‍රශ්නේ පටන්ගන්නේ එතනින් එහාට. අපි අර කිව්ව විදිහට ශක්තිමත් වෙන කාන්තාව සමාජයට යද්දි තත්ත්වය ඊට වඩා ටිකක් වෙනස්. මොකද කාන්තාව කෙතරම් බලවත් වුණත් සමාජය තාමත් බලාපොරොත්තු වෙන්නේ අතීතයේ කාන්තාවමයි. සෞඛ්‍ය හා අධ්‍යාපනය අතින් කාන්තාව ඉදිරියට ගියත් සමාජීය හා ආගමික වශයෙන් ඇයට ඒ අවස්ථාව තවමත් සලසලා නො දීම කණගාටුවට කාරණයක්. මානව අයිතිවාසිකම් තුළින් ලැබුණ සමානාත්මතාවය සමාජීය වශයෙන් තවමත් ඇයට ලැබිලා නැහැ. සෞඛ්‍ය සම්පන්න, සවිබල ගැන්වුණු මේ කාන්තාවට රැකියාවට යන්න ගෙදරින් එළියට බැස්සට පස්සේ සැලකුම් ලැබෙන්නේ සමාජයේ දෙවැනි පන්තියේ පුරවැසියෙක් හැටියට. මෙන්න මේ මානසිකත්වය සමාජයෙන් ඉවත් කරනතුරු කාන්තා දිනය සැමරීම, කාන්තා අයිතීන් ස්ථාපිත කිරීම පිළිබඳ යහපත් බලාපොරොත්තු ඇති කරගැනීම අපහසු කාර්යයක්. මේ හේතුව නිසා තරුණ පරම්පරාව ඒකරාශී කරගෙන සමාජය හා ගැටෙන මේ කාන්තාව, තමන් හා සමාන කෙනෙක් කියලා සළකන්න පුළුවන් ආකාරයේ වටපිටාවක් ගොඩනැඟීම මේ වනවිට පවුල් සෞඛ්‍ය සංවිධානය අභියෝගයක් ලෙසින් බාරගෙන තිබෙනවා.

කාන්තාවගේ සෞඛ්‍ය තත්ත්වය, අධ්‍යාපන මට්ටම අද වෙද්දි කොතරම් ඉහළ මට්ටමක තිබුණත් රැකියා අතින් කාන්තාවන්ගේ දායකත්වය තවමත් 30% වගේ ප්‍රමාණයකට සීමා වෙලා තියනවා. තමන්ගේ ආර්ථිකය ශක්තිමත් කරගන්න ඇයි කාන්තාව තවමත් ඉදිරිපත් වෙන්නේ නැත්තේ, මොකක්ද තියන බලපෑම කියන එක අද වෙද්දි මතුවෙලා තියන ලොකු ප්‍රශ්නයක්. ගෙදර අම්මා හෝ තාත්තා රැකියාවක් නො කළා කියලා ගැටළුවක් නෑ. නමුත් ඔවුන්ගේ පුංචි දරුවට ගෙදර ඔවුන් එක්ක පැය 24 හිටියා කියලා ලැබෙන දැනුම මොකක් ද? අවධානය දෙන්න ඕන අන්න ඒ ගැන. දවසම ගෙදර ඉඳගෙන කෑම උයලා, රෙදි සෝදලා ගෙදර වැඩ කරලා විතරක් මදි. දරුවට 21 වන සියවසට මූණ දෙන්න අවශ්‍ය වෙන ශක්තිය දැනුම රැකියාවක් නො කර ගෙදර ඉන්න අම්මගෙන් ලැබෙන්න ඕන. නව තාක්ෂණය ගැන දැනුවත් වෙන්න ඕන. එහෙම නැතුව දවස තිස්සෙම ටීවී එක ළඟ වාඩි වෙලා අතේ තියාගෙන ඉන්න ටීවී රිමෝට් එක බිමින් තියලා සමාජයේ රිමෝට් එක අතට ගන්න වෙලාව දැන් ඇවිල්ලා තියෙන්නේ. ඒ වෙනුවෙන් කාන්තාවක් ශක්තිමත් වෙන්න ඕන කියලා අපි කිව්වේ අන්න ඒකයි. මෙතනදි පවුලක් වශයෙන් එකතුවෙලා සාකච්ඡා මාර්ගයෙන් තීරණවලට එළඹෙන එක මිසක් බලපෑම් කරලා පවුලේ අයගේ අවශ්‍යතා වෙනුවෙන් කාන්තාව යොදාගැනීම සිදු නො විය යුතුයි.

තමන්ට තනිවම මේ වැරදි ආකල්පවලින් මිදිලා හැමෝටම සමානාත්මතාවයෙන් සළකන්න, ඔයයි එයයි අතර වෙනසක් නෑ කියලා හිතන්න පුරුදු වෙන තරමට ඒක මුළු සමාජයටම බලපාන කාරණයක් වෙයි. අන්න ඒ අභියෝගය අපි සාර්ථකව ජයගත්ත දවසට ඇත්තටම කාන්තා අයිතීන් සුරකින්න, කාන්තා හිංසනය පිටුදකින්න වගේම හරි විදිහට කාන්තා දිනය සමරන්නත් අපිට පුළුවන් වෙයි. මේක සමාජ මෙහෙවරක් විදිහට සළකලා රටක් වශයෙන් ගොඩනැඟෙන එක අපි හැමෝගෙම වගකිමක්. ඔයා රටේ හොඳ පුරවැසියෙක් කියලා බය නැතුව කියන්න අවස්ථාව ලැබෙන්නෙත් අන්න ඒ ආකල්පමය වෙනස ගොඩනඟාගත්තොත් විතරයි කියන එකත් හොඳින් මතක තියාගන්න.
තොරතුරු,

මානව විද්‍යාඥ මදූ දිසානායක
අධ්‍යක්ෂිකා
මහජන සම්බන්ධතා, ප්‍රතිපත්ති සහ අධිවාචන ඒකකය
ශ්‍රී ලංකා පවුල් සංවිධානය සංගමය

රිද්මි පතිරණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: