රුපියල් දාහක් තියාගෙන ITN යූත් ටැලන්ට් තරඟයට ආපු බුලත්සිංහල සර්කස් අහිංසකයා

March 13, 2017 | 5:30 pm    0   423

රුපියල් දාහක් තියාගෙන ITN යූත් ටැලන්ට් තරඟයට ආපු බුලත්සිංහල සර්කස් අහිංසකයා

පසුගියදා කාගෙත් අවධානයට ලක්වන ටෙලිවිෂන් තරු සංකල්පයෙන් බැහැරව මිනිසුන් හදන්නට ගත් ටෙලිවිෂන් උත්සාහයන් ලෙස youth with talent ජනතා ආකර්ශණය දිනාගත්තා. මාර්තු 04 වැනිදා අවසන් මහා තරගය මුළු රටක් බලා සිටියා. විවිධ දක්‍ෂතා තිබුණු කොල්ලො කෙල්ලෝ 53657 අතරින් youth with talent ජයග්‍රාහකයා ලෙස පත්වුණේ සර්කස්වලින් වැඩ පෙන්වූ කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල කලවැල්ලව පාරේ දියකඩුවේ දිලීප දිනූෂ යි..

මේ තරුණයා සොයා ඔහුගේ නිවසට යන්න අපේ apple සෙට් එකට ලොකු උවමනාවක් තිබුණා මගේ මාධ්‍ය ගුරුවර සංජක අයියත් එක්ක call එකෙන් දාපු chat එකෙන් මේ අපූරු තරුණයා සොයා යන්නට මම තීරණය කරා. දුරකථනයෙන් ගත්තු මුල්ම ඇමතුමට දිලීප් උත්තර දුන්නේ සෑහෙන ඝෝෂාවක් මැද. එදා මුළු ගමේ සතුටු උපහාර පුදන්න දිලීපව ගම වටේ එක්කන් යන ගමන්.  කොහොම හරි පසුදා උදෑසන ඔහු සොයා යන්නට මගේ රෝද දෙකට ගොඩවුණ වෙලාවේ ඉඳන් අගලවත්තට ගිහින් බුලත්සිංහල පාරේ තලවැල්ල පාලම ළඟින් හැරිලා දියකඩුව පාරේ යනකොට ගෙදර හොයා ගන්න කිහිප දෙනෙක්ගෙන්ම අහන්න සිදු වුණා. කොහොමත් හොරණ, බුලත්සිංහල පැත්ත බේකරි කර්මාන්තයට ප්‍රසිද්ධයි බේකරියකින්ම ගෙදරට යන පාර කිව්වා. හැබැයි මහත්තයා බයිසිකලේ ගෙදරට යන්න බැහැ මග දාලා තේ පැල මැදින් ටිකක් උඩට නඟින්න තියෙනවා. කොච්චර අමාරු පාරක් වුණත් මේ තරුණයා සොයා යාමේ පිපාසාව මට තිබුණා.
අලුත හිටවපු තේ පැල මැදින් වැටිලා තියෙන ගල් වැටි සහිත වියළි පොළොවේ ඇවිදගෙන උඩට යද්දී “එන්න මහත්තයා” කියලා මැදිවියේ කාන්තාවක් මට කතා කරා. ඇගේ මුහුණේ තිබුණු සිනහව මට වචනෙන් ලියන්න බැරි වුණාට අම්මා කෙනෙක්ට පුතෙක් ගැන තිබෙන ආඩම්බරය ඇගේ මූණ පුරා තිබුණා.

“බලන්න මහත්තයා ආණ්ඩුවෙන් අපිට ඉඩම් දුන්නා. ඒත් යන්න පාරක් තමයි නැත්තේ.” අද මට දැනෙන අපහසුව දැක ඇය කියන්නට පටන් ගත්තා. “ලියුම් ගණන් ලිව්වත් තාම වැඩක් වුණේ නැහැ.” කන්දක් නැගලා පොඩි පල්ලමක් බැස්සාම සිමෙන්ති ගල්වලින් විතරක් බැඳපු රට උළු සෙවිලි කරපු පුංචි ගේ පොඩ්ඩක් තිබුණා. මම ගෙදරට යනකොට වෙලාව දවල් 12.00ට ආසන්න වෙලා තිබුණා දිලීප් උදේට කන්නේ එතකොට. මම ආවා කිව්වාම දඩිබිඩි ගාලා බත් ටික ගිල දාලා ඉස්සරහට ආවා… “වතුර එකක් බොමුද” මට ඉබේටම කියවුණා. “මහත්තයා බීම එකක් නැහැ. වතුර එකක්ම බොමු.” මගේ තිබහ ගැන දැනිලා වීදුරු දෙකකට වතුර පුරවලා සිංහල ක්‍රමයට tray එකක තියලා ගෙනාවා පිරිසිදු වතුර ටිකෙන් මගේ මහන්සිය සංසිදී පොඩි ගතියක්  ඇඟට ආවා.
සාලේ තියලා තිබුණු එකම මේසේ උඩ කුසලානය තියලා තිබුණා. ඒක තියන්න ඒ ගෙදර වෙන තැනක් තිබුණේ නැහැ. “දිලීප දිනූෂ කොහොමද?” මගේ chat එක පටන් ගත්තා.

තිරප්පනේ ඉපදුණේ පපුවාගේ මල්ලා දිලීපගේ තාත්තා CTB එකේ හිටපු chat මහත්තයෙක්. ඔහුට සහ මොරමුදලිගේ සුවිනීතා ලාලනීට දාව මීට අවුරුදු 28කට පෙර ජන්මය ලද දිලීප හම්බවෙන්න ඉන්න දවස්වල මේ අහිංසක දෙමව්පියන් මාර කට්ටක් කාලා තියෙනවා.
වේල් තුනෙන් දෙකක් එකක් පිරිමහගෙන 1982 රස්සාවෙන් අයින් වුණ ස්වාමියත් එක්ක ගෙව්ව ජීවිතේ කටුක බව දිලීපගේ අම්මා කියන්න ගත්තා. “දිලීප හම්වෙන්න බඩේ ඉද්දි මම වැලි ගොඩ දැම්මා. මේ ගොල්ලන්ගේ තාත්තා අතේ පයේ හයියෙන් වැලි ගොඩ දැම්මා, කුලී වැඩ කරා. ඔය මහත්තයා බැහැගෙන ආපු තැන ඉටි කොළවලින් කවර් කරලා තිබුණු පැල වගේ හදපු පැලක අපි හිටියේ.”
ආර්ථික අමාරුකන් මැද්දේ නාහල්ල ශ්‍රී  රේවත මහා විද්‍යාලයට දිලීප්ව යොමුකරලා තියෙන්නේ ගොඩක් බලාපොරොත්තු ඇතිව ඒත් දරිද්‍රතාව කුසගින්න දවසින් දවස වධ දෙන එක නතර කරලා නැහැ. ඔය අතරේ දිලීපගේ අම්මා සෞදියට යනවා රට සල්ලි හොයන්න ඒ එවපු මුදලින් තමයි දැන් මේ ඉන්න ගේ පොඩ්ඩ හදාගෙන තියෙන්නේ. අම්මාත් ගෙදර නැති නිසා දිලීප්ව ආම්බාන් කරන්න ලෙහෙසි වෙලා නැහැ.
ඉස්කෝලේ 10 පන්තියේදී ගෙවල් ළඟ ජම්බු ගහකින් වැටිලා අතයි කකුලයි දෙක කඩාගෙන ඉස්කෝලේ ගමනටත් තිත වැටිලා. මාස 6ක් විතර ගෙදර ඉන්න වෙලා තියෙනවා.

අත පය යන්තම් වාරු කරගන්න පුළුවන් වෙනකොට දිලීපට හිත ගියේ ත්‍රිවීල් පදින්න ඉගෙන ගන්න. ඒකත් ටික දවසයි ඔය අතරේ ගමට සර්කස් ඇවිත්. සර්කස් බලන්න ගිය මේ ඉලන්දාරියාට මේ වැඩේ හිතට අල්ලලා ගිහින්. ගෙදර ආපු වෙලාවේ ඉඳන්ම තාත්තාට තිබිලා තියෙන්නේ එකම වධයක් සර්කස් ඉගෙන ගන්න දාන්න කියලා. සෞදියේ හිටපු අම්ම නම් කිසිසේත් මේ වැඩේට කැමතිවෙලා නැහැ. කොල්ලගේ පෙරත්ත හින්දම තාත්තා මේ වැඩේට ර්ණීම් එක දීලා තියෙනවා.
සර්කස් පැසිපියා එකේ මාස හතරක් විතර ඉන්න කොට වැඩ ටික අල්ලගන්න දිලීපට හැකිවෙලා. ඒත් එතන්ට ආයුබෝවන් කියපු දිලීප අවුරුදු 08 මාස 10 විතර අලුත් අලුත් දේ සොයා යෑම ආරම්භ කරනවා.

“ඕනෑම දෙයක් බලාගෙන හිටියම මට වැඩේ තෙරේනවා” දිලීප කිව්වේ එහෙම. “මට දෑතේ වැඩ හොඳට පුළුවන්. ඕනෙම වෙලාවක බස් එකේ chat වැඩෙත් කරනවා, පාරවල් කොන්ක්‍රීට් කරන්න, අත්වැඩ දෙන්න, වඩු වැඩ මේ ඕන එකක් මං කරනවා. මගේ ත්‍රීවිල් එක මගෙ පණ. හැබැයි පාර්ක් එකේ ගහගෙන හයර් නම් දුවන්නේ නැහැ.” කතාව ඔහොම යද්දි මගේ ප්‍රශ්නෙට දිලීප මෙහෙම උත්තර දුන්නා.
“කොහොමද ඔයාට මේ ITN වැඩේට යන්න ලැබුණේ.” “කුමාර කන්ද සර්කස් එක ගැහුවා” ඔහු හුරු පුරුදු ශෛලියෙන් කිව්වා. “ඒක බලන්න ආපු ජාතික තරුණ සේවා සභාවේ අශෝක රත්නායක මහත්තයා youth with talent ගැන මට කියලා එවලේම Application එක පිරෙව්වා. ඒ මහත්තයා ගාල්ලේ තරුණ සේවා නිලධාරී. මම කළුතර දිස්ත්‍රික්කයේ ඒත් එයා ඒ වැඩේ උනන්දුවෙලා මට කරලා දුන්නා. කොහොම හරි කැරකිලා කළුතරට Application එක ආවා. මුල්ම වටේට මම ගියේ තනියම. දෙවන තුන්වන වටවලදී මට යාළුවොත් උදව් කරා. සමහර දවස්වල අපිට සර්කස් show තියෙන දවස්වලම talent show එකටත් එනවා. ඉතින් යාළුවන් එක්කන් යන්න අමාරුයි. වට දෙක තුන යනකොට මම අලුත් දේවල් ටිකක් කරන්න උත්සාහ කරා. ඒවට කුමාර මල්ලී ඇතුළු මගේ යාළුවෝ මට උදව් කරා. ඒත් මේ වැඩේ win කරන්න talent එක විතරක් මදි. sms විශාල වශයෙන් ඕනේ. ඒත් ඒවට වියදම් කරන්න මගේ අතේ සල්ලි තිබුණේ නැහැ. සමහරු කාඩ් ගහලා කටවුට් ගහලා එහෙම තිබුණා. මීට අවුරුද්දකට විතර කලින් ඇරපු මගේ facebook එක මට මේ වෙලාවේ සෑහෙන වැඩ කරා. ඒ හරහා මට සෑහෙන ප්‍රතිචාර ලැබුණා. ඒත් තරගෙ win කරන්න මේ අවටින් විතරක් sms ලැබිලා මදි කියලා මට තේරුණා. ඒත් විදයම් කරන්න අතේ සල්ලිත් නැහැ. එහෙමයි කියලා ඉල්ලන්නත් බැහැ.” ටික වේලාවකින් දිලීප්ගේ අම්මා බීම එකක් අරගෙන මගෙ ළඟට ආවා.

“බොන්න මහත්තයා. මහත්තයා දන්නවද මෙයාට යුද්දෙ කාලේ හමුදාවට යන්න ඕන කිව්වා. ඉන්ටවිව් හිටන් ගියා. හමුදාවට ගන්නන් කියලත් තියෙනවා. ඒත් බොහෝම අමාරුවෙන් කියලා කියලා ඒ වැඩේ නතර වුණා. ටික දවසකින් මහණ වෙන්න යන්න හැදුවා. පන්සලට ගිහින් පොත්පත් කියවලා හාමුදුරු කෙනෙක් වෙන්නමයි හැදුවේ. අපිටත් ගොඩක් ළමයි නැහැ. මෙයා විතරයි ඉන්නේ. මේකව ශාසනේට දීලා කොහොමද මහත්තයෝ. හැබැයි ඉතින් මම මුලදි සර්කස් වැඩේට අකමැති වුණත් මෙයාට ඒ අංශයෙන් ලොකු හැකියාවක් තියෙනවා කියලා පස්සේ පස්සේ අපිට තේරුණා.”

“තනිරෝදෙ බයිසිකලේ පිටිපස්සට පදින්න පුළුවන් කියලා talent show එකක් කරන්න පත්තරවල හිටන් දැම්මා. ඒත් මට ඒ වැඩේට කවුරුවත් උදව් කරේ නැහැ.” දිලීප කිව්වේ කලකිරීමෙන්.
“මගේ ත්‍රීවිල් එකෙන් තමයි මම ඔය ගිය හැම තරගයකටම ගියේ. සමහර දවස් තිබුණා පෙට්‍රල් ගහන්නත් අතේ සත පහක් නැති. ඒත් මට සෑහෙන විශ්වාසයක් තිබුණා. මට මේක win කරන්න පුළුවන් කියලා. අවසාන මහ තරගෙට තේරිලා කොළඹ යන්න ඉන්නකොට මගේ අතේ තිබුණේ එකම එක රු.1000යි. මම හොරණ වාසනා බේකරියේ මහත්තයා හම්බවෙන්න ගියා මගෙන් විස්තර අහලා මට රු.20,000 දුන්නා. චල්රුක් බේකරියේ අයියත් රු.5000ක් දීලා කිව්වා ‘බැනර් ටිකක් දාන්න හැබැයි මගෙ නමවත් දාන්න එපා’ කියලා. ඒ අය දීපු ආර්ථික හයිය මට ඒ වෙලාවේ මහමෙරක් වගේ. ඒ සල්ලිවලින් පාදුක්ක, වග, හොරණ මම සර්කස් පෙන්නපු තැන්වල බැනර් ටිකක් දැම්මා. හැබැයි ඒවට මගෙ අතින් සතයක්වත් වියදම් වුණේ නැහැ. විදයම් කරන්න මගේ ළඟ සල්ලි තිබුණෙත් නැහැ.”

මේ තරුණයට තිබුණු එකම අරමුණ ITN youth with talent කිරුළ දිනාගැනීමයි. ඔහු ඒ වෙනුවෙන් කළ කැපකිරීම ශාරීරියට දීපු දුක් අනන්තයි. එහෙත් ඔහුගේ ආත්ම විශ්වාසය දුර ගමනක් ගෙනියනවා.
“අන්තිමට තරගෙට කොළඹ ආවෙත් ත්‍රීවිල් එකේ. බස් දෙකක් මට උදව් කරන්න ආවා. මම ආවේ මට හුරුපුරුදු ත්‍රීවිල් එකේ.”
ගෙදරින් එබී අවට බැලූ මට පෙනුනේ තේ දළු සහිත ඉඩමකි.
“මේ දළු ටිකෙන් සතියට කිලෝ විස්සක් විතර කඩනවා. මෙයාගේ තාත්තට නම් දැන් වැඩ කරන්න බැහැ එයා බේත් බොනවා. අර මහත්තයා විස්තර අහපු බේකරියේ මම වැඩට යනවා. පැයකට රු.50ක් ගෙවනවා. උපරිම පැය 05ක් වැඩ කරන්න පුළුවන්. ගෙදර ‍ෙදාර ගැන බලන්නත් ඕනනේ මහත්තයෝ.” දිලීපගේ අම්මා තුළ පුදුමාකාර ධෛර්යයක් මා දුටුවා. ඇය නිතරම තම ස්වාමියාද ආරක්‍ෂා කරමින් තම පුතාගේ ජීවිතය ගොඩ දාන්නට වෙර දරණ පතිනියකි. සැබෑම අම්මා කෙනෙකි. එමෙන්ම ලෙන්ගතුව කතා කිරීමට ඇයට උපතින් ගෙන ආ දක්‍ෂතාවයක්ද පවතින බව මගේ විශ්වාසයයි.

අවුරුදු 28 වන මේ තරුණයාගේ අවසන් ඉදිරිපත් කිරීමෙන් පසු ඔහු සමඟ සිටි අනෙක් සටන් සගයන් බොහෝදෙනෙක් ඔයා sure win ඒක තමයි කියල පැවසූ බවද දිලීප සඳහන් කර සිටියා.
තවමත් නිමාවී නැති සිමෙන්ති ගල් සහිත ඔහුගේ නිවස සම්පූර්ණ කිරීමට ලැබුණු මුදල් ප්‍රයෝජනයට ගන්නා බවත් තේ පැල ටිකක් දාගන්නත් ඔහුගේ හිතට කාවැදී තිබෙනවා. තරුණයෙකුට එන ආදර හැඟුම් කසාදය වැනි කාරණාවලදී දිලීප දැරුවේ දරීද්‍රතාවෙන් බැට කන ජීවිතයට තව කෙනෙකුන් අමාරුවේ දැමීමට නොහැක යන ආකල්පයයි. එහෙත් දෙමව්පියන්ගේ හිත ඔහු විවාහ විය යුතු බව පවසයි.
“දිලීප දිනුවා. ඒත් මේ සර්කස් කර්මාන්තය දිනලා නෑ. මම දිනුවට මට වැඩක් නැහැ. කවදාහරි මට තියෙන සතුට මේ කර්මාන්තය ගොඩ ගිය දවසටයි. මට සල්ලි ලැබුණා. ඒ මේ රස්සාව කරන වේලක් හරියට කන්න විදිහක් නැති කී දාහක් අපේ රටේ ඉන්නවද? රජය මැදිහත් වෙලා ඒ වෙනුවෙන් මොනවාහරි දෙයක් කරන්න වෙනවා.”
මගේ ඊළඟ ප්‍රශ්නය වුණේ “දිලීපට කවුරු හරි job එකක් දුන්නොත්?”
“මට රස්සාවක් දුන්නොත් මේ කර්මාන්තේ ඉදිරියට ගෙනියන්නේ කවුද? අපේ සර්කස් ජාත්‍යන්තරයට ගෙනියන්න පුළුවන්. ඒ වෙනුවෙන් වැඩපිළිවෙළක් ඕනේ. මට සර්කස් වෙනුවෙන් කරන්න පුළුවන් උපරිම දේ මම කරනවා.”
ඔහුට අද බලාපොරොත්තුවක් ඇවිත් එදා ජීවිතය ගොඩදාගන්න දෑතේ වීර්යෙන් බදාම අනපු කුලී වැඩ කරපු බස් chatකම් කරපු දිලීප ගේ දෑස් අද අනාගතය වෙනුවෙන් කතා කරනවා.

“මේ මොනදේ මට ලැබුණත් මේ ගම මම දාලා යන්නේ නැහැ. මේ තියෙන නිස්කලංක බව වෙන කොහේවත් නැහැ. සමහරු කියනවා මට පාරේ අයිනෙන් ගෙයක් හදාගන්න කියලා. ඒත් මම ගේ හදන්නේ මෙතැන. මේ හුළඟ ටික මට ආශිර්වාද ගතියක් කරනවා.”
මේ පාර තමයි ප්‍රශ්නේ ඔහු ඒ ගැන කතා කරේ. තරමක් කනගාටුවෙන්. “ඉඩම් දුන්නට මහත්තයා අපිට පාරවල් දුන්නැහැනේ. හැබැයි නොදී ඉන්නත් බැහැ.” ඔවුන් තුළ බලාපොරොත්තුවක්ද පවතී.
ITN එක, ජාතික තරුණ සේවා සභාව ගැන දිලීප කතා කළේ විශාල ගෞරවයකින්. “සර්කස් දිලීප කිව්වාම දැන් මාව ඕන කෙනෙක් දන්නවා. facebook එකේ එන මැසේජ්වලට උත්තර දෙන්න වෙලාවක් නැහැ.” ඔහුගේ phone එකට එන සුබ පැතුම්වලින්ද අඩුවක් තිබුණේ නැහැ.

අහිංසක තරුණයකුගේ බලාපොරොත්තු හෙට දවසේ ඉටු වනු දැකීම Apple අපේද පැතුමයි. ගෙදරට ආ අමුත්තෙකු ලෙස නොව මට ඔවුන් දැක්වූයේ පුදුමාකාර ලෙන්ගතු කමකි. දිලීපගේ බලාපොරොත්තු පරිදි ගේ හැදුව දවසට මම ආයෙත් දිලීප බලන්න එනවා. මටම කියාගෙන තනි ‍ෙදාරටුවෙන් එළියට ආවේ මේ අපූරු තරුණයාට ජීවිතය ජයගන්නට සුබ පැතුම්ද එකතු කරමිනි.

රුපියල් දාහක් තියාගෙන ITN යූත් ටැලන්ට් තරඟයට ආපු බුලත්සිංහල සර්කස් අහිංසකයා

බිනූප සංජීව මානගේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: