රනිල් මහත්තයාගේ චුයින්ගම් වලින් අපේ බුලත්විට තහනම් කරන්න බෑ- රෝහණ බැද්දගේ

July 27, 2017 | 4:30 pm    0   263

රනිල් මහත්තයාගේ චුයින්ගම් වලින් අපේ බුලත්විට තහනම් කරන්න බෑ- රෝහණ බැද්දගේ

සිරිසාර බුලත් විට කාලා බලන්
හොඳ නංගි වරෙන් පොඩි මල්ලි වරෙන්
කට සුවඳ කරයි දත් පනුවො නොකයි
සිරිසාර බුලත්විට කාලා බලන්…..

මේ තාලයෙන් මෙපිට එදා අතීතයේ බුලත් කියන්නේ වයස් බේදයකින් තොරව වැළැක්වීමකින් තොරව සියලුමදෙනා කටේ ඔබ ගත්ත දෙයක් වුණා. මේ බුලත් විටට එකතු කරගන්න අනෙකුත් අවශේෂ දේ නිසා බවලත් උදවිය එදා පිළිගන්නේ මේ නිසා කට සුවඳවත් කරන දත්් පනුවො කෑමෙන් වළකන ඔෟෂධීය එකතුවක් විදිහට. වර්ෂ ගණනාවකට විසු මේ බුලත් විට අද සමාජයට රෝග ගණනාවක මුල බීජයක් විදිහට තමයි හදාගෙන තියෙන්නෙ.

බුලත් සිංහල සංස්කෘතියේ සශ්‍රීකත්වය පෙන්වන වැදගත්ම සංඛේතයක් විදිහට තමයි අපි හඳුනාගෙන තියෙන්නෙ. ඒ වගේ එදා වගේම අදත් බුලත් පවිත්‍රත්වයේ සංඛේතයක් විදිහටත් පිළිගන්නවා. අපේ සංස්කෘතිය හා බැඳුණු ඓන්ද්‍රිය අංගයක් විදිහට තමයි අපි බුලත් සලකන්නේ. බුලතේ උපත මහා සම්මත රජු දක්වා දිව යනවා. පුරාවෘත්තවල සඳහන් වෙන අන්දමට මැණික්පාලි නම් බිසවකට උපන් ‍ෙදාලක් සංසිදවීමට බුලත් අවශ්‍ය වෙලා තියෙනවා. මේ අවශ්‍යතාවයට නාග ලෝකයෙන් පැමිණි නාග කන්‍යාවක් බුලත් කොළය මනුලෝකයට ගෙන ආ බවත් එය ගෙන ආවේ නටුවෙන් හා තුඩෙන් අල්ලාගෙන බවත් තමයි කියවෙන්නේ. මේ හේතුව නිසා බුලත් කොළයේ එම කොන් දෙකේ නම් විෂ ඇතැයි මතය අදටත් පවතින නිසා තමයි බුලත් කන්න කළින් අපි ඒ බුලතේ කොන් දෙක කඩා ඉවත් කරන්න පුරුදු වෙලා ඉන්නෙ.

රජ දවස තතු විමසීමේදි බුලත් ගැන කතා ගොඩක් අපට හොයාගන්න පුළුවන් මේ අතර තිබුණු සුවිශේෂි විස්තර ටිකක් තියෙනවා. නොදියුණු කාලවල බුලත් අනුභව නොකරන තැනැත්තාට හිමි වෙලා තියෙන්නේ අඩු සැලකිල්ලක්. ඒ අයගේ දත් සුදු නිසා තමයි පහත් කොට සලකලා තියෙන්නේ. ඒ වගේම තමයි රජ කාලේ කුලවතෙක් හෝ කුලකතක් සමාව දිය නොහැකි බරපතල වරදක් කළාම ඊට දඬුවම විදියට දීලා තියෙන්නෙ රොඩියෙකුගේ බුලත් එම තැනැත්තාට බලෙන් කවන එක. මෙය උපරිම මට්ටමේ නින්දාවක් විදියට තමයි උඩරට ඇත්තො පිළිගන්නෙ.

බුලත් ගැන කතාව රජ කාලේ එහෙම වුණත් පසුකාලේ තව තවත් පිළිගැනීමට ලක් වුණේ ගෙට ගොඩවෙන අමුත්තන්ට බතින් සංග්‍රහ කළ පසු බුලතින් සංග්‍රහ කිරීම අනිවාර්ය අංගයක් වීමත් සමගය. එහෙම සංග්‍රහ නොකළොත් එම සංග්‍රහය අසම්පූර්ණ ආහාර වේලක් විදියට තමයි ගැමියො පිළිගත්තේ. මේ නිසා ගැමියෝ මේ විටට ගොඩක් සමීප වුණා. පිරිමි වගේම කාන්තාවෝ නිතරම පාහේ බුලත් විටක් හපන්න පුරුදු වෙලා හිටියා. එදාමෙදාතුර බුලත් විට කියන්නේ පරම්පරා ගණනාවක සහසම්බන්ධතා ගොඩනැඟු දෙයක් වුණා.

මේ මොහොතෙ අපි බුලත් විට ගැන කතා කරන්න හිතුවේ බුලත් විටට එකතු කරන දුම්කොළ තහනම් කිරීමට රජය තීරණය කිරීමත් සමඟය. මුඛ පිලිකා රෝගය මේ වන විට දිවයින පුරා බහුලව වාර්තා වෙමින් තිබෙන රෝගයක් බවට පත් වී ඇති බවත්, සාමාන්‍යයෙන් දිනකට පුද්ගලයන් 4 දෙනෙකුවත් මුඛ පිළිකා නිසා මරණයට පත්වන අතර ඊට ප්‍රධාන වශයෙන් බුලත්විට හේතුවී තිබෙන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දේ. වර්ෂ ගණනාවක ඉතිහාසයට නෑකම් තියෙන බුලත් විට ප්‍රභේදාත්මක ලෙස වෙනස් වීම ගැන සූදානම් විමසන්න හරි අපූරු පුද්ගලයෙකු හමුවෙන්න අපි ගියා. ලංකාවේ අපේ කම රැකගෙන සංස්කෘතික ගුණ වගාවන් පෝෂිත කිරීමේ කලාවට අපේ හඬ පෞර්ෂය දයාද කළ රෝහණ බැද්දගේ මහත්තයා කියන්නෙ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගැමියෙක්. බුලත් විටෙන් දුම්කොළ භාවිතය ඉවත් වීම ගැන ඔහු කිව්වේ මෙහෙම කතාවක්.

බුලත් සහ බුලත් විට කියන්නේ දෙකක්. අපේ කාලයේ අපි බුලත් මහ ඉහළින් වැද පුදා පිළිගන්නා දෙයක්. විට කියන දේ සම්පූර්ණයෙන් බුලත්වලට සම්බන්ධ වෙන්නෙ නැහැ. යම් යම් ජනප්‍රවාද බුලත්වලට තියෙනවා. ඒවා කාලෙන් කාලෙට අලුත් වුණා. බුලත් විටක් කියන්නෙ බුලත්, පුවක්, හුනු, දුම්කොළ හතර එකට එකතු වුණාම දුම්කොළ එකතු වුණේ පස්සෙ. මොකද දුම්කොළ අපේ රටේ තිබිලා නෑ.
රෝහණ මහත්තයා එහෙම කියද්දි අපිත් ඒ ගැන හොයලා බැලුවා. ඇත්තටම බුලත් විට සඳහා පුරාණ ලංකාවේ දුම්කොළ, හුණු සහ පුවක් භාවිත කරලා නැහැ. පරණ පොත්පත්වල සඳහන් වෙන්නෙ ලන්දේසි ආක්‍රමණයෙන් පසු ඒවා භාවිත කරන්න පටන් ගත්තා කියලා. මේ නිසා බුලත් විට අපේ ගැමියන් භාවිත කරන මුල් කාලයේ මේ දුම්කොළ විට ඇතුළත් වෙලා තිබුණෙ නැහැ.

ආයෙත් රෝහණ මහත්තයා කතාව පටන් ගත්තා.

මමත් කුඹුරු වැඩ කළ මනුස්සයෙක්. කුඹුරෙ වැඩ කරන මනුස්සයට බුලත් විටක් කියන්නෙ දිව්‍ය ඔෟෂධයක් වගේ. ඒක නැතුව බැහැ. කතාවට කියන්නෙ විටක් කාලා කට හෝදනවා. කට හෝදලා විටක් කනවා කියලා. ඒ තරමට බුලත් විට ඒ අයට අපට හුරුයි. අපි බුලත් වවන මිනිස්සු සමහර දවස්වලට අපිම තමයි බුලත් බැඳගෙන පොළට යන්නෙ විකුණන්න. මේ බුලත් එක්ක අපි කන පුවක්වලත් සමහර පුවක් තියෙනවා මත්වෙන එක ස්වාභාවයෙන් හඳුනගන්න අපට පුළුවන්. හුනුත් එහෙමයි. ඒවටත් මත් වෙනවා. හැබැයි ඒ දේවල් භාවිත කරන නියමිත මාත්‍රාව අපි දැනගෙන ඉන්න ඕන. හුනු කියන්නෙ විස වුණත් ඉස්සර ගැහැනු ළමෝ අඹ කෑවේ හුනුවල තවරාගෙන. හැබැයි මුකුත් වෙන්නෙ නැහැ. මේකට තමයි පැරණි අය කීවේ “ඒදනවා” කියලා. බුලත් විටක් ඒදන්න හැමෝටම බැහැ. විට කොටන්න වෙනමම වංගෙඩි තියෙනවා. තාල පවා තියෙනවා කොටන්න. ඉස්සර අපේ සීයලා කියනවා විට ඒදලා දෙන්න කියලා. ඒ කියන්නෙ බුලත් විටට එකතු කරන ද්‍රව්‍යවල නියමිත මාත්‍රාවක් සූදානම් කරන එක ඕනවට වඩා දැම්මොත් කටට විසයි. ඒවා ප්‍රමාණයන් අඩු වුණොත් විට රස නැහැ. කාලයත් එක්ක ඒ ඒ කෙනාට ඒ විට ඇඟට වගේම කටට හුරු වෙලා තියෙන්නෙ.

මේ බුලත් විටට මත් වුණොත් දරා ගන්න බැරි අයට වමනෙත් යනවා බඩත් යනවා. ඇතැම්විට මිය යන්න පවා පුළුවන්. ඒ තරම් සැරයි ඒක. ඒකයි කියන්නෙ නියමිත ලෙස මේ විට සකස් කරගන්න ඕන කියලා.

බුලත් විට කියන්නෙ සංස්කෘතිය හා බැඳුණු දෙයක්. මේ හැම දේකින්ම වෙන්නෙ අපේ සංස්කෘතියට පහර එල්ල කරන එක. ටිකෙන් ටික අපේ සංස්කෘතියෙන් බැහැර කරන එක. අපේ අම්මා මැරෙන කොට වයස 99යි. ඒ වෙනකම් බුලත්විට කෑවා. හැබැයි මේ තියෙන කිසිම ලෙඩක් තිබුණෙ නැහැ. මෙතන තියෙන ගැටළුව තමයි පුරුද්දක් තිබුණත් සීමාව ඉක්මවලා කන එක. එතකොට මේකෙන් ලෙඩ හැදෙන්න පුළුවන්. සංස්කෘතිය කියන්නෙ ඒකට සකස් වීමක්. එතකොට මේ සකස් වීම මම මුලින් කිව්වා වගේ එකට බැඳුණු දේවල් අතර බුලත් කියන්නෙ ප්‍රධාන දෙයක්. අපේ රටේ සංස්කෘතිය මොකක්ද කියලා පාලකයො දන්නෙ නැහැ. අඩු තරමේ සංස්කෘතික අමාත්‍යවරයවත් දන්නෙ නැහැ, හරියට මොකද්ද සංස්කෘතිය කියලා. තාමත් ගෙවල්වල පිත්තල හෙප්පුව තියෙනවා කෙනෙක් ආවම පිළිගන්වන්නෙ ඒක. හැබැයි මෙකෙන් කාලෙකට කවුරුත් මලේ නැහැ.

නොනවත්වා බුලත් ගැන කතා කියන රෝහණ මහත්මයා ගන්න කෙටි විවේකයකදී අපි ඇහුවා ආණ්ඩුව මේ ගත්ත තීරණය ගැන මොකද කියන්නෙ කියලා…

එයාලා යම් තීරණයක් ගත්ත නම් අපිට ඒක වළක්වන්න බැහැ. ඒක නිවැරදි ඇති. නමුත් කරන්න ඕන මේක නෙමෙයි. බුලත් විට කෑමෙදි ඒකට ඕන ප්‍රමිතිය නීතිගත කරලා ඒක කියල දුන්න නම් හරි. මේක තහනම් කරන්නෙ නැතුව. ඒක තමයි හරි ක්‍රමේ. අපේ රටේ වෙන්නෙ ඒක නෙමෙයිනේ ඩෙංගු මදුරුවා විතරයි ලෙඩ කරන්නෙ මුළු මදුරුවො ඔක්කොම මරනවා. ඒක හාමුදුරුවො තමයි වරද කරන්නෙ සමස්ත සංඝ සමාජයට බනිනවා.

විටකට ප්‍රමිතියට ඒදගන්න ඕන. ඊට වැඩියෙන් කෑවොත් වැරදියි. අනිත් දේ තමයි බුලත් විට කාලා අනිවාර්යෙන් කට සෝදන්න ඕන. ඒක කාලා විට කටේ තියාගෙන නිදාගත්තොත් ඒක වැරදියි. අන්න එතකොට ලෙඩරෝග හැදෙන්න පුළුවන්. දුම්කොළ නෑ කියලා විටට ප්‍රශ්නයක් වෙන එකක් නැහැ. දුම්කොළවලට පුරුදු කෙනා ඒකෙ තියෙන නිකොටින් එකට තමයි කැමති. ඒකයි ඔවුන් කියන්නේ දුම්කොළ නැතිව බුලත් විට වැඩක් නැහැ කියලා. මම කියන්නෙ මේ ගැන හොඳ දැනුවත් වීමක් ලබාදෙන්න ඕන. මේ බුලත් විටට පුරුදු වෙලා ඉන්න කෙනාට තහනම් කරලා වැඩක් නැහැ. අලුතෙන් මේක කන අයට තමයි උගන්වන්න ඕන. එහෙම නැතුව ඒක අසාධාරණයි.

ලන්දේසින් තමයි මේ මත්ද්‍රව්‍ය ගෙනාවේ. දුම්කොළ ගස්වල කොළ වේලලා තමයි දුම්වැටි හදන්නෙ. ඊට කලින් තමයි දුම්කොළ කන්න පුරුදු වුණේ. එහෙම බලද්දි වැඩිපුර හානිදායක වෙන්නෙ. ඒ දුම ඇතුළට අදින එක ඊට වඩා අමාරුයි. එතකොට ඒකත් තහනම් කරන්න ඕන එහෙනම්. මේ බුලත් විටේ හතර පංගුවේ තියෙන දේවල් අඩු කරන්න නැති කරන්න හොඳ නැහැ. මෙච්චර කාලෙකට ඒ අය කෑවේ ඒකෙන් තියන උත්තේජන නිසානෙ. අපිට කියන්න තියෙන්නෙ බුලත් කෑවට කමක් නෑ ගොයියො කාලා මැරෙන්න එපා කියලා තමයි. එහෙම නැතුව බුලත්වත් බුලත් විට හා බැඳුණු සංස්කෘතියවත් තහනම් කරන එක යුක්ති නැහැ.

රොබට් නොක්ස් පවා කියලා තියෙනවා මේ බුලත් මොන මොන දේට අපේ ඇත්තෝ භාවිත කළාද කියලා. හොර සැමියන්ට පණිවිඩ දෙන්න වගේම සමහර වෙලාවට සංසර්ග ක්‍රියාවලියට පෙර පවා මේක භාවිත කරන්න පුරුදු වෙලා හිටියෙ.

“බුලත් පුවක් දෙවගේ මදියි නේද බොලේ
හුනුත් දුම්කොලත් දෙවගේ තියෙයි පැලේ
රටක් වටින විටක් දෙන්න නුඹට බොලේ
වැතිර ඉදින් මම එනකම් ටිකක් පැලේ..”

බුලත් කන මිනිස්සු ඒක ගිලින්නෙ නැහැ. මිනිස්සු වැඩ කරනකොට කුඹුරේ, තේ දළු කඩද්දි ඒ පිටතින් එන ආග්‍රහණ පිටකරන්න තමයි බුලත් විට කන්නෙ. ඒ අය පිටතින් එන විෂ වායු පිට කරන්නෙ බුලත් විට හපලා විසි කරන හපයන්වලින්. මේ නිසා මේක තහනම් කරන එක මහා විශාල පාඩුවක්. රනිල් මහත්තයා චුයින්ගම් හපන්න කිව්වට මිනිස්සුන්ට බුලත් විටෙන් ලැබෙන උත්තේජනය ලැබෙන්නෙ නැහැ. මෙහෙමයි බුලත් විටට මිනිස්සු මැරෙන්න නැහැ. ඕනවට කෑවොත් මැරෙන්න පුළුවන්.

බුලත් විට ගැනත් ඒ හා බැඳුණු රසකතා ගැනත් රෝහණ මහත්තයා අපිට කිව්වේ එහෙමයි.

කම්කරු සේවයේ යෙදිලා ඉන්න පිරිසට බුලත් කියන්නෙ මහාර්ඝ දෙයක්. මේ නිසා දිනපතා බුලත් කන පුද්ගලයන් කිහිපදෙනෙක්ගෙන් අපි මේ ගැන විමසුවා. ඒ ගැන ඔවුන් දීපු අදහස විවිධයි.

බුලත් කන මිනිස්සුන්ට දුම්කොළ උවමනායි. මේ හතර පංගුව නැතුව විටෙන් වැඩක් නැහැ. මිනිස්සු ඇවිත් අපහසුතාවයට පත් වෙනවා. මේක වෙලා තියෙන්නෙ ඉස්කෝලෙ ළමයි නිසා. ඒ අය පුවකුයි දුම්කොළයි අරන් හක්කෙ තියාගෙන ඉන්නවා එතකොට මත් වෙනවා. එතකොට තැම්බෙනවා කට. අපි වුණත් ප්‍රමාණෙට තමයි ගන්නෙ.

අපිත් දැන් දුම්කොළවලට ඇබ්බැහි වෙලා. අපිට මෙහෙම කිව්වේ ජයවික්‍රම පෙරේරා මහත්තයා.
වික්‍රමපාල කියන්නෙ ලොකු කාලයක ඉඳන් බුලත් කන කෙනෙක්
මම අවුරුදු 15 ඉඳන් විට කනවා. එදා ඉඳලා දුම්කොළත් කනවා. දුම්කොළ නැතුව විට කන්න බෑ. දුම්කොළ නැතුව කෑවම බුලත් විට පැණි රහයි. ඒ නිසා ඒක ගිලෙන්න පුළුවන්. ඒත් දුම්කොළ සැර නිසා ඒක ගිලෙන්නෙ නැහැ. මම අවුරුදු 15 ඉඳන් කනවා ඒකෙන් මුකුත් වෙලා නැහැ. මේ වයසට අපට මඟහැරගන්න අමාරුයි.

අවුරුදු ගානක ඉඳන් බුලත විට කඩයක් පවත්වාගෙන යන කාරුණාසේන මහත්තයගෙන් අපි අදහස් විමසුවා
අනිවාර්යෙන් දුම්කොළ ඉල්ලන පිරිසක් ඉන්නවා. ඊයේ අපි විට 100ක් හැදුවොත් 50යි විකිණෙන්නේ. මිනිස්සු ගන්නේ නැහැ. හරි ප්‍රශ්නයක් වුණේ මේක. මේවා ගෙවල්වල හදන්න පටන් ගත්තම ඉස්කොලේ ළමයි කන්න පුරුදු වුණා.

සම්පත් විජේවීර
නියෝජ්‍ය වතු කළමණාකරු
වේවැල් වත්ත,
ආගරපතන.

මේ බුලත් විටක එක්ක තියෙන දුම්කොළ තහනම් කරලා තියලා තාම ඒගොල්ලො දන්නෙ නැහැ. ඒක හරියටම දැනගන්න දවසක ලොකු ප්‍රශ්නයක් වේවි. මොකද ඒ මිනිස්සුන්ගෙ මුළු ජීවිතයම ගෙවෙන්නෙ මේ විටත් එක්කමයි.

උපුලි පුන්සරා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: