රටේ සම්පත් ඉන්දියවට විකුණන කිසිඳු ගිවිසුමකට අත්සන්කර නෑ – අගමැති

May 4, 2017 | 11:00 am    0   111

රටේ සම්පත් ඉන්දියවට විකුණන කිසිඳු ගිවිසුමකට අත්සන්කර නෑ – අගමැති

රටේ සම්පත් ඉන්දියවට විකුණන කිසිඳු ගිවිසුමකට රජය ඇතුළත් වී නොමැති බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ(03) පැවසීය.
පසුගියදා තමන් සිදුකළ ඉන්දීය සංචාරයේදී ඉන්දීය රජය සමඟ ආර්ථික සංවර්ධන ව්‍යාපෘති නවයක් ක්‍රියාත්මක කිරීම අවබෝධතා ගිවිසුමක් අත්සන් කළ බවත් අගමැතිවරයා‍ පැවසීය.
ත්‍රීකුණාමලය තෙල් ටැංකි, වරාය, දුම්රිය,මාර්ග ඇතුළු ව්‍යාපෘති නවයක් සඳහා අත්සන් කළ අවබෝධතා ගිවිසුම දේශපාලනික, හා ප්‍රතිපත්ති එකඟතායක් පමණක් බවත් අගමැතිවරයා පැවසීය.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ මහතා මතුකරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි .
අදාළ සංවර්ධන ව්‍යාපෘති සඳහා නීතිමය ගිවිසුම් අත්සන් කිරීමේදි සියළු පාර්ශ්වයන්ගෙන් විමසා පාර්ලිමේන්තුව දැනුවත් කරන බවත් අගමැතිවරයා කීය.
වත්මන් රජය රටේ සම්පත් විකුණන බවට ඒකාබද්ධ විපක්ෂය ප්‍රචාර ගෙන ගියත් වත්මන් රජය ජාතික සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගෙන ණය උගුලෙන් බේරිමට කටයුතු කරන බවත් ‍අගමැතිවරයා සඳහන් කළේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා:- ලංකා රජය වෙනුවෙන් සංවර්ධන ක්‍රමෝපාය හා ජාත්‍යන්තර වෙළඳ ඇමති මලික් සමරවික්‍රම මහතා මෙම ගිවිසුම් අත්සන් කලා. මෙම අවබෝධතා ගිවිසුමේ ප්‍රධානම අරමුණ වුනේ ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර ආර්ථික සහයෝගීතාවය වර්ධනය කිරීම තුලින් දෙරටටම වාසි සැලසෙන ආකාරයට ඉදිරියේදී කටයුතු කිරීමට ප්‍රතිපත්තිමය රාමුවක් පිළිබඳව එකඟතාවයකට පැමිණීමයි.
මෙම අවබෝධතා ගිවිසුම හරහා පහත සඳහන් සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධව ප්‍රතිපත්තිමය එකඟතාවයකට එළැඹුනා. මෙගා වොට් 500 ක LNG විදුලි බලාගාරයක් ලංකාවේ ඉදි කිරීම,මෙගා වොට් 50 ක සුර්ය තාප විදුලි බලාගාරයක් ලංකාවේ ඉදි කිරීම,
ත්‍රිකුණාමලය ඉහල තෙල් ටැංකි තවාන ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව හා ලංකා-ඉන්දීය තෙල් සමාගම එක්ව ආරම්භ කරනු ලබන හවුල්කාර සමාගමක් යටතේ සංවර්ධනය කිරීම,ත්‍රීකුණාමලය වරාය සංවර්ධනය හා තෙල් පිරිපහදුව ඇතුළු කර්මාන්ත සංවර්ධනය, ශ්‍රී ලංකාවේ හඳුනාගත් ප්‍රදේශ වල විශේෂිත ආර්ථික කලාප ඇති කිරීම,මන්නාරම සිට යාපනය දක්වා මහාමාර්ගය, මන්නාරම සිට ත්‍රීකුණාමලය දක්වා මහාමාර්ගය, දඹුල්ල – ත්‍රීකුණාමලය අධිවේගී මාර්ගය ඉන්දීය ආයෝජන යටතේ ඉදිකිරීම,ලංකාවේ දුම්රිය මාර්ග සංවර්ධනය,කොළඹ වරායේ නව බහාලුම් පර්යන්තයක් ඉදිකිරීම,කෘෂිකර්ම හා පශු සම්පත් අංශ වල සංවර්ධනය ආදිය එම ව්‍යාපෘති නවයට ඇතුළත්.
මෙහිදී මම විශේෂයෙන්ම සඳහන් කරන්න අවශ්‍යයි අපි ඉහත ව්‍යාපෘති සම්බන්ධව කිසිම ගිවිසුමකට ඇතුලත් වුනේ නැහැ. දේශපාලනික වශයෙන් දෙරට අතර ප්‍රතිපත්තිමය එකඟතාවයකට පමණයි එළැඹුනේ. ඒවා ක්‍රියාත්මක කිරීමේ දී අදාල අමාත්‍යාංශ හා ආයතන විසින් අදාල පාර්ශව සමඟ සාකච්ඡා කොට අවශ්‍ය පියවර ගත යුතුයි. එම අවබෝධතා ගිවිසුමේ පිටපතක් මම සභාගත කරනවා.
ඉන්දීය රජය සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට ආර්ථික කළමනාකරණය පිළිබඳ කැබිනට් කමිටුව විසින් තීරණය කිරීමෙන් අනතුරුව මවිසින් එහි කෙටුම්පතක් 2017 අප්‍රේල් මස 04 වෙනි දින පැවති කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කලා. එහිදී තීරණය වුනේ අදාල අමාත්‍යවරුන් සමඟ තවදුරටත් සාකච්ඡා කොට අවශ්‍ය සංශෝධන සිදු කිරීමටයි. ඒ අනුව, සංශෝධිත කෙටුම්පත මවිසින් 2017 අප්‍රේල් මස 25 වෙනි දින පැවති කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කලා. එහිදී මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමි වුණා. එහිදී මෙම අවබෝධතා ගිවිසුමේ සඳහන් සංවර්ධන ව්යාමපෘති සම්බන්ධව වෙන වෙනම සවිස්තරාත්මක අමාත්‍ය මණ්ඩල පත්‍රිකා ඉදිරිපත් කිරීමටත් තීරණය වුනා.
ත්‍රීකුණාමලය තෙල් ටැංකි 2003 ඉදන් බදු දීලයි තිබුනෙ. පසුගිය රජය විසින් නොකඩවාම සෑම වසරකම වසරකට ඩොලර් ලක්ෂය බැඟින් ඉන්දියාවෙන් බදු මුදල් අරගත්තා. ඒ කවුරුත් සල්ලි එපා කිවුවේ නැහැ. අපි බලන්නේ ඉන්දියාවට බදු දීලා තියෙන මේ තෙල් ටැංකි ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව හා ලංකා-ඉන්දීය තෙල් සමාගම එක්ව ආරම්භ කරනු ලබන හවුල්කාර සමාගමක් යටතට පවරලා සංවර්ධනය කරන්නයි. ඉදිරි අවුරුදු 50 – 60 තුලදී ඉන්දියාවේ විශාල තෙල් ඉල්ලුමක් ඇති වෙනවා. අපි බලන්නේ තෙල් ගබඩා කරලා ඉන්දීය තෙල් වෙලඳපොළට ඇතුල් වීමට ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවට අවස්ථාව ලබා දෙන්නයි. කාටවත් මේ යෝජනාවට විරුද්ධ වෙන්න හේතුවක් නැහැ. ඒ වගේම මම විශේෂයෙන් සඳහන් කරන්න කැමතියි මෙම හවුල්කාර සමාගමේ කොටස් පිළිබඳව හෝ වෙනත් කිසිදු කරුණක් සම්බන්ධයෙන් කිසිම එකඟතාවයක් ඇති කරගෙන නැහැ. ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ගරු ඇමතිතුමා විසින් අදාල පාර්ශව සමඟ සාකච්ඡා කරලා ඉදිරි පියවර ගත යුතුයි. ඒ ආකාරයට අවසන් එකඟතා වලට ඇතුලත් වූ වහාම ඒ සම්බන්ධව පාර්ලිමේන්තුව දැනුවත් කිරීමට කටයුතු කරනවා.
ඒකාබද්ධ විපක්ෂය විසින් අපේ රටේ සම්පත් ඉන්දියාවට විකුණන්න යනවා කියලා විශාල ප්‍රචාරයක් ගෙන යනවා. මම කියන්න කැමතියි අපිත් මේ රටේ ඉපදිලා මේ රටේ ජීවත් වෙන අය. අපේ රටේ සම්පත් පිටරට විකුණන්න අපිට කිසිම උවමනාවක් නැහැ. ත්‍රීකුණාමලය තෙල් ටැංකි නිකරුණේ දිරාපත් වෙමින් පවතිනවා. ඒ වගේ ජාතික සම්පත් ප්‍රයෝජනයක් නොගෙන නිරපරාදේ විනාශ වෙන්න ඉඩ හරින එකයි ජාතික අපරාධයක් වෙන්නේ. අපි උත්සාහ කරන්නේ අපිට තිබෙන ජාතික සම්පත් වලින් උපරිම ප්‍රයෝජනයක් අරගෙන ණය උගුලක හිරවෙලා ඉන්න අපේ රට බේරගන්න කියලා අවසාන වශයෙන් කියන්න කැමතියි..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: