රාජ්‍ය දේපල අවභාවිතා කිරීම නිසා පරීක්‍ෂණ නිමවෙන තුරු අන්දරේ රක්‍ෂිත බන්ධනාගාරයට

February 19, 2017 | 10:30 am    0   468

රාජ්‍ය දේපල අවභාවිතා කිරීම නිසා පරීක්‍ෂණ නිමවෙන තුරු අන්දරේ රක්‍ෂිත බන්ධනාගාරයට

FCID එකෙන් ඉතිහාසාධිකරණයට අන්දරේගේ නො පැමිණීම දැන්නූ වහාම වැඩේ දෙල්වන බව දැනගත්ත නීතීඥවරුන් වහාම අන්දරේ භාරත දේශයෙන් ලංකාවට ගෙන්වුවා. අන්දරේ අපිව හොයාගෙන එනකොට එයාගෙන් අහන්න ඕන ප්‍රශ්නයි, ඒවාට උත්තරයි ඔක්කොමත් ලියාගෙන ඇවිල්ලා. අපි මේ බව යුවරජතුමාට දන්වලා අපේ ඉල්ලා අස්වීමේ ලිපිය එතුමාට යැව්වා. පස්සේ අන්දරේගේ අපිට කැමති ප්‍රශ්නයක් අහන්න කියලත් ඉල්ලා අස්වෙන්න එපා කියලත් ලියමනක් එවලා තිබුණා. ඒ නිසා අන්දරේගෙන් අහන්න තියෙන හැමදේම අහන්න තීරණය කළා.
ඔබේ ඇත්ත නම කුමක් ද?
මගේ නම අන්දිරිස්. ඒත් හැමෝම දන්නේ අන්දරේ කියලා. ඒ නිසා මම ඒ නම දිගට ම පාවිච්චි කළා.

රජවාසලෙන් චෙක් ආවේ මොන නමට ද?
අන්දරේ කියන නමට.

අන්දරේ කියන නම සුරතල් නාමයක් නම් උප්පැන්න සහතිකේ තියෙන නම ඒ නම නෙමෙයි නම් කොහොම ද ඒ චෙක් මාරු කරගත්තේ?
මෙහෙමයි. මම කවදාවත් බැංකුවකට ගිහින් නෑ. මැනේජර්ට කතා කරලා චෙක් එකේ ගාණ කිව්වහම කොල්ලගේ අතේ සල්ලි ගෙදරට ම එවනවා. මම සල්ලි අරන් ඒ කොල්ලට චෙක් එක දෙනවා. එච්චරයි.

මාසෙකට මොන වගේ ආදායමක් තිබ්බ ද?
මෙන්න මේකයි කියලා නිශ්චිත ගාණක් තිබ්බේ නෑ. රජතුමාට හිනා යන තරමට මට ලැබෙන ගාණ වැඩි වුණා.

ඒ පිළිතුර ප්‍රමාණවත් මදි.
ඉතින් හත්තිලව්වේ මට එහෙම පඩියක් කියලා එකක් තිබුණේ නෑ. රජතුමාගේ බිසව හැර අනිත් හැමදේම අපි දෙන්නා බෙදා හදාගෙන පාවිච්චි කළා. රජවාසල මගේ ගෙදර වගේ.

ඒ කියන්නේ ඔබ රාජ්‍ය දේපල අයථා ලෙස භාවිතා කළා?
එහෙම කියලා කියන එක වැරදියි. මගෙන් රටට ලොකු සේවයක් වුණා.

මොන වගේ එකක් ද?
මම රජතුමා හැමවෙලේ ම සතුටෙන් තිබ්බා. රජ කෙනෙක් විදියට කේන්ති අරගෙන ගන්න තීරණ රටේ අනාගතයට බලපානවා. ඉතින් සතුටෙන් ඉන්න රජ කෙනෙක් හොඳට කල්පනා කරලා බලලා තමයි තීරණ ගන්නේ.

හරි. පුතා ඉස්කෝලේ ඇරිලා ගෙදර ඇවිල්ලා කියලා නැද්ද ළමයි, තාත්තා ගැන කියලා විහිළු කරනවා කියලා?
ඇත්තට ම මම නෙමේ ජෝකර් වෙන්නේ. රජතුමා සහ අනිත් අය. ඔබ මට ආරක්‍ෂාව සපයනවා කියලා පොරොන්දු වෙනවා නම් මම සියලුම රාජ්‍ය  රහස් හෙළි කරන්නම්. එතකොට ඔබට තේරෙයි අවසානේ ජෝකර්ලා වෙලා තියෙන්නේ මේ රටේ මහජනතාව කියලා. හැබැයි ඊට කලින් මගේ පවුලේ අයට භාරත දේශයේ සිටිසන් අරන් දෙන්න ඕනේ.

ඒ ගැන අපි පසුව සලකා බලමු. ඔබ රජතුමාට කඩේ යනවා? ඔබ ජෝකර් කෙනෙක් කියලා පුතා කවදාවත් කියලා නැද්ද?
අපෝ නෑ. ඉස්කෝලෙන් වුණත් පුතාට ලොකු තැනක් තිබුණා. ගොඩක් උත්සවවලට ප්‍රධාන ආරාධිතයා විදිහට මට කතා කළා. මම විදුහල්පතිතුමන්ට ඉස්කෝලේ දියුණු කරන්න කියලා අශ්ව කරත්ත දෙකකුත් දුන්නා.

ඔබේ වියදමින් අරන් දීපු ඒවා ද?
අපෝ නෑ. මම ඒ දෙක අරගත්තේ අකල් මරණ හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රතිපාදනවලින්.

එහෙම ගන්න හයියක් කොහෙන් ද ඔබට?
ඔබ ඔය කියන ප්‍රශ්න අතීතේ අපට තිබුන් නෑ. රජතුමාගේ දණිස් අමාරුවට හැමදාම හවසට තෙල් ගෑවේ මම. එහෙම තෙල් ගාලා මසාජ් කරන ගමන් “පස්වාන් දහසකට බුදුවන්න දේවයන් වහන්ස, ඇල්ල ළඟ වලව්ව විද්‍යාලයේ විදුහල්පතිතුමා රටට බුද්ධිමතුන් බිහි කරන මැෂිමක් වගේ. අපිට පුළුවන් නම් එතුමාට ප්‍රවාහන පහසුකම් වෙනුවෙන් යමක් කරන්න ඒක රටට කරන ලොකු සේවයක්” කියලා කිව්වා. රජතුමා අකල් මරණ හා අධ්‍යාපන ඇමතිතුමාටත් කතා කරලා විදුහල්පතිතුමාව රජවාසලට ගෙන්නලා අශ්ව කරත්ත දෙකක් ම දුන්නා. විදුහල්පතිතුමාට පක්ෂ සාමාජිකත්වයක් ලබාදුන්නා.

ඔබ රාජ්‍ය සේවකයෙක් ද?
ඒක මං දන්නේ නෑ. හැබැයි මම රජතුමාගේ සේවකයෙක්.

පැහැදිළි මදි?
රජතුමාටත් මුලින් ම ඕක පැහැදිළි වෙලා තිබුණේ නෑ. දවසක් අපි වම්බටු පාත්තියක් ළඟින් යනකොට රජතුමා කිව්වා “අන්දරේ වම්බටු තමයි මං කැමති ම කෑම” කියලා. මම කිව්වා “එහෙමයි රජතුමනි, වම්බටු තමයි මේ ලෝකේ තියෙන ඉහළ ම වටිනාමක් තියෙන කෑම. එහි හැඩය, වර්ණය ඉතාම සිත්ගන්නා සුළුයි. ඔබතුමා කැමති නම් මම වහාම සියලු රටවාසීන්ට දැනුම් දෙන්නම් තමන්ගේ කැමති ම ආහාරය විදියට වම්බටු තෝරාගන්නා ලෙසට.” කියලා. ඊට සතියකට විතර පස්සේ මමයි රජතුමායි ආපහු ඒ වම්බටු පාත්තිය ළඟින් යනකොට රජතුමා කිව්වා “අන්දරේ වම්බටු කියන්නේ මහ ජරා කෑමක්. මට නම් වම්බටු දකිද්දී පුදුම අප්පිරියාතාවයක් එන්නේ” කියලා. එතකොට මම කිව්වා “එහෙමයි රජතුමනි වම්බටු තමයි මේ ලෝකේ තියෙන ජරා ම කෑම. ඔබතුමා කැමති නම් වම්බටු ආහාරයට ගන්නා රටවැසියන් තෝරා හිසගසා දමන්නම්” කියලා. එතකොට රජතුමා කිව්වා “අෑ බං අන්දරේ ගිය සතියේ කිව්වා නේද වම්බටු තමයි මේ ලෝකේ තියෙන හොඳම කෑම කියලා. අද කියනවා වම්බටු තමයි මේ ලෝකේ තියෙන ජරාම කෑම කියලා. එහෙම වෙන්නේ කොහොම ද?” කියලා. ගත් කටට ම මම කිව්වා “රජතුමනි, ඔබතුමත් ගිය සතියේ වම්බටු හොඳයි කියලා මේ සතියේ නරකයි කියනවා. මම වැඩ කරන්නේ ඔබතුමාට මිසක් වම්බටුවලට නෙමෙයි. ඉතින් ඔබතුමා කියන්නේ මොකද්ද, ඒක තමයි ඇත්ත.”

ඔබ රජවාසලේ තිබුණ සීනි කාපු බව පිළිගන්නව ද?
ඒක මං දන්නේ නෑ. රජතුමා කිව්වේ ඒ තියෙන්නේ පස් කියලා. මං පොඩි එකාටත් කවන ගමන් මාත් කෑවා. ඇත්තට ම ඒ තිබිලා තියෙන්නේ සීනි ද?

නිකන් බබා වෙන්න හදන්න එපා. රජ්ජුරුවන්ව ඇන්ඳුවට අපිව අන්ඳන්න හදන්න එපා.
ඔව් මම දන්නවා ඒ සීනි කියලා. ඒත් ඒකේ වැරැද්දක් මම දකින්නේ නෑ.

ඇයි වැරැද්දක් නැත්තේ? ඒකෙන් සිද්ධ වුණේ රාජ්‍ය දේපල අවභාවිතයක් වුණ එක.
ඉතින් රජතුමා මුලදි ම මේ තියෙන්නේ සීනි කියලා කිව්ව නම් ප්‍රශ්නයක් නෑනේ.

ඔබ රජතුමාට මල පන්නපු අවස්ථා තියෙනව ද?
ඔව්. දවසක් රජතුමා බිසවුන් වහන්සේ එක්ක මහවැලි ගං ඉවුරට ආවා. මාත් ඒ අවස්ථාවට සහභාගී වුණා. ජල ක්‍රීඩා කරමින් ඉන්නා අතරතුර රජතුමා මගෙන් ඇහුවා “අන්දරේ පේනවා නේද බිසව මට තියෙන ආදරේ” කියලා. මම ඉතින් හිනාවෙලා මෙහෙම කිව්වා,

බොහොම හොඳට රන්කම් කළ වැඩක් වගෙයි
කොහොම නමුත් මහ බඹු දුන් ලියක් වගෙයි
ලොව ම ඉන්න පඬිනට පිස්සුවක් වගෙයි
කොහොඹ ගහට කරවිල වැල ගියා වගෙයි

රජතුමාට මේක අහලා හොඳට ම තරහා ගියා. මඟුල් කඩුව අතට ගන්නකොට ම මම ආපහු කිව්වා,

කොහොඹ හොඳ දෙයකි වෙදවරු කියන්නා
කරවිල අම ඵලක් ලෙස ගෙන උයන්නා
ප¾ඩිවරු පිස්සුවෙන් මෙන් නිති බනින්නා
මම වද වරදකරු අහකින් සිටින්නා

ඒ බිසවටනේ. එතකොට රජතුමාගේ දුවටත් මේ විදියට ම කිව්වා නේද?
එතනදි වුණ සීන් එක මෙහෙමයි. රජතුමාගේ දූ කුමරිය පූල් එකේ නාලා එනකොට මට අතරමඟ දී හම්බුණා. එයා කොහොමත් එක විදියක්. එයාගේ අදහසක් තිබුණා රජතුමාගෙන් පස්සේ රාජ්‍යත්වයට පත්වෙන්න. සමහර වෙලාවට වෙනත් අමාත්‍යාංශවල උත්සවවලට මෙයා බලෙන් සහභාගී වුණා. මේ හැමදේම හිතේ තියාගෙන වෙලාවක් එනකල් හිටපු මට අවස්ථාව ඒ වෙලාවේ උදා වුණා.
මං කිව්වා,
හිස දෙස බැලිමි පොල් කෙඳි වැන්න පීරනා
බඳ දෙස බැලිමි හෙරලිය වැන්න මෝරනා
තන දෙස බැලිමි වැටකොළු වැන්න එල්ලෙනා
ලිය දෙස බැලිමි වැඳිරිය වැන්න කොළ කනා

මේක ඇහුණා විතරයි දූ කුමරිය මටත් ගස්සගෙන දිය රෙද්ද පිටින් රාජසභා මණ්ඩපයට දුවලා රජතුමාට කතාව කිව්වා. රජතුමා මාව ගෙනැල්ලා ප්‍රශ්න කළා. මං එතකොට කිව්වා
හිස දෙස බැලිමි රන් කෙඳි වැන්න පීරනා
බඳ දෙස බැලිමි රන් කද වැන්න ආරනා
තන දෙස බැලිමි රන් කුඹු වැන්න සේවෙනා
ලිය දෙස බැලිමි පුන්සඳ වැන්න පායනා

පස්සේ රජතුමා දූ කුමරියට ඒකේ තියෙන සාහිත්‍යය වටිනාකමත් පැහැදිළි කරලා දීලා මට කහවණු දහසකුත් තෑගි දුන්නා.

කොහේ තියෙන සල්ලි ද එහෙම දුන්නේ?
භාණ්ඩාගාරයෙන් අරන් දුන්නේ. ඇයි අවුල් ද?

එහෙම රජතුමාට ඕන ඕන වෙලාවට භාණ්ඩාගාරයේ සල්ලි භාවිතා කරන්න බෑ. අනික එහෙම ඔබට කහවණු දහසක් දුන්නා කියලා ලේඛනගත කළා ද? ඔය වගේ ප්‍රශ්න නිසා තමයි මේ රටේ ජනතාවට අසීමාන්තික විදියට බදු ගෙවන්න සිද්ධ වෙන්නේ.
ඒක මං දන්නේ නෑ. මං දන්නේ රජතුමා මට හොඳට සේවය කළා කියලා විතරයි. අනිත් ඒවා මට අදාළ නෑ.

අර “කට කැඩි කලේ දිය උකුලේ තබාගෙන” කතාවේ සිද්ධිය මොකද්ද?
ඒත් දූ කුමරියට වෙච්ච සිද්ධියක් ම තමයි. දවසක් එයා නාලා එනකොට වතුර කලේකුත් අරගෙන ආවා. මම දැකලා කිව්වා,

කට කැඩි කළේ දිය උකුලේ තබාගෙන
ලොට තන් දෙකත් ගෙරි හමකින් වසාගෙන
තඹත් පිත්තලත් දෙවගේ පැළඳගෙන
රොඩී කෙල්ල කොහි යනව ද උදෑසන

දූ කුමරියට යකා නැගලා ඒකත් ගිහින් රජතුමාට කිව්වා. කලින් සිද්ධිය දන්න නිසා රජතුමා මගෙන් මොකද්ද වුණේ කියලා විමසුවා. මං කිව්වා,

රිදී කලේ දිය උකුලේ තබාගෙන
රන් කුඹ දෙකක් සළු පටකින් වසාගෙන
රිදී රත්තරන් දෙවගේ පැළඳගෙන
මල්මද බිසව් කොයෙි යනව ද උදෑසන

කියලා. රජතුමා ඒක අහලා සතුටට පත්වෙලා මට භාණ්ඩාගාරයෙන් කහවණු දහසක්… එක්කෝ දුන්නේ නෑ. රජතුමා ඒක අහලා දූ කුමරියට ඒකේ තියෙන සාහිතය වටිනාකම කියලා දීලා මට යන්න දුන්නා.

ඒ කාලේ පත්වීම් දුන්නේ කොහොම ද?
දිසාපාමොක් උපාධිය තියෙන අයට රජවාසලේ ලිපිකරු තනතුර ලැබුණා. දිසාපාමොක් ළඟට යන්නේ නැතුව කට්ටි පැනපු කොල්ලෝ කුරුට්ටන්ට උස අනුව රැකියාවල් ලබාදුන්නා.

ඒ කියන්නේ?
ඒ කියන්නේ වර්තමානයේ වගේ ම තමයි. උස නම් රජවාසල මුරකරු. මිටි නම් සැට්ටැඹි. කොහොමත් පෝලිම් බූත් එකේ හිටපු අයට තමයි පත්වීම් ලැබුණේ. අද කාලේ උස නම් සිකුරුටි මිටි නම් කම්කරුනේ. නේද?

අප ඔබව ගෙන්නුවේ අද කාලේ වෙන දේවල් ගැන ඉතිහාසේ ප්‍රශ්න අහන්න නෙවෙයි. එහෙම පත්වීම දෙන ඇමතිතුමා ගැන ඔබට ප්‍රශ්න කරන්න අයිතියක් නෑ.
ප්‍රශ්න කරන්න අයිතියක් නැති වුණත් හිනාවෙන්න අයිතියක් තියෙනවා නේද?

මේ සියලු ප්‍රශ්නකිරීම් හමුවේ ඔබ බොහොම නරක විදියට රාජ්‍ය දේපල අවභාවිතා කළ බවට සාක්ෂි සහිතව ඔප්පු වෙනවා. අපි ඔබව කඩුවෙල පිහිටි ඉතිහාසාධිකරණයට යොමු කරනවා.
අන්දරේ ආරක්‍ෂක රැකවලුන්ගෙන් මුදවාගෙන කඩුවෙල පිහිටි  ඉතිහාසාධිකරණයට රැගෙන ගිය අතර එහි දී පරීක්‍ෂණ නිමවෙන තුරු රක්‍ෂිත බන්ධනාගාර ගත කළා. ඔහුගේ උපහාසයට ලක්වුණු රජතුමාගේ දූ කුමරිය ඇතුළු එහි සාක්‍ෂිකරුවන්ට බලපෑම් කිරීම නවත්වන ලෙසත් ඉතිහාසාධිකරණය ඔහුට දැනුම් දුන්නා. අන්දරේ රජතුමාගේ සියලු රහස් හෙළි කිරීමට කැමැත්ත පලකිරීම නිසා නැවතත් ඉතිහාසාධිකරණය ඔහුට ඉහළ අධිකරණයක නඩුව ගොනු කරන ලෙස දන්වා ඇත. අන්දරේ ඉතිහාසාධිකරණයේ සිට බන්ධනාගාරයට රැගෙන යන අතර ඔහු රැස්ව සිටි පිරිස අමතා කළ ප්‍රකාශය පහතින් දැක්වේ.
මේවා මහ පුදුම වැඩ. මැරිලා මැරිච්ච තැන්වල ගසුත් පැලවෙලා අවුරුදු සිය ගාණක් වෙනවා. දැන් තමයි මුන්ට මතක් වෙලා තියෙන්නේ අපි කරපු වැරදි. අපි කරපු කියපු දේවල්වලට කිසි අගයක් දෙන්නේ නෑ. මම සීනි කාපු එක වැරදී ලු. ඒක රාජ්‍ය දේපල අවභාවිතා කිරීමක් ලු. හත්තිලව්වේ එහෙනම් ගිය ආණ්ඩුවේ සීනිවලට වෙන ම ඇමති කෙනෙකුත් හිටියේ. එතුමත් ඕන තරම් සීනි කන්න ඇතිනේ. හිඟුරාන විකුණලා කරපුවා මම එළි කරනවා. මාව නවත්තන්න කාටවත් බෑ. සමහරවිට මේක අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් වෙන්නත් පුළුවන්. මේ ආයතනය වහනකල් අපි සටන අතඅරින්නේ නෑ. ඉතිහාසයට ජය වේවා. මේ කරන දේශපාලන පලිගැනීම්වලට සාප වේවා.
සුපුන් රත්නායක

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: