රට පුරා වෛරසය පැතිරෙයි

April 7, 2017 | 3:00 pm    0   135

රට පුරා වෛරසය පැතිරෙයි

ලංකාව පුරා මේ වනවිට වෛරස් උණක් පැතිර යාමේ අවධානමක් ඇතිවෙමින් පවතී. AH1-N1 ලෙස හඳුන්වන මෙම වෛරසය හරහා හටගන්නා උණ තත්ත්වය ජීවිත තර්ජනය සහිත භයානක රෝගී තත්ත්වයක් ලෙස හඳුනාගෙන තිබේ. සමූහයක් වශයෙන් ගැවසෙන ස්ථනාවල මෙම වෛරස් උණ රෝගය පැතිරයාමේ අවධානය වැඩි අතර මේ හරහා වැඩි බලපෑමකට ලක්වෙන්නේ ගර්භණී මව්වරුන් හා මහළු වයසේ පසුවන වැඩිහිටි පිරිසත් අවුරුදු 4ට අඩු ළදරුවන් වැනි ප්‍රතිශක්තිකරණ ශක්ති මට්ටම දුබල පිරිස් වන බව වෛද්‍යවරුන් ප්‍රකාශ කරයි.
එබැවින් මහළු වයසේ පසුවන්නන් ගර්භණී මව්වරුන් හා කුඩා බිළිඳුන් ඇතුළු ප්‍රතිශක්තිය අඩු පිරිස් මේ රෝගී තත්ත්වයෙන් විශේෂයෙන්ම ආරක්ෂා විය යුතු බව ඔවුන් අවධාරණය කරයි. සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වය, නාසයෙන් සොටුදියර ගැලීම හා ශ්වසන අවහිරතා යන රෝග ලක්ෂණයන් මෙහි මූලික රෝගී තත්ත්වයන් වන අතර උණ තත්ත්වය ක්‍රමයෙන් වැඩිවීමත් සමඟින් තද උණ සමඟ හිසරදය, හුස්ම ගැනීමේ අපහසුතාවය, නාඩි වැටීමේ වේගය වැඩිවීම මෙන්ම වමනය, බඩ රිදීම වැනි රෝග ලක්ෂණයන් සහ සෙසු ශරීරාංගවල වේදනාවන්ද හටගන්නා බව වෛද්‍යවරුන් ප්‍රකාශ කරයි. ශරීරයේ ඔක්සිජන් ප්‍රමාණය අඩුවීමත් සමඟින් ඇතිවන ස්වසන අවහිරතා මෙහි මූලික රෝගී ලක්ෂණයක් වන අතර සෙම්ප්‍රතිශ්‍යාව මෙහි ප්‍රාථමික රෝගී තත්ත්වය වේ.
මෙම රෝගය හේතුවෙන් දැනට රුහුණු සරසවියේ පීඨ දෙකක් වසා දමා ඇති අතර කඹුරුපිටිය මාපලාන කෘෂි විද්‍යා පීඨය දින නියමයක් නොමැතිව පසුගිය 30 වනදා සිට වසා දමා ඇත. ඊට අමතරව පාසල්වලටද මෙම රෝගය පැතිරීමේ අවධානමක් ඇති බව වෛද්‍යවරු ප්‍රකාශ කරති. මාතලේ රෝහලේ පමණක් වෛද්‍යවරයකු ඇතුළුව රෝගීන් 52 මේ වනවිට නේවාසිකව ප්‍රතිකාර ලබයි.
දෙසතියක් ඇතුළත හෙදියක් ඇතුළු පස් දෙනෙක් මෙම රෝගී තත්ත්වය හේතුවෙන් මියගොස් ඇත. මෙම තත්ත්වය මර්දනය කිරීම සඳහා මේ වන විටත් රාජ්‍ය මැදිහත් වීම තුළ සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා වැඩ පිළිවෙලවල් ක්‍රියාත්මක වෙමින් පවතී. මෙම වෛරස් උණ තත්ත්වයට අමතරව මෙම දිනවල ඩෙංගු උණද ව්‍යාප්ත වීමේ ප්‍රවණතාවයක් පවතින බැවින් මේ සියලු රෝගී තත්ත්වයන්ගෙන් ආරක්ෂා වීමට සියල්ලන් අවධානය යොමු කිරීම අත්‍යාවශ්‍ය වේ. ප්‍රාථමික රෝගී ලක්ෂණයන් පෙන්නුම් කරන අවස්ථාවේදීම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වීම වැදගත් අතර රෝගය උත්සන්න වන තුරු බලා සිටීමෙන් ජිවිත අවධානමකට ලක්වීමට ඉඩ ඇත.
වෙනදා මෙන් දින ගණනාවක් පවතින සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වයකදී අත්බෙහෙත් හෝ හිතුමනාපයට සිදුකරන ඔෟෂධ ගැනීම්වලට නොගොස් නිශ්චිත වෛද්‍ය ප්‍රතිකාරවලට යොමුවීමට වගබලාගන්න. ගර්භණී මව්වරුන්ට හා කුඩා දරුවන්ට හා ප්‍රතිශ්තිකරණය අඩු පිරිස් මේ සඳහා පහසුවෙන්ම ගොදුරු වීමට හැකියාව පවතින බැවින් ඔවුන් එවැනි රෝගී පුද්ගලයින්ගෙන් දුරස් කොට තබන්න. මේ පිළිබඳ දැනුවත්භාවයක් නොමැති පිරිස් හැකි පමණින් දැනුවත්කොට රෝගී තත්ත්වයන්ට ගොදුරු වීමට පෙර ඒවායින් ආරක්ෂා වීමට පියවර ගන්න. එම වෛරස් උණ රෝගය හේතුවෙන් සෙසු ශරීරාංගයන්ගේද වේදනාවන් හා රෝගී තත්ත්වයන් ඇතිවිය හැකි බැවින් එවැනි තත්ත්වයන් නොසළකා හැරීමෙන් හෝ ගොඩබෙහෙත් සඳහා යාමෙන් වළකින්න. මෙම වෛරසය ශරීරගත වූවන් බැලූ බැල්මට රෝගී තත්ත්වයන් ප්‍රදර්ශනය කරන වෛද්‍ය විද්‍යාවට අනුව ඪතත තධධඬඪදඨ රෝගීන් වන අතර ඔවුන්ට විවේකය හා අදාළ ප්‍රතිකාර නිසියාකාරව ලබාදීමට කටයුතු කරන්න. රටටම උණ ගන්වන්නට යන මෙම වෛරසයට එරෙහිව ඔබේ ප්‍රතිකර්මයන් අද සිටම ක්‍රියාත්මක කරන්න.
අචලා පියරත්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: