රැළිවලට නොගිය කම්කරුවන් – කම්කරු දිනයට මහමග අනාථයි

May 2, 2017 | 12:00 pm    0   125

රැළිවලට නොගිය කම්කරුවන් – කම්කරු දිනයට මහමග අනාථයි

නුවරඑළිය සහ හැටන් ශ්‍රී ලංගම ඩිපෝ දෙක සතුව තිබූ බස් රථ සියල්ලම පාහේ මැයි දින රැලි සඳහා ලබාදීම හේතුවෙන් සුපුරුදු බස් රථ පාරවල්වල නැතිව ජනතාවට පැය ගණන් මහ මග රස්තියාදු වෙමින් විවිධ අපහසුතාවට ලක්වීමට සිදු වූ බව වාර්තා වෙයි.
පෞද්ගලික බස් රථ කීපයක් පමණක් අතරින් පතර ප්‍රධාන මාර්ගවල ධාවනය වනු පෙනුද ලංගම බස් රථ කිසිවක් දක්නට නොලැබුණි.
මේ නිසා රෝහල් සේවකයන්, විදුලිබල මණ්ඩල සේවකයන්, ආරක්ෂක අංශවල පිරිස් වැනි අත්‍යවශ්‍ය සේවා සඳහා පිරිස් මෙන්ම විවිධ අවශ්‍යතාවන් වෙනුවෙන් ගමන් බිමන් යාමට මහමඟට බැස තිබූ පිරිස් දැඩි අපහසුතාවන්ට ලක් වී සිටී.

‍මේ සම්බන්ධයෙන් අප හැටන් ඩිපෝ අධිකාරි අනුර දොඩම්තැන්නගෙන් විමසූ විට ඒ මහතා කියා සිටියේ තම ඩිපෝව සතුව බස් රථ 86ක් තිබුණු අතර මැයි දින රැලි සඳහා විවිධ දේශපාලනඥයන්ගේ ඉල්ලීම මත බස් රථ 78ක් ලබාදීමට සිදු වූ බවයි.  ඉතිරි බස් රථ 08 – ශ්‍රීපාද නල්ලතන්නිය වෙනුවෙන් යෙදවීමට සිදු වූ බවද වැඩිදුරටත් පැවැසීය.
නුවරඑළිය ඩිපෝවේ තිබූ බස් රථ 56න් 50ක්ම මෙලෙස මැයි රැලි සඳහා ලබාදීමට සිදුවූ බවත් දේශපාලනඥයන්ගේ ඉල්ලීම් මත එසේ ලබාදීමට කටයුතු කරන ලෙස ලංගම ප්‍රධාන කාර්යාලයෙන් දන්වා තිබූ නිසා එසේ බස් රථ ලබාදීමට සිදුවූ බැවින් සුපුරුදු මාර්ගවලට බස් රථ යෙදවීමට නොහැකි වූ බව නුවරඑළිය ඩිපෝවේ උසස් නිලධාරියෙක් පැවැසීය.
නුවරඑළිය මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියේ දිස්ත්‍රික් කළමනාකරු කේ. ඩී. බී. බස්නායක මහතා කියා සිටියේ පෞද්ගලික බස් රථ එතරම්ම ප්‍රමාණයක් මැයි රැලි සඳහා ඉල්ලීම් කර නොතිබූ බවයි. එහෙත් මැයි දිනය නිවාඩු දිනයක් බැවින් සෙනඟ නැති බව පවසමින් බස් රථවල සේවක පිරිස්ද නිවාඩු ලබාගෙන ඇති නිසා මාර්ගවල පෞද්ගලික බස් රථ ධාවනයද අඩු වූ බව කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: