වගකීමක් ඇති, වගවීමක් නැති රතන සූත්‍රය

January 23, 2017 | 1:29 pm    0   455

වගකීමක් ඇති, වගවීමක් නැති රතන සූත්‍රය

එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන්ට හැමදේම එපා වෙලා පාර්ලිමේන්තුවේ ස්වාධීනව ඉන්න හිතක් පහල වෙලා. උන්වහන්සේ කියා හිටින්නේ ආණ්ඩුව මැටි ගුලියක්, ඒක එක එක අය ඕන විදියට හදාගන්නවා කියලා. හැබැයි ඉතින් ඒ මැටි ගුලියට ඕන විදියට හැදෙන්න සකපෝරුව කරකැව්වෙත් උන්වහන්සේලාම තමයි.

ආණ්ඩුවට විරුද්ධව පුළුල් ජාතික බලවේගයක් හදන්නයි උන්වහන්සේගේ උත්සාහය. දේශපාලන පක්ෂවලින් තොරව එවැනි සංවිධානයක් හදාගන්න හවුල් කරගන්න වෙන්නේ කලාකරුවන්, විද්වතුන්, වෘත්තිකයන් වගේ අය. ජනවාරි අට රාජපක්ෂ පාලනය බිඳින්න ඒ අය දුන්න දායකත්වය, ශක්තිය මේ පාරත් ඒ විදියටම බලාපොරෝතතු වෙන්න පුළුවන් ද කියලා ලොකු සැකයක් තියෙනවා. ඒ අයගේ සිවිල් වටිනාකම්වලට යහපාලන ආණ්ඩුවේ ක්‍රියාකලාපය හින්දා පුංචි කුජීතකමක් ඇති වෙලා. ඒ අය බලාපොරොත්තු වූ ප්‍රතිඵල ලැබුණේ නැති හින්දා ජනතාව ඉස්සරහා ඔවුන්ටත් දිගින් දිගටම පීචං වෙන්න බෑ.

දේශපාලන පක්ෂවල සහය ගන්න ගියත් උන්වහන්සේට ලොකු අභියෝග, බාධකවලට මුහුණ දෙන්න වෙනවා. ආණ්ඩුවට විරුද්ධව එකතු කරගන්න පුළුවන් වෙන්නේ විපක්ෂ කණ්ඩායම් කිහිපය විතරයි. එයිනුත් ඒකාබද්ධ විපක්ෂ අය උන්වහන්සේට උදව් කරයි කියලා හිතන්න බෑ. රාජපක්ෂ ආණ්ඩුව පෙරළන්නට ඕන කියලා කියපු රතන හිමිත් එක්ක දීග යන්න ඔවුන්ට පුළුවන්කමක් නෑ.

ඊළඟට තව ඉන්නවා ජනතා විමුක්ති පෙරමුණ. ඉස්සර තරම් ජනතා ප්‍රසාදයක් මේ වෙලාවේ ඔවුන්ට නෑ. එක වෙලාවක තුන්වෙනි බලවේගය බවට පත්වෙච්ච ඔවුන් පහුගිය මැතිවරණේදී කුජීත වෙලා ගියා. කොච්චර කුජීත ද කියනවා නම් පැරදිච්ච අය ආයත් ලිස්ට් එකෙන් ගන්න තරම් පහල මට්ටමකට වැටුණා. ඒ හින්දා රතන හිමිගේ පුළුල් බලවේගයට ජ.වි.පෙට ලොකු හයියක් වෙන්න බෑ.

ඊළඟ විකල්ප කණ්ඩායම ඉන්නේ දෙමළ සන්ධානේ විතරයි. මේ මොහොතේ තද බලපෑමක් කරන්න පුළුවන් තත්ත්වයක්, ඡන්ද පදනමක් ඔවුන්ට තියෙනවා. මෛත්‍රී පාලනයක් ගේන්න ලොකුම හයිය වුණේ ඔවුන්. ඒ නිසා ඔවුන්ගේ හැකියාව උරගා බලන්න දෙයක් නෑ. ඒත් රතන හිමි දකුණේ සිංහල බෞද්ධ අධිපතිවාදය ගුරුකොට යන චරිතයක් හින්දා දෙමළ සන්ධානේ එක්ක – දාගත්තොත් උන්වහන්සේගේ දකුණේ ප්‍රතිරූපය කුඩු වෙනවා. ඒ හින්දා ඒක කරන්නත් බෑ.

පුළුල් සංවිධාන, ජාතික බලවේගවල ඉතිහාසය ගත්තත් ලංකාවේ අපිට තියෙන්නේ හොඳ අත්දැකීම් නෙවෙයි. ඒවායින් මේ වෙනකන් ආණ්ඩු මාරු කරන්න උදවු කළා මිසක් රටට වෙච්ච දෙයක් නෑ. අපිට මතකයි 1994 චන්ද්‍රිකා බලයට එනකොට එහෙම සිවිල් බලයක් තිබිච්ච එවක රාවය කතෘ වික්ටර් අයිවන් සූරිය කන්දේ මිනීවලවල් ගාණේ ගිහින් රටේ විශාල මතකයක් ඇති කරලා චන්ද්‍රිකා කුමාරතුංග බලයට ගෙනාවා. වික්ටර් අයිවන් හිතපු වෙනසවත් ප්‍රජාතන්ත්‍රවාදයවත් ඇගෙන් දිනාගන්න බැරි වුණා. අන්තිමේදී චන්ද්‍රිකා පාලනය ගැන පොත් ලියලා විවේචනය කරන්න තරම් ඔහුට සිද්ධ වුණා.

මහින්දත්, එක්සත් ජනතා නිදහස් සන්ධානයත් බලයට ගේන්න ඔය විදියට එක්තරා කාලවල ජ.වි.පෙත් අඩු වැඩි වශයෙන් කඩේ ගියා. විධායක ජනපති ක්‍රමය අහෝසි කරන්න වගේ ලොකු දේවල්වලට ඒගොල්ලෝ සෑහෙන දැඟලුවා. ඒත් අද වෙනකම් අහෝසි වෙච්ච විධායක ජනපති ක්‍රමයක්වත් වෙන සෙතක්වත් නෑ. අන්තිමට වුණේ ජ.වි.පෙ. දියවෙච්ච එක විතරයි.

අවසන් ජනාධිපතිවරණයේදී විවිධ පක්ෂ, සිවිල් කණ්ඩායම්, විද්වතුන්, කලාකරුවන් දැඩි වෙහෙසක් දරලා පැවති පාලනය වට්ටලා මෛත්‍රී පාලනයත්, යහපාලනයත් අරගෙන ආවා. ඒ බලවේගය තුළත් උඩින්ම හිටි කෙනෙක් රතන හාමුදුරුවෝ. දැන් ආයිත් උන්වහන්සේ කියනවා ඒක මැටි ගුලියක් කියලා. තමන් තුළ ජනතාව වෙනුවෙන් තිබුණු බලාපොරොත්තු කඩ වුණම එතනින් එළියට බහන එක, ඒකට විරුද්ධව සටන් කරන එක ගෞරව කළ යුතු ගුණාංගයක්. ඒකට අපේ ගෞරවය උන්වහන්සේට ලබාදෙනවා. ඒ ඔක්කොම හරි, ආණ්ඩුවට විරුද්ධව ජාතික බලවේග හදලා ආණ්ඩුවෙන් වැඩගන්න එකත් හොඳයි. අපි මේ කියන්නේ ඒ වගේ බලවේග ගැන සාමාන්‍ය මිනිස්සුන්ට තියෙන විශ්වාසය දැන් නෑ කියලා. එහෙම විරුද්ධව වැඩ කරලා ඊළඟට කාව ද ආයිත් බලයට ගේන්නේ? එහෙම ගෙනල්ල තවත් අවුරුදු ගාණකින් ඒකත් මැටි ගොඩක් කියලා කියන්න වුණොත් එදාට ඇති වෙන තත්ත්වය මොකක් ද?

අන්න ඒ නිසා අපි රතන හාමුදුරුවන්ට කියන්නේ බලවේග හදන එක අභියෝගයක්. ඒ වගේම ඒ ගැනත් අනාගතය ගැනත් ඔබ වහන්සේට වගකීමක් වගේම වගවීමක් තියෙනවා.

දුමින්ද බොරළුගොඩ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: