ලංකා විදුලි බල මණ්ඩලයේ නිවාඩු අද සිට අවලංගු කෙරේ.

September 13, 2017 | 11:17 am    0   178

ලංකා විදුලි බල මණ්ඩලයේ නිවාඩු අද සිට අවලංගු කෙරේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ සියලූ සේවකයන්ගේ නිවාඩු අද (13) සිට ලබන 20 වැනිදා දක්වා අවලංගු කර තිබේ. එහි සාමාන්‍යාධිකාරී ඉංජිනේරු ඒ. කේ. සමරසිංහගේ අත්සනින් නිකුත් කළ චක්‍රලේඛයක් මගින් මේ බව ප්‍රකාශයට පත්කර ඇත.

එමගින් වැඩිදුරටත් පෙන්වාදී ඇත්තේ රටට අඛණ්ඩව විදුලිය සැපයීම ලංකා විදුලිබල මණ්ඩලය සතු ජාතික වගකීමක් බවයි.

අද (13) දහවල් 12 සිට දින දෙකක අඛණ්ඩ වැඩවර්ජනයක් සිදුකරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානය මීට පෙර ප්‍රකාශ කර තිබුණි.

එහි කැදවුම්කරු රංජන් ජයලාල් සඳහන් කළේ වැටුප් විශමතාව ඉවත් කිරීම, විදුලිබල මණ්ඩල සේවකයින්ගේ අර්ථ සාධක අරමුදලේ අස්ථානගත වී ඇති අරමුදල් සම්බන්ධයෙන් සහ ජනතාවට තවත් වැඩි කිරීමට යන විදුලි බිල සම්බන්ධයෙන් විරෝධය දක්වමින් මෙම විරෝධතාවය පැවැත්වෙන බවයි.

මේ සම්බන්ධයෙන් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයෙන්ද විමසු විට එහි සංවර්ධන අධ්‍යක්‍ෂ සුලක්‍ෂණ ජයවර්ධන පැවසුවේ වෘත්තීය සමිති විසින් පෙන්වා දෙන වැටුප් ගැටළු විසඳාලීමට දැනටමත් කටයුතු ආරම්භ කර තිබෙන බවය. තවද අද ආරම්භ කෙරෙන වැඩවර්ජනය නිසා විදුලි පාරිභෝගිකයන් පීඩාවට පත්වීමට ඉඩ නොදෙන බවද සුලක්‍ෂණ ජයවර්ධන මෙහිදී පැවසිය. විශේෂයෙන්ම විදුලි බිඳවැටීම් ඇති නොවීමට සහ විදුලි බිඳවැටීම් සිදුවුවහොත් ඒවා කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරන බවද ඔහු අවධාරණය කළේය.

පාරිභෝගිකයන්ට සිදුවිය හැකි පීඩා පිළිබඳව ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයෙන්ද විමසීමක් කළවිට  එහි කැඳවුම්කරු රංජන් ජයලාල් ප්‍රකාශ කර තිබුනේ පාරිභෝගිකයන්ට පීඩා සිදු නොවන පරිදි විදුලි සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාම පාලකයන්ගේ වගකීමක් බවය.

සිය ඉල්ලීම්වලට පැය 48 ක් ඇතුළත පිළිතුරු ලබානොදුනහොත් අද ආරම්භ කරන වැඩවර්ජනය අඛණ්ඩ වැඩවර්ජනයක් දක්වා දැඩි කරන බවද රන්ජන් ජයලාල් මෙහිදී පැවසිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: