ලංකාවටම දේශපාලඥයෝ දෙන්නයි

March 7, 2017 | 4:00 pm    0   413

ලංකාවටම දේශපාලඥයෝ දෙන්නයි

ලබන අවුරුද්දට ලංකාවේ පාර්ලිමේන්තුවට අවුරුදු හැත්තෑවක් පිරෙනවා. අවුරුදු හැත්තෑවක් කියන්නේ ලොකු කාලයක්. සාමාන්‍යයෙන් මනුස්සයෙක් ගත්තොත් තමන්ගේ ජීවිත කාලයම වගේ ආසන්න කාලයක්.

අවුරුදු හැත්තෑවක කාලය තුළ ලංකාවේ පාර්ලිමේන්තුව රටේ කරපු දේවල් මොනව ද, ඒකෙන් බිහිකරපු දේශපාලඥයෝ කොයි වගේ ද කියලා ඇහුවොත් කාට හරි හිත සතුටු වෙන උත්තරයක් දෙන්න පුළුවන් ද?

ලංකාවේ මිනිස්සුන්ගෙයි, පාර්ලිමේන්තුවෙයි ලොකු වෙනසක් නෑ. ලංකාවේ අතිබහුතර මිනිස්සු වයසට ගියාට පරිණත වෙලා නෑ. ගොඩක් අය කෙස්ස පැහිලා, හම රැළි වැටිලා, අවුරුදුවලින් වයසට ගියාට මුහුකුරා ගිය සමාජ දැනුමක්, පරිණතකමක් පෙන්න නෑ. ලංකාවේ පාර්ලිමේන්තුවත් එහෙමයි. පාර්ලිමේන්තුව ගොඩනැඟිල්ලක් හිටියට වයසට ගිහිල්ලා විතරයි. ඒකට ගොඩවෙච්චි අයත් පිටවෙච්ච අයත් අතර ඉතා කලාතුරකින් තමයි නියම දේශපාලඥයෙක් බිහිවුණේ.

ලංකාවේ මිනිස්සුන්ට දේශාපාලඥයෙක් කියන එක ඔළුවට එන්නේ පාර්ලිමේන්තු ගියොත් විතරයි. 1948 නිදහසින් පස්සේ අද මේ වෙනකම් ලංකාව තුළ බිහිවෙච්ච දේශපාලඥයෝ කීදෙනෙක් ඉන්නව ද? හැබැයි ඒ දහස් ගණන අතරින් ඇත්තටම දේශපාලන චරිත දෙකයි ඉන්නේ. එහෙම කියනකොට පොඩි අවුලක් තියෙනවා තමයි. ඒත් ඇත්ත ඒක තමයි. දේශපාලඥයෝ දෙන්නයි ඉන්නේ.

ඒ අතරින් එක්කෙනෙක් තමයි හිටපු ජනාධිපතිවරයෙක් වන ජේ.ආර්.ජයර්ධන. ඔහු නව දේශපාලනයේ පුංචිම තැන ඉ¼දන් ජනාධිපති පුටුවට එනකං ආපු කෙනෙක්. අනිත් කෙනා ජීවිතේට පාර්ලිමේන්තු ගිය නැති ඒත් ලංකාවේ නියමම දේශපාලන සංස්කෘතියක් ගොඩනඟපු කෙනෙක්. ඒ තමයි රෝහණ විජේවීර. ඒ දෙන්නා විතරයි ලංකාවේ පංති දේශපාලන කියන එක අවබෝධයෙන් කරපු නියමම දේශපාලඥයින්.

J.R. කවදාවත් පංති දේශපාලනයෙන් පිට ඉඳන් දේශපාලනය කළේ නෑ. විජේවීරත් එහෙමයි. ඔවුන් දේශපාලනයේ සියලු තීන්දු තීරණ ගන්නේ පංති දේශපාලනය කියන අත්තිවාරම උඩ ඉඳගෙන. J.R.  සේවය කළේත් කැප වුණේත් ධනපති පංතිය වෙනුවෙන් විතරයි. විජේවීර ජීවිතයම කැප කළේ නිර්ධන පංතියත් නිර්ධන පංති දේශපාලනයත් වෙනුවෙන්. ඒ හින්දයි 48න් පස්සේ ලංකාවේ බිහිවුණේ දේශපාලඥයින් දෙදෙනෙක් විතරයි කියලා කියන්නේ. ඔවුන් මඟ ගිය පාක්ෂිකයින්, අනුගාමිකයින් පවා පස්සේ කාලෙක පීල්ල පැන්නා.
පාර්ලිමේන්තුව කොච්චර පැරණි වුණත් ලංකාවේ දේශපාලනයට ඉදිරි ගමනක් නෑ. ගොඩනැඟිලි වයසට ගියාට සමාජයට වෙන සුගතියකුත් නෑ. ඡන්දෙ ඉල්ලලා පාර්ලිමේන්තු ආවට දේශපාලඥයෙක් වෙන්නෙත් නෑ. දේශපාලන ගැඹුරක් නැති තොත්ත බබාලාත්, කුණුහරුප කියන සීයලාත්, චණ්ඩිපාට් දාන නළුවනුත්, වාචාලකමට ‍ෙදාඩවන රැහැයියනුත් හැර මේ පාර්ලිමේන්තුවෙන් ඉදිරියට යමක් බලාපොරොත්තු වෙන්න පුළුවන් ද?

දුමින්ද බොරළුගොඩ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: