වර්තමාන ගුවන්විදුලි සම්මානයෙන් පිදිය යුතු ද?

February 15, 2017 | 8:13 am    0   411

වර්තමාන ගුවන්විදුලි සම්මානයෙන් පිදිය යුතු ද?

දිනය පෙබරවාරි 13 වනදා ය. එය ලාංකීය ගුවන්විදුලි ඉතිහාසයේ සුවිශේෂි දිනයකි. ඊට හේතුවක් තිබේ. ඒ සිනමාවට, ටෙලිනාට්‍යට හා අනෙකුත් බොහෝ කලා මාධ්‍යන්ට රාජ්‍යය මට්ටමේ ඇගයීමක් ලැබුණ ද ගුවන්විදුලි නාලිකා මෙන්ම එහි ශ්‍රමිකයන් ද බොහෝ කලකට පසු නැතහොත් ප්‍රථම වතාවට රාජ්‍යය මට්ටමින් අගයන්නට සූදානම් වන්නේ මෙදින වන නිසා ය.

ඒ රාජ්‍ය ගුවන්විදුලි සම්මාන උළෙල හරහා ය. සෑම කලා මාධ්‍යකටම ඇගයීමක් අවශ්‍ය ය. මන්ද ඒ හරහා කලාකරුවාට තව තවත් ගුණාත්මක නිර්මාණ කරන්නට අවශ්‍යය ශක්තිය හා ධෛර්යය ලැබෙන නිසා ය. එහෙත් ගුවන්විදුලිය උදෙසා රාජ්‍යය මට්ටමින් ඇගයීමක් ලබාදෙන්නට යන මේ මොහොතේ එහි කාලීන වැදගත්කම පිළිබදව අනිවාර්යෙන් විමසා බැලිය යුතු ය. මන්ද වර්ථමාන ගුවන්විදුලි නාලිකා හරහා එලෙස ඇගයීමක් ලබන්නට තරමේ ගුණාත්මක යමක් තම ශ්‍රාවකයාට ලබා දෙනවා ද යන ගැටළුව අප සැම හමුවේ පවතින නිසා ය.

ගුවන්විදුලිය පිළිබඳ ලංකාවේ ශ්‍රාවකයාට මුල්ම අත්දැකීම ලැබෙන්නේ 1967 ස්ථාපනය කළ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව හරහා ය. ගුවන්විදුලිය ආරම්භක යුගයේම එය ගොඩනඟන්නට පූර්වදර්ශ කොට ගත්තේ බි්‍රතාන්‍යය ගුවන්විදුලිය නැතහොත් BBC ආකෘතිය ය. ඒ අනුව BBC මෙන්ම ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව ද ස්ථාපනය කරන්නේ ජනතාවගෙන් නඩත්තු වන මහජන සේවා ගුවන්විදුලියක් ලෙස ය. එහෙත් පසුකාලීනව ශ්‍රී ලංකා ගුවන්විදුලිය මහජන සේවා ආකෘතියෙන් මිදී රාජ්‍යය සේවා මාධ්‍යක් වෙමින් පවතින රජයේ හොරණෑව බවට පත් වූව ද, ගුවන්විදුලි වැඩසටහන්හි අන්තර්ගතය ඉතාම ගුණාත්මක විය. ඒ නිසාම දශක ගණනාවක් පසු කළ ද මුවන්පැළැස්සෙහි චරිත අද ද ජීවමාන ය. එකල ගුවන්විදුලිය හරහා සංගීත වැඩසටහන් රැසක් නිර්මාණය විය. අසන්නන් තෝරන ගීත මෙන්ම නිවේදක තෝරන ගී ද එකී ගුණාත්මක සංගීත වැඩසටහන් සඳහා නිදසුන් සපයන්නේ ය. ඒ තුළින් ශ්‍රාවකයාට ලැබුණේ හොඳම දේ ය. එකල ගුවන්විදුලියෙන් ගායකයෙකු හෝ ගායිකවක බවට පත් වන්නට පරීක්ෂණ රැසකින් සමත් විය යුතු ය. A ශේ‍ර්ණියේ B ශේ‍ර්ණියේ හා ඊට එහා වර්ගීකරණයෙන් යුතු ගුවන්විදුලි ගායක ගායිකාවන් නිසාම ප්‍රේක්ෂකයාට අසන්නට ලැබුණේ හොඳම ගීත ය. පද මාලාවන්, තනු නිර්මාණය වැනි ගීතයක ගුණාත්මක බව සුරකින් සියලු දේට ගුවන්විදුලිය හරහා ප්‍රචාරය කරන්නට නම් පරීක්ෂණයකට ලක් කෙරිණි.

ඒ නිසාම එදා ශ්‍රාවකයා ඉතා හොඳ ගීත සාහිත්‍යක පහස ලැබීය. ශ්‍රාවකයාට තෝරා ගැනීමක් නො වූ නිසාම එකල තිබූ එකම සන්නිවේදන මාධ්‍යය වූ ගුවන්විදුලිය තම සමීප මිතුරෙකු බවට පත් කර ගත්තේ ය. ඒ නිසාම එකල ගුවන්විදුලි නිවේදක නිවේදිකාවන් ශ්‍රාවකයාගේ වීරයින් හෝ වීරවරියන් බවට පත් විය. ප්‍රේමකීර්ති ද අල්විස් වැනි සුන්දර මිනිසුන් බිහිවන්නේ එවැනි වටපිටාවක ය. ඔවුන්ට තමා අමතන ශ්‍රාවකයා ගැන තිබුණේ ඉතා හොඳ අවබෝධයක් ය. ඒ නිසාම ඔවුන් පිටකරන සෑම වචනයක් ගැනම වඩාත් සැලකිලිමත් විය. එදා ගුවන්විදුලි නිවේදකයා ශ්‍රාවකයාට වඩා ළං වූයේ නැත.

එසේම ඔහුගෙන් වඩාත් අෑත් වූයේ ද නැත. ඒ පරතරය එක ලෙස තබාගන්නට ඔහු ශ්‍රාවකයාව අමතන්නට “ඔබ” නැමති වචනය පමණක් යොදාගත්තේ ය. එයින් ශ්‍රාවකයා වඩාත් දුරස් වූ වේ හෝ වඩාත් ළං වූයේ නැත. නිවේදකයා කටට එන සියල්ල නොව වචනයෙන් දැනුමෙන්, නිර්මාණශීලිත්වයෙන්, සංයමයෙන් සන්නද්ධ පුද්ගලයෙකු විය. ඒ නිසාම එදා පරම්පරාව ද දැනුමෙන් වචනයෙන් මෙන්ම නිර්මාණශීලිත්වයෙන් ද පෝෂණය විය. ගුවන්විදුලිය දැන්වීම් ප්‍රචාරය කරන්නට නිසි වෙලාවක් පැවතිණි. නිවේදකයාට අවශ්‍ය සෑම මොහොතකම දැන්වීම් කියන්නට හැකියාවක් නොවූ අතර ඒ සදහා පවතින වෙලාව තුළ ඒවා ප්‍රචාරණය කෙරිණි. පසු කලෙක වෙළෙඳ සේවය බිහි වන්නේ ද එකී ගුණාත්මක බව ආරක්ෂා කරගනිමින් දැන්වීම්කරුවන්ට ද අවස්ථාවක් ලබාදෙන්නට ය. මේ නිසාම ගුවන්විදුලියේ ගුණාත්මක බව රැකිනි. එහෙයින් 78 පෙර ලංකාවේ බිහි වූ දරු පරපුර ඉතා නිර්මාණශීලී දරුපරපුරකි. ඔවුන් වැඩහිටියන් බවට පත් වන්නේ ද ඒ නිර්මාණශීලීත්වය සමඟිනි. ඒ නිර්මාණශීලීත්වය ගොඩනඟන්නට එදා ළමා පිටිය හරහා ලැබුණු පන්නරය අතිමහත් ය.

එහෙත් සියල්ල වෙනස් වන්නේ 78 පසු විවෘත වන අර්ථිකය හරහා බිහිවෙන පෞද්ගලික ගුවන්විදුලි නාලිකා හේතු කොටගෙන ය. එකක් පමණක් වූ ගුවන්විදුලි නාලිකා ප්‍රමාණය 78 පසු විස්ස ද ඉක්මවා ගොඩනැඟෙන්නේ ය. ඒ බිහිවෙන නාලිකාවන්ට තිබුණේ තරගයකි. ඒ දැන්වීම් ලබාගැනීමට අංක එකේ නාලිකාව බවට පත් වීමේ තරගය යි. ඒ නිසාම 78 පසු බිහිවෙන අනෙක් මාධ්‍යන්ට වඩා ගුවන්විදුලිය දූෂණයට ලක්විය. ඒවා සියල්ල වාණිජ සේවා ගුවන්විදුලි බවට පත්වෙද්දි ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව ද ඒ තරම් පහතට නො වැටුණ ද ඒ හා සමාන තත්ත්වයකට පත් විය. ඒ අනුව 78 පසු බිහි වූ දරු පරපුර නිර්මාණශීලීත්වයෙන් තොර පරපුරක් බවට පත් විය. වාණිජ සේවා ගුවන්විදුලි නාලිකාවන්හි නිවේදක නිවේදිකාවන් ද ඒ අනුව වෙළෙඳ ප්‍රචාරකයන් බවට පත් විය. එදා නිවේදකයාගේ ආමන්ත්‍රණය වූ ඔබ වෙනුවට ශ්‍රාවකයන්ගේ හද පතුලටම සමීප වන්නට ඔයා ලෙස වෙනස් වූ ශ්‍රාවක ආමන්ත්‍රණය නිවසේ කරන පෞද්ගලික දෙය මුළු රටටම ඇහෙන්නට කියන ශ්‍රාවකයෙකු බිහි කරන්නට තරම් දුර දිග යන්නට විය. මේ නිවේදකයා දැනුමෙන් හෝ වචනයෙන් සන්නද්ධ පුද්ගලයෙකු නො විණි. ඒ නිසාම ඔහුට සිංහල වචන මදිවෙන විට ඉංග්‍රීසි වචන ද තම වැඩසටහනට රිංගවා ගත්තේ ය. ප්‍රේමකීර්තිලා වෙනුවට …boys බිහිවන්නේ ද ගිරවෙකු මෙන් මුළු ගුවන් කාලය පුරාම ඉංග්‍රීසි මුසු වූ සිංහලෙන් වෙළෙඳ දැන්වීම් කියන්නට ඔවුන්ට ඉඩ ලැබෙන්නේ ද වාණිජ ගුවන්විදුලි නිසා ය. ඒ අනුව හෙට දිනයේ රජයෙන් අගයන්නට සූදානම් වන්නේ එකී වාණිජත්වය මත පදනම් වූ ගුවන්විදුලි අන්තර්ගතය හා එහි ශ්‍රමිකයා නම් ඒ ගැන දෙවරක් සිතිය යුතු ය. මන්ද වෙළෙඳාමට වටිනම වෙළෙදාමෙන් ලැබෙන නිසාම එහි තවත් අගයන්නට වටිනාකමක් නැති නිසා ය. හෙට දිනයේ පවත්වන්නට යන මේ සම්මාන උළෙලේ එක් සම්මානයක් හෝ ගුණාත්මක දෙයකට ලැබෙන්නේ නම් එය අගය කළ යුතු ය. එහෙත් එසේ නො වන්නේ නම් එය ද රජයේ මැදිහත් වීමෙන් කරන අනෙක් සියල්ල දෙස බලා සිනාසෙන්නා සේ මේ දෙස බලා ද නිහඬව සිනාසිය හැකි ය.

චමෝදි කලුආරච්චි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: