රනිල්ගේ වසර 40ක දේශපාලනය ගැන අවුරුදු 35ක් එකට සිටි තිස්ස අත්තනායක මතකය

August 1, 2017 | 4:13 pm    0   3691

රනිල්ගේ වසර 40ක දේශපාලනය ගැන අවුරුදු 35ක් එකට සිටි තිස්ස අත්තනායක මතකය

ඇඳුමක නම් කණපිටක් හොඳපිටක් තියෙනවා
කාසියක අගයක් සිරසක් තියෙනවා
වාහනයක ඉස්සරහ පිටිපස්ස තියෙනවා
ආන්න ඒ වගේ තමයි
මිනිස්සුන්ගෙත් දන්න නොදන්න දෙපැත්තක් තියෙනවා.
මේ කියන්න යන්නෙත් ඒ වගේ අපි දන්න කියන කෙනෙක් ගැන අපි නොදන්න කතාවක්.

පසුගිය දවසක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්මය ඔහුගේ පාර්ලිමේන්තු ජීවිතයට අවුරුදු 40ක් සම්පූර්ණ කරනවා.
ඒ කාරණාව නිමිත්තෙන් අපිටත් ඕනෑ වුණා ඔහුව කියවගන්න. හැබැයි ඒ අපි හැමදාම දකින බණින රනිල් වික්‍රමසිංහ ගැන නෙවෙයි. අන්න ඒකට අපි නොදකින රනිල් වික්‍රමසිංහව හොඳටම දන්න අඳුනන අවුරුදු 35ක දේශපාලන ගමන් සගයෙක් වුණ හිටපු එක්සත් ජාතික පක්ෂ මහලේකම් තිස්ස අත්තනායකව හොයාගෙන අපි ගියා ඔහුගේ ගෙදරට…

ගොඩක් දේශපාලකයෝ වාර්ෂිකව හරි, ආගමික උත්සවවලට හරි කතරගම යනවා, වඳිනවා අපි දැකලා තියෙනවා. ඒත් කවදාවත් රනිල් වික්‍රමසිංහ මහත්තයා එහෙම යනවා අපි දැකලා නෑ. මොකක්ද ඒකට හේතුව?
රනිල් වික්‍රමසිංහ මහත්තයගෙ දෙයක් තිබුණා එයා කවදාවත් විශ්වාසයන් පිටිපස්සේ දුවන්නේ නෑ. හැබැයි පසුකාලීනව සමහර අවස්ථාවලදී යම් යම් අය එයාගෙ ඔළුවටත් ඒ වගේ දේවල් පිළිබඳව ගෙනාපු අදහස් නිසා සමහර සමහර දේවල්වලට එයා සහභාගී වුණා. එහෙම ගියත් කවදාවත් එයා ඒ දේවල් විවෘතව කරන්න උත්සාහ කළේ නෑ. තවත් පැහැදිලිව කිව්වොත් ඒ දේවල් පිළිබඳව එයා ඒ තරම් දුරට හිතන්න ගියේ නෑ කිව්වොත් ඒක හරි.

අලුත් අවුරුදු උත්සවවල රටේ නායකයෝ නැකත් කරනවා TV එකේ live පෙන්නනවා අපි දැකලා තියෙනවා. හැබැයි අපි රනිල් වික්‍රමසිංහ මහත්තයා එහෙම අවුරුදු නැකත් කරනවා දැකලා නෑ. ඇයි ඒ?
ඔව් ඒක හරි. මොකද රනිල් වික්‍රමසිංහ මහත්තයා අර සාම්ප්‍රදායික දේවල් එක්ක නෑ. හැබැයි ඒක ලංකාව වගේ රටකට සුදුසුයි කියලා මම හිතන්නෙත් නෑ. මොකද අපේ සමාජය හුරුවෙලා තියෙන්නේ ඒ සාම්ප්‍රදායික බැඳීම් එක්ක ඉස්සරහට යන්නනේ, දැන් කෘෂිකර්මය ගත්තත්, පවුල් ඒකක ගත්තත්, දරුවෝ සහ දෙමව්පියෝ අතර තියෙන සම්බන්ධතාවය ගත්තත්, ඇදහිලි, සිරිත්වල පවා බැඳීම් තියෙනවනේ අපිව සමාජික වශයෙන් බැඳෙන. හැබැයි රනිල් වික්‍රමසිංහ මහත්තයා එතන නෑ. එයා හැම වෙලාවකම හිතන්නේ සමාජය අලුත් විදිහට හිතන්න ඕනේ කියනවා වගේ දෙයක්. ඒවා නිකම් සාම්ප්‍රදායික බැඳීම්, ඒවට ගරු කරන්න උවමනා නෑ වගේ අදහස් එතුමට තියෙනවා. හැබැයි ඒ බැඳීමයි, හැඟීමයි ඔක්කොම එතුමගෙ තියෙනවා. ඒවා ඔක්කොම තියෙන්නෙ එයාගෙ හිතේ. ඒවා එයා එළියට දාන්නෙ නෑ.

ඒ කියන්නේ රනිල් සංස්කෘතික මනුස්සයෙක් නෙවෙයි?
ඔව්. රනිල් වික්‍රමසිංහ කියලා කියන්නේ සංස්කෘතික බැඳීම් එක්ක ජීවත් වෙන පුද්ගලයෙක් නෙවෙයි.

මහින්ද මහත්තයා, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා වගේ අය බබාලාව වඩාගන්නවා හුරතල් කරනවා අපි දකිනවා. එතකොට රනිල් වික්‍රමසිංහ බබාලට ආදරේ නැද්ද?
එතන ඇත්තටම තියෙන්නේ එතුමගේ හැසිරීමේ සහ කතා බහේ වෙනස නිසා තියෙන ප්‍රශ්නයක්. එහෙම නැතුව බබාලට ආදරේ නැතුව නෙවෙයි. හැබැයි කොයි වෙලාවකවත් එහෙම හැඟීමක් තියෙන බවක් පෙන්නන්නෙ නෑ. ඒක බබාලට විතරක් නෙවෙයි. කොයි කාටත් ඔය විදිහ තමයි. ඒක නිසානේ ඔය පක්ෂෙ ඇතුළෙත් වෙලාවකට ඔය ගැටුම්. දැන්, හොඳට වැඩ කරන මිනිහා කැමතියිනේ තමන් හොඳට වැඩ කරනවා කියලා තමන්ගේ ස්වාමියාගෙන් පැසසීමක් අහන්න. හැබැයි කවදාවත් රනිල් වික්‍රමසිංහගෙන් ඒ වගේ දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. දැන් මම අවුරුදු 35ක් එතුමත් එක්ක එකට වැඩ කරපු කෙනානේ. හැබැයි කවදාකවත් එහෙම ප්‍රසිද්ධ ප්‍රශංසාවක් කරලා නෑ. ඉතින් ඒ එයාගෙ හැටි. ඒ තරම් හිතන්නෙ නෑ. ඒ බව මම දන්නවා. ඒ නිසා මං ඒ ගැන ඒ තරම් හිතන්නෙ නෑ. හැබැයි එහෙම නොහිතන සහ ඒක බලාපොරොත්තුවෙන කණ්ඩායම් එහෙම අපේක්ෂා කරනවා. හැබැයි ඔය දේ නැතුව මේ සමාජයේ යන්නත් බෑ. ඇත්තට සමහර වෙලාවකට එතුමට බබාලා එහෙම වඩාගෙන හුරුවකුත් නම් නැතුවත් ඇති.

රනිල් වික්‍රමසිංහ සිංදුවක් මුමුණනවා දැකලා තියෙනවාද?
ඔව් ඔව් කියනවා කියනවා. තනියම නම් සිංදු කියන්නෙ නෑ. හවුලේ තමයි. රෝයල් තෝමියන් මැච් එක දවස තමයි එතුමා උපරිම විනෝද වෙන දවස විදිහට මම දැකලා තියෙන්නේ. අනිත් වෙලාවටත් එතුමා සතුටෙන් ඉන්නවා ඇති. හැබැයි ඒක එළිපිට ප්‍රකාශ වෙනවා අඩුයි. ඒ තමයි ඒ චරිතේ හැටි. හැංගිච්ච අදහස් තියෙන චරිතයක්!

අපි අහල තියෙනවා මහින්ද මහත්තයා 2015 ඡන්දය පරාද වුණු වෙලාවේ අරලිය ගහ මන්දිරයෙන් පිටත්වෙන්න කලින් ඒ බව දැනුම් දුන්නේ රනිල් වික්‍රමසිංහට බව. ඒ කතාව ඇත්තක්ද?
ඔව් ඒ කතාව ඇත්ත. ඡන්ද ප්‍රතිඵල අනුව තමන් පරාද වන බව දැනගත්තට පස්සේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා කතා කරලා තියෙනවා රනිල් වික්‍රමසිංහ මහත්තයට. කතා කරලා, ඇවිල්ලා මේකෙ වැඩ බාරගන්න කියලා එයාට තමයි ආරාධනා කරලා තියෙන්නේ. ඒක ඇත්තටම සාම්ප්‍රදායික සිරිතක්. ඒ සිරිත මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා අතින් ගොඩක් හොඳට ඉටු වුණා කියලා තමයි මං හිතෙන්නේ.

එතකොට අර වික්‍රමසිංහ පවුලයි, රාජපක්ෂ පවුලයි අතර තියෙනවා කියන ඥාති සම්බන්ධය මොකක්ද?
පාර්ලිමේන්තුවේ මහලේකම් කෙනෙක් හිටියා සෑම් විජේසිංහ කියලා. ඒ සෑම් විජේසිංහ වික්‍රමසිංහ පවුලේ ළඟම ඥාතියෙක්. එතකොට සෑම් විජේසිංහගේ පාර්ශවයෙන් රාජපක්ෂ පවුලත් එක්ක ඇති වුණු විවාහ සම්බන්ධයක් හරහා තමයි ඔය කියන ඥාති සම්බන්ධතාවය ඇති වුණා කියන්නේ. දැන් ඇත්තටම බැලුවොත් ඒ ඔක්කොම එකම නෑදෑයෝ. වික්‍රමසිංහ පවුලයි, රාජපක්ෂ පවුලයි, බණ්ඩාරනායක පවුලයි ඔක්කොම නෑදෑයෝ. හැබැයි සිරිසේන පවුල නම් සම්බන්ධයක් නෑ.

පිළිම වැන්දෙ නැතුවට, පන්සල් නොගියට අපි අහල තියෙනවා රනිල් වික්‍රමසිංහ කියන චරිතයට බෞද්ධ දර්ශනය සම්බන්ධ පුළුල් දැනුමක් තියෙනව බව. ඔබතුමා ඒ කතාව පිළිගන්නවද?
ඔව්. මමත් ඒ කතාව පිළිගන්නවා. මම මේ කතාව කාටවත් අපහාසයකට කියනවා නෙමෙයි, ඒත් ඔය බුද්ධාගම ගැන හුඟක් දේශනා පවත්වන අයට වඩා බුදුදහම පිළිබඳව මහ ගැඹුරු දැනීමක් එතුමාට තියෙනවා. එතුමා හැම වෙලාවෙම ගොඩක් කියවනවා. යනකොට එනකොට වුණත් එතුමා පොතක් හරි කියවනවා. දැන් එතුමාට මොකක් හරි කරුණක් හොයන්න හිතුණොත් හිගිල්ලා වාඩිවෙලා ඉන්ටර්නෙට් එකේ ඵඥචපජඩ කරලා ඔක්කොම කරුණු ටික හොයාගන්නවා. බුද්ධාගම ගැනත් ඒ වගේ ගැඹුරු දැනීමක් සහ අධ්‍යයනයක් එතුමට තිබුණා. ඒක මං හොඳට දන්නවා.

රනිල් වික්‍රමසිංහ මහත්තයගේ ගෙදර බුදු පිළිමයක් තියෙනවා දැකලා තියෙනවද?
ඒ ගෙදර හරියට පරණ බඩු තියෙන ඇන්ටික් සාප්පුවක් වගේ. කෞතුක අතින් වටින පරණ බුදුපිළිමයක් ගෙදර තියෙනවා මං දැකලා තියෙනවා. හැබැයි වඳින බුදු පිළිමයක් තියෙනව ද කියල නම් මං දන්නෙ නෑ. ඒ දේවල් ඔක්කොම ලස්සනට තමයි තියලා තියෙන්නේ. රනිල් වික්‍රමසිංහගේ අම්මා නාලනී වික්‍රමසිංහ මැතිණිය බුදු දහමට හරිම ගරු කළ චරිතයක්. ඒගොල්ලො තමයි ඔය සේද වත්ත පරම්පරාව කියන්නේ. ඒ කියන්නේ කැලණිය රජමහා විහාරය දෙවෙනි වතාවෙ ගොඩනගපු සේද වත්ත හෙලේනා විජේවර්ධන එහෙම ඒගොල්ලන්ගෙ පරම්පරාවේ. ඒ නිසා ඒ අයගේ ලොකු සම්බන්ධතාවයක් බුදු දහමත් එක්ක තියෙනවා.

අපි සාමාන්‍යයෙන් දවස පටන්ගන්නකොට බුදුන් වැඳලා එහෙමනේ පටන්ගන්නේ. රනිල් වික්‍රමසිංහත් එහෙමද?
රනිල් වික්‍රමසිංහ චරිතෙ කියන්නේ එහෙම නිකං ගැති වෙච්ච චරිතයක් නෙවෙයි. එයාගෙ හිතේ තියෙනවා, ප්‍රකාශ කරන්නේ නෑ. එයා අන්න එමෙයි.

දන්න තරමින් රනිල් වික්‍රමසිංහ මහත්තයට වෙනත් බිස්නස් තියෙනවද?
එයාලට පරම්පරාවෙන්ම අයිතිවෙන දේපළ වත්කම් තිබුණා. දැන් ඔය ලේක්හවුස් ආයතනය එයාලගේ පවුලේ දේපොළක්නේ. ඉතිං ඒවාගෙන් තවමත් ලාභයෙන් කොටසක් එයාලට ලැබෙනවා. එතකොට තව කුරුණෑගල එයාලට වතු තියෙනවා. තව ඒ වගේ පාරම්පරික දේපළ වත්කම් තියෙනවා.

යුද්ධෙ ඉවර වෙච්ච වෙලාවේ රනිල් වික්‍රමසිංහ එවකට රටේ නායකයාව සිටි මහින්ද රාජපක්ෂට කතා කරලා ඒ සම්බන්ධව සුබ පැතූ බවක් මතකද?
ඔව්. සුබ පැතුවා. එතුමා හිටියේ එතකොට ලංකාවෙ නෙවෙයි. 2009 මැයි 18 එතුමා නෝර්වේ ගිහිල්ල හිටියේ. යුද්ධෙ ඉවර වුණා කියලා දැනගත්තම එතුමා මටත් දුරකතනයෙන් කතා කළා. ඒ වෙලාවෙ මමයි කරු ජයසූරිය මහත්තයි හිටියෙ හම්බන්තොට රැස්වීමක. ඒ වෙලාවෙ අපි එතුමාට කිව්වාම යුද්ධෙ ඉවර බව නීත්‍යානුකූලව දැනුම් දුන්නා කියලා, ඒ ක්ෂණිකව එතුමා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඛ්චතත කරලා ඒ ගැන සුබ පතලා තිබුණා.
හැබැයි පස්සෙ කලෙක එතුමා මට කිව්වා ඔය යුද්ධය දිනපු වෙලේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට සුබ පතන්න කතා කළාම ජනාධිපතිතුමා ඒක එච්චර ගණන් ගත්තෙ නෑ කියලා.

සාමාන්‍යයෙන් රනිල් වික්‍රමසිංහ මහත්තයා වැඩිපුරම කන්න කැමති කෑම එහෙම මොනවා ද?
මෙහෙමයි, එතුමා ගොඩක් ලැදි ඉංගී්‍රසි පන්නයේ කෑමවලට. ගොඩක් වෙලාවට ක්ෂණික කෑම ජාති කන්න එතුමා ප්‍රියයි. කොච්චර එපා කිව්වත් එතුමා ආසයි නම් එතුමා කනවා. බුෆේ එකක වගේ නම් කැමති කෑම ජාති තෝරගෙන පොඩ්ඩක් කාලා බලන්න එතුමා හුඟක් කැමතයි. සමහර වෙලාවට විවිධ රටවල සංචාරය කරන අවස්ථාවල ඒ ඒ රටවලට අනන්‍ය කෑම වර්ග කාලා බලන්න එතුමා හරිම කැමතියි. එහෙම ගිහිල්ලා නැවත ලංකාවට ආවම ඒ වගේ රස කෑම වර්ග තියෙන තැන් ගැන කියලා අපි ගියාමත් එතනට ගිහින් බලන්න කියලත් යෝජනා කරනවා.

එතුමා ජිම් එකකට එහෙම යනවද?
ජිම් එකකට යන්නෙ නෑ. ගෙදර තියෙනවා. ගෙදරට ව්‍යායාම පුරුදු කරන උපදේශකවරයෙක් එනවා.

නායකයෝ වෙච්ච හැමෝගෙම අත්වල එන්ඩ එන්ඩ මුදු වැඩිවෙනවා. හැබැයි අපි රනිල් වික්‍රමසිංහ මහත්තය එහෙම මුදු දානවා දැකලා නෑ. ඇයි ඒ?
ඇත්තටම මුදු, මාල, ඔරලෝසු මුකුත් පලදින කෙනෙක් නෙමෙයි රනිල් වික්‍රමසිංහ කියන්නේ. ඔන්න එක වතාවක් සායි බාබා මුණගැහෙන්න එතුමා ගියාම, එතුමාට මුද්දක් මවලා දීලා තිබුණා. දැන් ඉතින් හැමෝටම හරි ආසයි ඒක බලාගන්න. ඒ ගැන ඒ දවස්වල පත්තරවල පවා පළවෙලා තිබුණා. ඉතින් දවසක් මමත් ගිහිං බැලුවා කෝ ඒ මුද්ද කියලා. මුද්ද අතේ තිබ්බේ නැති නිසා මම ඇහුවා කෝ සර් අර මුද්ද කියලා. එතකොට එයා කමිසෙ අස්සෙන් චේන් එකක් ඇදලා අරගෙන ඒකට පෙන්ඩන්ට් එක වගේ දාගත්ත මුද්ද අරන් මෙන්න කියලා මට පෙන්නුවා. ඒ පාර මම ඇහුවා ඉතිං සර් ඕක දුන්නේ අතේ දාගන්නනේ කියලා. නෑ නෑ මං මුදු දාන්නෙ නෑනෙ. මං මෙහෙම දාගත්තා කියලා එතුමා කිව්වා. ඔරලෝසුවක්වත් අතේ දාලා නෑනේ. ආ… තව එකක් එතුමා ළඟ කිසිම දවසක පර්ස් එකක් අතේ නෑ. පාවිච්චි නොකරනවා නෙවයි. පර්ස් එකක් අරන් යන්නෙ නෑ.

එතකොට සරම් එහෙම අඳිනවා දැකලා තියෙනවාද?
නෑ.. කවදාකවත් නෑ… එයා ගෙදර ඉන්නකොට හුඟක් කැමති ටී ෂර්ට් එකයි කොට ෂෝට් එකයි අඳින්න තමයි.

චන්ද්‍රිකයි රනිලුයි පොඩි කාලේ ඉඳන්ම යාළුවෝ කියන්නේ ඇත්තද?
ඔව් ඒගොල්ලෝ එකට හැදුණේ. ඉගෙන ගත්තේ එකට. හවසට එකටමයි ගෙදර සෙල්ලම් කළේ. ඉතිං දෙපැත්තෙම අම්මලා, තාත්තලා මාරුවෙන් මාරුවට මේ දෙන්නව ඇරලනවලු සෙල්ලම් කරකර ඉන්න කියලා. කතාවටත් කියනවනේ ඔය දෙන්නා නැටුම් ඉගෙනගන්න ගියෙත් එකටමයි කියලා..

රනිල් වික්‍රමසිංහ මහත්තයගෙ ලග්නෙ මතකද?
මීන ලග්නය

එතකොට කේන්දරයක් තියෙනවාද?
ඔව්. කේන්දර විශ්වාසය නොකරනවා නෙවෙයි. හැබැයි එයා කාටවත් පෙන්නන්නේ නෑ එයා ඒවා විශ්වාස කරනවා කියලා. රනිල් වික්‍රමසිංහ මහත්තයගේ අම්මා ඔය කේන්දර ගැන, වෙලාවෙල් ගැන තදින්ම විශ්වාස කරපු කෙනෙක්. අම්මගේ පාලනය යටතේ තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා ඇති දැඩි වුණේ. හැම දරුවෙක්ම හැදෙන්නේ එහෙම තමයි. හැබැයි මෙතනදි ගෙදර සම්පූර්ණ පාලනය අරගෙන ගියේ රනිල් වික්‍රමසිංහ මහත්තයගෙ අම්ම තමයි. ඉතින් අම්මට බයයි, ගෞරවයයි දෙකම තිබුණා.

2020 වෙනකොට අගමැතිතුමාගේ මීළඟ සිහිනය කුමක් වෙයිද?
ඊළඟ ජනාධිපතිවරණය ගැනත් ඉතින් එතුමාගෙත් යම්කිසි හෝ බලාපොරොත්තු ඇති. හැබැයි ඉතින් පසුගිය වතාවන් දෙකකදි කළා වගේ මේ තුන්වැනි වතාවෙත් ඒක බන්දේසියක තියලා පොදු අපේක්ෂකයෙක් පත් කරගන්න යයි ද කියලා කියන්න නම් මං දන්නෙ නෑ.

රනිල් විකමසිංහ අඳින ඇඳුම් Branded ඒව නේද?
ඔව් Branded. එයා හුඟක් කැමති ලිනන් ඇඳුම් අඳින්න තමයි. ලොකු ලොකු විලාසිතා කරන්න නෙවෙයි. සැහැල්ලුවෙන් ඉන්න තමයි එතුමා ගොඩක් කැමති. එයා උත්සව වගේ වෙලාවට ටභතත ඵභඪබ එක ඇඳලා යන්න තමයි කැමති. නැෂනල් එකක් නම් ජීවිතේට අන්දවන්න බැරිවෙයි.

එතකොට රනිල් වික්‍රමසිංහ මහත්තය වැඩිපුරම කැමති වාහන වර්ගයක් එහෙමත් තියෙනවද?
එහෙම විශේෂ තේරීමක් තිබුණෙ නම් නෑ. හැබැයි එයා කාලයක් පාවිච්චි කළා නිසාන් වර්ගයේ ජීප් එකක්. අන්න ඒකට එතුමා හුඟක් කැමැත්නේ හිටියා. ඔය ආණ්ඩුවේ වාහන නැති දවස්වල එයා ඒ නිසාන් ජීප් එක තමයි පාවිච්චි කළේ.

ෆිල්ම් එහෙමත් බලනවද?
ඔව් හරියට බලනවා. හින්දි ෆිල්ම් බලන්න හරි ආසයි. සමහර දවස්වලට මට කියනවා නිදිමතයි කියලා. ඇයි ඇහුවම හින්දි ෆිල්ම් එකක් බැලුවා කියනවා.

සාමාන්‍යයෙන් නිදාගන්න, ඇහැරෙන නිශ්චිත වෙලාවෙක් එහෙම එතුමාට තියෙනවද?
උදේම නැගිටිනවා. අනිත් අය වගේ නෙවෙයි. එහෙම කම්මැලිකමක් නෑ. දවල්ට වාඩි වෙලා ඉඳිද්දි නින්ද යනවා ඇති රැස්වීම්වල. ඒක වෙනම කතාවක්නේ. හැබැයි උදේ පාන්දර නැගිටිනවා. නැගිටලා අපි හැමෝටම කතා කරලා දවසේ schedule එක මතක් කරලා දෙනවා. ඒ වාගේම තමයි ඔය වැඩ කටයුතු සම්බන්ධව එතුමාට හොඳ මතකයක් තියෙනවා.

රනිල් වික්‍රමසිංහ ගෑරුප්පුවෙන් නැතිව අතින් කනවා දැකලා තියෙනවද?
ඔව් කනවා. වැඩිපුරම කෑම කන්නේ හැන්ද ගෑරුප්පුව භාවිතයෙන් නම් තමයි. එහෙම වුණත් එතුමා අතිනුත් කෑම කනවා. ඒක එහෙම අපහසුතාවයක් තිබුණෙ නෑ එතුමට.

මේ අවුරුදු 35 ඇතුළෙ එතුමා අඬපු දවසක් මතකයිද?
මම නම් එහෙම එක දවසක්වත් දැකලා නෑ. ඒත් එතුමාගේ අම්මා නැතිවුණ වෙලාවේ බරපතළ විදිහට මානසිකව වැටිලා හිටියා. මොකද රනිල් වික්‍රමසිංහ මහත්තයට එයාගේ අම්මත් එක්ක ලොකු බැඳීමක් තිබුණා. රනිල් වික්‍රමසිංහ මහත්තයා ඇඳගෙන යන ෂර්ට් එක පවා තෝරල දුන්නේ එයාගෙ අම්මා තමයි. අම්මගෙන් තමයි ඒවා ගැන ඇහුවේ.. ඉතින් ඒ අම්මගේ වියෝවත් සමඟ එතුමා කිසියම් මානසික ආතතියක හිටියා මතකයි.

රනිල් වික්‍රමසිංහ කියන්නෙ ජීවිතේටවත් අඬන මිනිහෙක් නෙවෙයි. මම මගේ ඇස් ඉදිරිපිට දැක්කා එයාට ප්‍රශ්න ආවම ගැටුම් මතු වුණු අවස්ථා. නමුත් එතුමා ඒ සියල්ල දරාගත්තා. මේක කියන්නත් මට හරි කණගාටුයි. අද ඔය කැබිනට් එකේ වාඩිවෙලා රනිල් වික්‍රමසිංහ ආසියාවේ නායකයා කියන මිනිස්සුම එතුමාගේ මූණටම අහලා තිබුණා “ඔය කලිසමක් ඇඳගෙනද වාඩි වෙලා ඉන්නේ කියලා.” එහෙම වෙලාවලදිත් ඒ දේවල් එතුමාට දරාගෙන ඉන්න පුළුවන් වුණා. මගේ මේ මුළු අවුරුදු 35 ඇතුළෙම එකම එක දවසක් එතුමා ඔය කියන දේවල් දරාගන්න බැරිව පාර්ලිමේන්තුවෙන් නැගිටලා ගියා. ඒත් මම ආපහු ගිහිල්ලා, අතින් ඇදන් ඇවිල්ල නෑ සර් වාඩිවෙන්න කියලා වාඩි කෙරෙව්වා. රනිල් වික්‍රමසිංහ කියන්නේ එහෙම කෙනෙක්. ඒ තරම් ඔරොත්තුදෙන කෙනෙක්. හරියට අර රබර් බෝලයක් වගේ.
“ගහන්න ගහන්න එබෙනවා ආයෙ උඩ එනවා..”

සංවාදයසංජක ප්‍රසාද් ‍දොළේවත්ත
සටහනඅනුපමා ගල්කඩවල
ඡායාරූපජගත් නානායක්කාර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: