ලිංගික හිංසනයෙන් කාන්තාවන්ට කිසිදු ගැලවීමක් නැත…

February 17, 2017 | 3:55 pm    0   454

ලිංගික හිංසනයෙන් කාන්තාවන්ට කිසිදු ගැලවීමක් නැත…

මහමඟ දී, සේවා ස්ථානයේදී මෙන්ම පොදු ප්‍රවාහන සේවාවන්හීදී ලංකාවේ කාන්තාවෝ නිරන්තරයෙන් ලිංගික හිංසනයට ලක්වෙනවා කියලා BBC වෙබ් අඩවියේ පහුගිය දවසක වාර්ථා කරලා තිබුණා. BBC ලෝක සේවය මේ වගේ පුවතක් මෑත කාලීනව වාර්ථා කරලා තිබුණත් කාන්තාව සහ ලිංගික හිංසනය කියන මාතෘකාව අපේ කරලියට අලුත් එකක් නො වෙන්නේ ඒකට දීර්ඝ ඉතිහාසයක් තියෙන නිසා.

ඇත්තටම මානවයාගේ ආරම්භය ගැන කතා කරන කොට බයිබලයේ පවා දක්වලා තියෙන්නේ කාන්තාව පාපිෂ්ට හා වරදකාරී තැනැත්තියක් විදයට. මේ විදියටම හැම ආගමකම මූලාශ්‍රය පරිශීලනය කරන කෙනෙක්ට පැහැදිලිවම පේන දෙයක් තමයි ආගමික ඉගැන්වීම් හැම එකකම වගේ කාන්තාව පිළිබඳව දකවලා තියෙන්නේම මෙවැනි මතවා ද කියලා.

ආගම කියන්නේ අනෙක් හැම දේකටම වඩා සමාජයට බලපෑම් කළ හැකි ප්‍රබල තැනක් නිසාම මුල්කාලීන සමාජයේ තිබ්බ ආගමික ඉගැන්වීම් සමාජය තුළ මුල් බැස ගන්න ඇති. ඒ නිසාම අතීතයේ ඉදලා කාන්තාව සම්බන්ධයෙන් සමාජය තුළ පසුගාමී අදහසක් ගොඩනැඟෙන්න ඇති කියලා හිතන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මිනිස්සු විදයට අපි හදුන්වන ජීවි කොට්ඨාසයට අයිති වර්ග දෙක ගැහැණු හා පිරිමි විතරක් නම් කාන්තාවට මෙවැනි තත්ත්වයක් උද්ගත වෙන්නේ පිරිමි නිසා ද එහෙම නැත්තම් කාන්තාව විසින්ම ගොඩනඟාගත්ත පසුගාමීත්වයක් නිසා ද කියන එකයි. මේ දෙකෙන් කෝක වුණත් කාන්තාව සම්බන්ධයෙන් පිරිමින්ට සාපේක්ෂව සමාජයේ එදා වගේම අදත් තියෙන්නේ පසුගාමී ආකල්ප කියන එක පැහැදිලි වෙන්නේ කාන්තාව නිරන්තරයෙන් ලිංගිකව වගේම මානසිකවත් හිංසනයට ලක්වෙන නිසා. 21 වන සියවසේ අපේ සමාජය කොයිතරම් දියුණු තැනක තිබුණත් කාන්තාව සම්බන්ධයෙන් මේ දියුණුව ඇති කරගන්න කිසිම කෙනෙක්ට හැකියාවක් නැති වෙලා තියෙනවා. ඒ නිසයි මහමඟදී, පොදු ප්‍රවාහනයන් තුළදී වගේම රාජකාරී ස්ථානයෙත් තවමත් කාන්තාවන් හිංසන්යන්ට ලක්වෙන්නේ.

බොහෝමයක් අවස්ථාවල සමාජයේ ජීවත්වන පුරුෂ පාර්ශවය හිතන්නේ කායිකව කාන්තාවන්ට වඩා තමන් ශක්තිමත් නිසාම මානසිකව කාන්තාව ඇද වට්ටන්න පුළුවන් කියලා. ඒ හරහා බොහෝදෙනා උත්සහ කරනවා ප්‍රාථමික ගණයේ ක්‍රියවලීන් තුළින් තමාගේ අභිලාෂයන් ඉටු කරගන්න. ඒ තත්ත්වය මානසික අල්ලසේ ඉඳලා ලිංගික අල්ලස් දක්වා දුර දිග යන තරමට දරුණුවෙලා තියෙනවා. මේ තත්ත්වයට ගොදුරුවන කාන්තාවෝ බොහෝදෙනෙක් ආත්ම අභිමානය හෝ ආත්ම ගරුත්වය ගැන හිතමින් තමන්ට එල්ලවන බලපෑම් ගැන ප්‍රසිද්ධියේ කතා කරන්න අකමැති වෙනවා. වඩාත් දියුණු යැයි කියන බටහිර සමාජයේ වගේම නො දියුණු යැයි කියන පෙරදිග සමාජය තුළත් මේ තත්ත්වය බොහොම පොදු තත්ත්වයක් බව කියන්න උදාහරණ අනන්තවත් පෙන්වලා දෙන්න පුළුවන්.

ඒ තත්ත්වය කොයි තරම් දරුණු ද කියනවා නම් පෞද්ගලිකව වගේම පොදුවේත් කාන්තාවන් බොහෝදෙනෙක්ට ලිංගිකව හා මානසික අල්ලස්වලින් තොරව තමන්ගේ වෘත්තිය ජීවිතයේ ඉලක්කයන්ට ළඟා වීමට නො හැකි තත්ත්වයක් උද්ගතවෙලා තියෙනවා. බොහෝ අවස්ථාවල එවැනි වෘත්තීය ජයග්‍රහනයන් අත් කරගැනීමට නම් සමහර ක්ෂේත්‍ර තුළ ලිංගික හා මානසික අල්ලස් යනු අනිවාර්ය අංගයක් බවට පත් වී තිබෙනවා. ඒකට ලිංගිකමය වශයෙන් පවතින ඊර්ෂ්‍යාව හේතු වෙන්න පුළුවන් වුණත් ඒ තත්ත්වයට සෘජුවම බලපාන කාරණය වන්නේ කායිකව කාන්තාව දුර්වල බව සිතීම ඒ හරහා මානසිකවත් කාන්තාව දුර්වල කිරීම. මේ ඕනෑම රැකියාවකට පොදු තත්ත්වයක් වුණත් අපේ රටේ මේ තත්ත්වය බහුලව දක්නට ලැබෙන්නේ විශ්වවිද්‍යාල පද්ධතිය ආශ්‍රිතව කියන එක පුදුමයට කරුණක් නො වන්නේ ආචාර්යවරු කිහිපදෙනෙක්ම සිසුවියන්ට එල්ල කළ ලිංගික අල්ලස් සම්බන්ධ සිදුවීම් වැඩිපුර ප්‍රසිද්ධ නො වුණාට ඕපදූප විදයට ඒ ක්ෂේත්‍රය පුරාම පැතිරිලා තිබීම. සත්‍යය අසත්‍යකම කොහොම වුණත් පොදුවේ ඕනෑම ක්ෂේත්‍රයක මේ තත්ත්වය දකින්න ලැබෙන දෙයක්. කොහොම වුණත් ඔය මොන දේ වුණත් බොහෝදෙනෙක් නො දන්න ඇත්තක් තියෙනවා. ඒ කාන්තාව මානසිකව දුර්වල වුණත් කායිකව බොහෝ ශක්තිමත් බව. නමුත් බොහෝමයක් අවස්ථාවලදී සිදුවන්නේ පිරිමින්ගේ කායික ශක්තිය ඉදිරියේ කාන්තාවගේ මානසික ශක්තිය දියාරුවීම. ඒ නිසාම එදා වගේම අදත් පිරිමින් ඉදිරියේ කාන්තාව දුර්වලයි කියලා බොහෝදෙනෙක් හිතන්න පෙළඹිලා තිබුණට ඒක සැබෑ යථාර්ථයක් නො වන බවට උදාහරණත් අනන්තවත් ඉදරිපත් කරන්න පුළුවන්. මේ සියවස තුළදී එවැනි කාන්තාවන් බොහෝදෙනෙක් තුළ පවතින ධෛර්යය කාන්තාවන් සියල්ලන්ටම නැති වීම කණගාටුවට කරුණක් වුණත් එවැන්නන් අතලොස්සක් හෝ සිටීමත් සතුටට කරුණක්.

චමෝදි කලුආරච්චි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: