වකුගඩු දෙකෙන් රෝගීන් දෙදෙනෙකුට ජීවිතය දුන් මොලය මිය ගිය තරුණයා

March 16, 2017 | 2:40 pm    0   371

වකුගඩු දෙකෙන් රෝගීන් දෙදෙනෙකුට ජීවිතය දුන් මොලය මිය ගිය තරුණයා

හදිසි අනතුරකට ලක්ව ප්‍රතිකාර සඳහා ‍පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර සිටි මොළය මියගිය තරුණයකුගේ වකුගඩු යුගලය, වකුගඩු බද්ධ කිරීම සඳහා නියමිතව සිටි රෝගීන් දෙදෙනකුට සාර්ථකව බද්ධ කිරීමේ පුවතක් පොළොන්නරුව මහ රෝහලෙන් වාර්තා වේ.

මෙම වකුගඩු බද්ධ කිරීම සිදුකර ඇත්තේ ‍පොළොන්නරුව මහ රෝහ‍ලේ වකුගඩු රෝග ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි 17 හැවිරිදි පාසල් සිසුවකුට සහ මහනුවර මහ රෝහ‍ලේ වකුගඩු රෝග ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි 38 හැවිරිදි පුද්ගලයෙකුටය.

එම වකුගඩු රෝගීන්ට බද්ධ කිරීම සඳහා වකුගඩු දෙක ලබාගෙන ඇත්තේ හදිසි අනතුරකින් බරපතළ ලෙස තුවාල ලබා ‍පොළොන්නරුව මහ රෝහ‍ලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි මොළය මියගිය ඩබ්ලිව්. අකිල මනෝජ් නමැති 21 හැවිරිදි තරුණයෙකුගෙනි. අකිලගේ මවද ‍පොළොන්නරුව මහ රෝහ‍ලේ ජ්‍යෙෂ්ඨ උපස්ථායිකාවක ලෙස සේවය කරන්නියකි.

විවාහකයකු වන අකිල මනෝජ්ගේ බිරිඳ සුපුනි අනුපමා මහත්මියත් අකිලගේ මාපිය දෙපළත් එම වකුගඩු දෙක ලබාදීමට එකඟතාව පළකිරීම නිසා ජීවිතයත් මරණයත් අතර සටනක සිටි වකුගඩු රෝගීන් දෙදෙනකුට නැවත ජීවිතය ලබාදෙන්නට හැකිවූ බව වෛද්‍යවරුන් සඳහන් කරයි.

‍පොළොන්නරුව මහ රෝහ‍ලේදී සිදු කෙරුණු වකුගඩු ලබාගැනීම සහ 17 හැවිරිදි පාසල් සිසුවාට සිදුකළ වකුගඩු බද්ධ කිරීමේ සැත්කම සඳහා අනුරාධපුර මහ රෝහ‍ලේ රුධිර වාහිනි පිළිබඳ ශල්‍ය වෛද්‍ය ජොසෙල් අරුච්චෙල්වම්, ‍පොළොන්නරුව මහ රෝහ‍ලේ වකුගඩු රෝග විශේෂඥ වෛද්‍ය රජීව දසනායක, ‍පොළොන්නරුව මහ රෝහ‍ලේ වකුගඩු රෝග ඒකකයේ වෛද්‍ය එච්. රිනාස්, වෛද්‍ය නිමාලි ගොඩකන්ද යන මහත්ම මහ්මීහු ඇතුළු වෛද්‍යවරුන් කණ්ඩායමක් සහ හෙද හෙදි ඇතුළු අනෙකුත් කාර්ය මණ්ඩල කටයුතු කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: