රාජිතට, සජිත්ට බලය දුන්නොත් යූ.ඇන්.පී.යට දිනන්න පුළුවන් – ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න

February 26, 2018 | 12:03 pm    0   414

රාජිතට, සජිත්ට බලය දුන්නොත් යූ.ඇන්.පී.යට දිනන්න පුළුවන් – ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ජනතාව තමන්ගේ කැමැත්ත ප‍්‍රකාශ කර තිබූ ආකාරය පිළිබඳව සම සමාජ පක්ෂය විදියට ඔබ දකින්නේ කොහොමද?
මේ මැතිවරණය නිසා ජාතිවාදී බලවේගවලට හිස එසවීමට ඉඩක් සැලසුණා. ඒක සිද්ධ වුණේ එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ව්‍යාපාරය හරිම නෙගටිව් විදියට සිද්ධ වුණ නිසයි. එයාලා හිතුවේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය කණ්ඩායම් දෙකකට බෙදිලා ඉන්න නිසා යූ.ඇන්.පී. එක නිකම්ම දිනයි කියලා.

පැරදෙන්න හේතුව ඒක විතරමද?
නෑ. කරන්න තිබුණු දේවල් එකක්වත් හරියට කළේ නෑ. ජනතාවට වුණු පොරොන්දු ඉෂ්ට කළේ නෑ. ව්‍යවස්ථාව හදනවා කිව්වට තාම ඒකේ වැඩ ගොඩක් තියෙනවා. හොරු, අපරාධකාරයෝ අල්ලනවා කිව්වා. ඒ ඇල්ලූවෙත් නෑ. රනිල් වික‍්‍රමසිංහ මහත්තයගෙ ඉතාම හොඳ මිතුරෙක් වන මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංගගේ මරණය පිළිබඳ කරුණු කාරණා පවා අවසන් කර ගන්න බැරි වුණා. විශාල අපරාධ රාශියක් එළිවෙලා තියෙනවා, පොලිසියෙන් විභාග කරලා තියෙනවා නමුත් ඒවා අධිකරණයක් කරා ගෙනිහින් අවසන් කරන්න පහුගිය කාලෙදි හැකි වුණේ නෑ. මේ ඔක්කොම හේතු කාරණා නිසා යූ.ඇන්.පී. එකේ ඡුන්ද අඩු වුණා.

මේකෙන් පේන්නේ ආණ්ඩුව ගමේ ඒ තරම් ජනප‍්‍රිය නෑ කියලා නේද?
ජාතිවාදී බලවේග තමන් දිනුවා කියලා කෑ ගැහුවට ඒ තරම් ඡුන්ද ප‍්‍රතිශතයක් නෑ. පහුගිය කාලෙ ලැබුණ ඡුන්ද ටිකම තමයි ලැබිලා තියෙන්නේ. ඒ අයට දිනන්න ලැබිලා තියෙන්නේ ගම්වල ඡුන්ද විතරයි. නගරේ ඒ අයට දිනාගන්න බැරි තත්ත්වයක් තියෙන්නේ. ඇමෙරිකාවේ ඩොනල්ට් ට‍්‍රම්ප්ට වුණෙත් ඔය දේම තමයි. එයත් ගම්බද දිනුවා. එක ටවුමක්වත් දිනුවේ නෑ. ඒ වගේ පසුගාමී කණ්ඩායමක් තමයි මේ ඡුන්දෙන් දිනුවා කියලා ඉස්සරහට ඇවිත් ඉන්නේ. මේ අය හිතන්නේ ආණ්ඩු පෙරළියක් කරන්න පුළුවන් කියලා. ඒකට විරුද්ධව අපිත් මැදිහත් වුණා.

ඒ කොහොමද?
මම යූ.ඇන්.පී. එකට කිව්වා පක්ෂය ප‍්‍රතිසංවිධානය කරලා ඉදිරිපත් වෙන්න කියලා. අනෙක් පැත්තෙන් විපක්ෂ නායකතුමා සහ සුමන්දිරන් මන්ත‍්‍රීවරයා ඊට විරුද්ධව දැඩි පියවරක් ගත්තා. ඔවුන් මහින්දගේ බලවේගය යට කරලා උඹලා තමයි රට විනාශ කරන්නේ උඹලගෙ රතු කැකුළු පොහොට්ටුව තුළින් තමයි ඊළම උදාවෙන්නේ කියලා කිව්වා. ඒකෙන් දැන් මේක යටපත් වෙමින් යනවා.

මේ ඡුන්දෙන් පස්සේ රටේ ජනාධිපතිවරයාගේ ක‍්‍රියා කලාපය ඔබ දකින්නේ කොයි විදියටද?
ජනාධිපතිතුමත් කතා කළේ කොහේ හරි එල්ලෙන්න පුළුවන් කියලා මහින්දගේ කරේ එල්ලෙන්න. නමුත් දැන් එයත් පසු බැහැල ආපහු තිබුණු ආණ්ඩුව ගෙනියනව කියල සහයෝගය දෙන්න කැමති වෙලා තියෙනවා.

ඒත් දැන් විශ්වාසය පිළිබඳ ප‍්‍රශ්නය පැවැත්මට බාධාවක් වෙනවනේ?
හරියටම හරි. මම කියන්නෙත් ඒකම තමයි. මම ඒකට ලිපියක් ලියලා තියෙනවා. ඒක ප‍්‍රචාරය කරගෙනත් යනවා. එයා කරේ එල්ලෙන්නත් කලින් තමයි මම කිව්වේ මේ මිනිහා අවිශ්වාසයි. මෙයා මේ පැත්තට ආවා කිව්වාට ඇත්තටම ඇවිත් නෑ. එයාගේ මතවාදය බැලූවොත් ජාතිවාදී, ආගම්වාදී, මර්දනකාරී මහින්දගේ මතවාදයම තමයි. එයා කියන්නෙත් අපි සිංහල, සිංහල ලේ හලන්න ඕනේ වගේ දේවල්. යටි හිතේ තියෙන්නේ ඒත්. හැබැයි අර මහින්ද වගේ පුද්ගලික අපරාධ කරල, මිනිස්සු මංකොල්ලකාලා නෑ. නැත්නම් එයාගෙයි මහින්දගෙයි මතවාදයේ වෙනසක් නෑ. ඒ නිසා එයත් එක්ක ඉදිරියට යන්න බෑ කියලා මම කිව්වා.
රනිල් වික්‍රමසිංහ මහතා ජාතිවාදය යටකරලා, යම් කිසි ආකාරයක බලය බෙදීමක් කරලා ජාතීන් එකතු කිරීමට උත්සාහ කරනවා. ඒක තමයි එයාව බේරගන්න දෙමළ සන්ධානේ අය ඉදිරිපත් වුණේ. එයාලා දන්නවා රනිල්ට ගැහුවොත් මේ රට දෙකට කැඩෙනවා කියලා. සම්බන්ධන් කියන්නේ ලංකාවේ ඉන්න උගත් දේශපාලන නායකයෙක්. දෙමළකම නිසා තමයි එයා ඔය පැත්තට වැටිලා තියෙන්නේ. නැත්නම් ලංකාවේ එක්සත් ජාතික පක්ෂේ නායකත්වයටත් සුදුසු කෙනෙක්. මේ ගමන යන්න වෙලා තියෙන්නේ ඉතාමත් ප‍්‍රවේශමෙන්.

යූ.ඇන්.පී. එකේ ඔබ දකින අර්බුදය මොකක්ද?
මම රනිල් වික්‍රමසිංහට කියපු දෙයක් තමයි ඔබතුමාගේ අදහස් තිබුණට ඒවා පහළට යන්නේ නෑ. එහෙම පක්ෂයක් ගෙනියන්න බෑ. ඔයාගේ ක‍්‍රමය වැරදියි කියලා. පක්ෂෙන් ප‍්‍රබල ප‍්‍රහාරයක් එල්ල වෙද්දි රනිල්ට ඒකට මුහුණ දෙන්නත් බෑ. ඒ නිසා මම යෝජනා කළා සජිත්ව එක පැත්තකින් අල්ලගෙන රාජිත එක පැත්තකින් අල්ලගෙන වැඩ කරන්න සූදානම් වුණොත් ලොකු දියුණුවක් වෙන්න පුළුවන්.

ඒ වුණත් පාක්ෂිකයන් කියන්නෙත් රනිල් ඉවත් කළ යුතුයි කියලනේ?
ඒක වැරදි කතාවක්. එයාගෙ තැන පුරවන්න පුළුවන් ලිබරල්වාදියෙක් නෑ. මෙයා ලෝකෙම පිිළිගත්ත ලිබරල්වාදියෙක්. ඒ නිසා එයාව හොලවන්න ගියොත් අපේ වහල කඩා වැටෙයි. එහෙම කරල බෑ.

සජිත් සහ රාජිත යෝජනා කරන්න තියෙන විශේෂත්වය මොකක්ද?
මම බැලූවේ ලොකු පිරිසක් එකතු කරලා වැඩක් නෑ. කරන්න බෑ. ඒ නිසයි තුන් දෙනෙක් එක්ක ගමන යන්න යෝජනා කළේ. බුදු හාමුදුරුවන්ටත් සැරියුත් මුගලන් කියලා අගසව් දෙනමයිනේ හිටියේ. හොඳට බණ කියන්න පුළුවන් කෙනයි හොඳට සංවිධානය කරන්න පුළුවන් කෙනයි තමයි එතනදි තෝරා ගත්තේ. මම කියන්නෙත් ඒකම තමයි. මහා බ‍්‍රහ්මයාටත් විශ්ණුයි ශිවයි ඕනේ වගේ.
ඒකේ එක පැත්තක් තමයි ප‍්‍රබල සටන්කාමී, වාමාංශික රැුඩිකල් ජනතාව පොලඹවන ඒ මාර්ගයේ මිනිසුන්ව අවදිකරලා තියන එක. ඒක කරන්න පුළුවන් හොඳම කෙනා තමයි රාජිත.
අනෙක් පැත්තෙන් මිනිස්සුන්ට දේවල් අවබෝධ කරලා දීලා ගමට ගිහින් ආණ්ඩුව කරන දේවල් ගැන හොඳ චිත‍්‍රයක් ගමේ මිනිස්සුන්ට පෙන්වන්න ඕනේ. ඒක සජිත්ට තමයි ලස්සනට කරන්න පුළුවන්. එයාගෙන් ලොකු දේවල් බලාපොරොත්තු වෙන්න අවශ්‍ය නෑ.

ඔය යෝජනාව ක‍්‍රියාත්මක වෙයිද?
මම දන්නෙ නෑ ඒක ඒ අය තේරුම් ගනියිද කියලා. එහෙම තේරුම් ගත්තොත් හොඳ ගමනක් යන්න පුළුවන්.

අසංක ධර්ම ශ‍්‍රී

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: