වැලන්ටයින් දිනට තෑග්ගක්

February 14, 2017 | 11:32 am    0   394

වැලන්ටයින් දිනට තෑග්ගක්

පෙබරවාරි මාසෙ කියන්නේ කළු පාට හිත් රතුපාට වෙන, බලන බලන අත රතු කරන මාසයක්. රෙදි කඩවල ඩමිවල ඇඳුම් රතු වෙනවා. තොරම්බල් කරත්ත වගේ කඩසාප්පු රතුපාට අයිටම්වලින් සේල් වෙනවා. ඒ හැමදේටම වඩා මාසේ උච්චතම දවස වුණ 14 වෙනිදාට කලින් කාගෙත් ආදරේ රත්වෙලා 15 වෙනිදාට ඇස් රතු වෙනවා. රතු පාටින් පටන් ගත්ත මාසෙ රතු පාටින්ම අවසන් වෙලා යනවා. ඕක තමයි ආදරවන්තයින්ගේ දිනය කියන දිනයක් වෙන්වුණ පෙබරවාරි මාසේ ඇත්ත. ඒ ඇත්ත කොච්චර තිත්ත වුණත් හැම අවුරුද්දකම වගේ ජනවාරි මැද සතියෙ ඉඳල අවුරුදු 15,16 යේ ඉන්න කොල්ලගේ කෙල්ලගේ ඉඳලා හැමෝම ලෑස්ති වෙන්නේ මේ දවසට.

අපි කවුරුවත් ලෝකේ මව්වරුන්ගේ දිනයට හරි පියවරුන්ගේ දිනයට හරි ඇඟිලි ගණිනව ද? ඒ දවසටවත් අම්මට තාත්තට තේ කෝප්පයක් හදල දෙනව ද? ලෝක පරිසර දිනයට එක් ගහක් හිටවනව ද? නෑ… අපි කවුරුත් වැලන්ටයින් දවසට ඇරෙන්න වෙන කිසිම දවසකට කැපවෙන්නේ නෑ. ඒ දවසට වගේ කිසිම දවසකට පෙරුම් පුරාගෙන බලාගෙන ඉන්නෙත් නෑ. වැලන්ටයින් දවස වගේ ලංකාවේ මාර්කට් වෙන තවත් දවසක් නැති වෙලා තියෙන්නෙත් අන්න ඒ හේතුව හින්දමයි.

ආදරණීය හීනවලට ඇරෙන්න හැබෑවකට ඇස් විවර නො වෙන වැලන්ටයින් දිනය තව දවස් දෙකකින් උදාවෙනවා. හැබැයි ඒ උදාවන දවස වෙනුවෙන් නිමවුණ දාහක් දේවල්වලින් කියාදෙන කතාව මොකක් ද කියන එක ගැන කවුරුත්ම 14 වෙනිදායින් පස්සේ හිතන්නේ නෑ. අන්න ඒ හින්දමයි පෙබරවාරි 14 වෙනිදා වෙනුවෙන් ආදර මාතෘකා නො කර ඒ ආදරේ ඇත්ත නැත්ත තිත්ත හොයන්න අපි කල්පනා කළේ. අපි මේ කතා කරන්නේ පෙබරවාරි 14 වෙනිදට කරළියට එන ආදරයක් ගැන නෙමේ. දවසකට එළියට ඇවිත් කාමරයක් ඇතුළේ අඟුළු ලාගන්න ආදරයක් වෙනුවට දෙනෝදාහක් ඉස්සරහ ප්‍රදර්ශනය කරන්න පුළුවන් විවෘත ආදරයක් ගැන කතා කරන්න මේ 14 වෙනිදාටවත් ඉඩක් තියෙනව ද කියලා හිතන්නවත් ඉඩක් නැති නිසා, ඒ අදහස් මේ විදියට අකුරු කරන්න හිතුවා.

පෙබරවාරි 14 ළඟ එනකොට ආදරේ විඳින, ලබන හැමකෙනෙක්ගෙම පීදෙන පෙම්මල් වගේම වැඩිහිටි පරම්පරාවේ ගොඩක් අයගෙන් හරි අපූරුවට ගිනිමල් පූදිනවා. ඒ දවස වෙනුවෙන් ගෙදරින් වැටෙන්න ඕන මුරකාවල් ටික බඳින්නේ කොහොම ද කියන එකත් මේ වෙනකොට අම්මලා තාත්තාලා හිතලා ඉවර ඇති.

ගෙදරින් එහා ලෝකය ඇතුළෙ වැලන්ටයින් පෙම්වතුන්ට අවශ්‍ය අඩුම කුඩුම ටික දෙන්න සප්ලයර්ස්ලා බලාගෙන ඉද්දි තවත් පැත්තක ආදරේ නිදහසට කොකා පෙන්නන්න මාන බලාගෙන ඉන්න පිරිසකුත් යුනිෆෝම් ඇතුළේ ඉන්නවා. අපේ තාරුණ්‍යයේ ආදරේ මේ තරම් සීමාවක් ඇතුළෙ අසීමාන්තික නිදහසක් හොයන්නත් විරාගික බොරුවකින් ලෝකය මුලා කරලා රාගයම හොයන්නත් මේ සමාජේ ඔවුන්ට මේ විදියට සංග්‍රහය නිසාම කියලයි මට නම් හිතෙන්නේ. ආදරේ කරන්න තැනක් නෑ. ආදරේ ගැන කතා කරන්න කෙනෙක් නෑ. සමාජය ඉදිරියේ ආදරය කිරීම නයාට අ¼ඳුකොළ වුණ තැනක ආදරේ වෙනුවෙන් අඳුරේ අතපත ගානා කකුල් ඇදෙන එක වළක්වන්න පුළුවන් ද කියන එකත් හැඟීම් දැනීම් තියෙන මිනිස්සු විදියට සාධාරණව හිතන්න ඕන දෙයක්. හැබැයි ඒ හැඟීම් දැනීම් ප්‍රහීන කරලා රහත් වුණ ලෝකය ඇතුළේ ආදරේට තැනක් ඉදිවෙලා නෑ. නමට විතරක් ඉදිවුණ තැන්වලත් දුරස්ථ සංවාදයකට ඇරෙන්න ප්‍රේමනීය ‍දොඩමළුවකට ඉඩක් නෑ. ලංකාවේ ආදරේ කරන්න තැන් කීයක් තියෙනව ද? ඇත්තටම ආදරේ කරන්න පුළුවන් තැන් නම් අතේ ඇඟිලි ගාණටවත් නෑ. ඒක තමයි ඇත්ත. ඒ හැම බලාපොරොත්තුවක්ම කුඩුපට්ටම් වෙලා යන්නේ කොහෙන් හරි ඇහෙන විසිල් සද්දෙකට. ඒ විසිල් සද්දෙට හරි ළඟට ඇවිත් දෙන උපදෙස්වලට හරි ආදරේ ළඟ මුහුණ දෙන්න බැරි හින්දයි තාරුණ්‍යය මේ තරම් නන්නත්තාර වෙලා තියෙන්නේ. ඒ සීමාවන්ගේ ප්‍රතිඵල කොයිතරම් වුණත් ඒවා ලෝකයාට වාර්තා වෙන්නේ අඩුවෙන් හින්දා කවුරුත් හිතන්නේ මේ විසිල් එකට සමාජ සෝදාපාළුව නතර කරන්න පුළුවන් කියලා. හැබැයි ගිය සතියෙ වාර්තා වුණ සත්‍ය සිදුවීමක් එක්ක ඒ විසිල් එක කොයි විදියට පරාවර්තනය වෙලා තියෙනව ද කියලා හොඳටම තේරුම් ගන්න පුළුවන්. පන්ති යනව කියලා ගෙදරින් එළියට ආපු කොල්ලො කෙල්ලො 87ක් ගම්පහ තැන තැන රෝන්දේ ගහලා පොලිසියට කොටුවෙලා.

මේ වගේ සිදුවීම් එක්ක තැලෙන යකඩෙ උඩ පැන පැන තලන එක සමාජේ මිනිස් ස්වභාවය නිසා මේ 87 දෙනාට ඒ දේවල් අඩුපාඩුවක් නැතුව සිද්ධ වෙන්න ඇති. හැබැයි මේ වගේ තත්ත්වයන්ට උත්තරවත්, කරන්න ඕන දේවල් මොනව ද කියන එකවත් හිතන්න කවුරුවත් කටක් අරින්නේ නෑ.

තමන්ගේ ආදරේ කරනා ආදරවන්තයගේ හරි ආදරවන්තියගෙ හරි අතින් ඇල්ලුවට, කම්මුලට හාදුවක් දුන්නම සමාජය කණපිට පෙරළෙනවා කියල හිතනවා නම් ඒක වෙලා ගොඩක් කල්. ඒත් වෙන්න පුළුවන් හැම හදියක්ම වෙලා තියෙන්න ජනෙල් ‍දොරවල් වැහුණ අහුමුළුවල හරි A/C, Non A/C roomsවල හරි මිසක් මේ වගේ ප්‍රසිද්ධ තැන්වල නෙවේ. ලෝකය මොනව හරි දෙයක් වාරණය කරලා තහංචි දාන්න හදන වාරයක් ගාණේ තවත් කොහේ හරි නො පෙනෙන තැනකින් ඒ වාරණය නිවාරණය වෙනව කියන එක කවුරුත් පිළිගන්න ඕන සත්‍යයක්. අන්න ඒ හින්දයි මේ වෙනකොට හැම ටවුමකම තියන ප්‍රසිද්ධ අප්‍රසිද්ධ හොටෙල්වල, රෙස්ටුරන්ට්වල පධධථ බුක් වෙලා තියෙන්නේ. ෆාමසිවලට අලුතෙන් ස්ටොක් ඇවිත් ආපු පමාවට ඒවා හිස් වෙලා තියෙන්නේ. ෆාමසිවල වෙළෙඳ මහත්තුරුම කියන විදියට පෙබරවාරි 14 වෙනදාට තරම් අදාළ ස්ටොක් හිස් වෙන වෙනත් දවසක් නෑ ලු.

පානදුර, කළුතර, දෙහිවල, වැල්ලවත්ත වැටකෙයියා පඳුරු අස්සේ, ගල්කිස්සේ ගල් අස්සේ තව එකී නො කී ගොඩක් බීච්වල ප්‍රේමාදරේ ආලිංගනය වගේම කෑදරේ අනඟ රංගනත් සිද්ධ වෙන්නේ පෙබරවාරි 14 වෙනිදට විතරක්ම නෙමේ. විශ්වවිද්‍යාල සංස්කෘතිය ඇතුළෙ ආදරේ වෙනුවෙන් වෙනම සංස්කෘතියක් ගොඩනැඟිලා තියෙන්නෙත් අදක ඊයෙක ඉඳන් නෙමේ. ඒ උපසංස්කෘතිය ඇතුළේ ආදරේ කරන්නට වෙන් වුණ ප්‍රදේශවලට දාලා තියෙන අනුවර්තන නාමවලින්ම ආදරේට විශ්වවිද්‍යාල ඇතුළෙ තියෙන තැන හිතාගන්න පුළුවන්.

අපරිමිත නිදහසක උරුමක්කාරයන් වෙච්ච විශ්වවිද්‍යාල සිසුන්ට පෙම් සුව විඳින්න මොණරු ඕන වෙන්නේ නෑ. ජ’පුර බරණැසට ගිහින් රුහුණේ පූජාභූමියට ගිහින් , කැළණියේ සයිබීරියාවට ගිහින්, පේරා ලව් ලේන් එකේ කොළඹ අලිකන ඇතුළේ අනේක පෙම් රංගනවලින් උපරිමයෙන් උපරිමයට යන්න ඔවුන්ට කිසි බාධාවක් නෑ. හැමදේකම දෙපැත්තක් නෙමේ තුන් හතර පැත්තක්ම තියෙනවා වගේ මේ ආදර පාරාදීසවල ඇස් පියාගෙන විදින සුරතාන්තයේ ප්‍රතිඵලත් දොස්තරලත් එක්ක හොර රහසේම විසඳගෙන කැම්පස් එකෙන් එළියට එන එක තවත් පැත්තක් වුණාට තාරුණ්‍යයේ බහුතරයකට විශ්වවිද්‍යාල සිසුන් විඳින ආදර සුවය විඳින්න අවස්ථාවක් නෑ. හැබැයි මේ මොන කතා කීවත් ආදරේ සුවය වගේම ආලයේ උණුසුම කියන්නෙත් එකක් නෙමේ දෙකක් හින්දා සරසවියේ ඉන්න ඔබ හරි ඉන් පිටත හරි ඉන්න ඔබ හරි ලබන්නේ ආදරයේ සුවඳ ද, එහෙම නැත්තම් හුදු රාගයේ උණුසුම ද කියන එක ගැන උත්තර බඳින්න වෙන්නේ නම් ඔබටම තමයි ඔබේ ජීවිතයේ ආදරයට තැනක් හදලා වටිනාකමක් දෙන එක සමාජයට විතරක්ම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි.

පෙබරවාරි 14 ළං වෙද්දි කඩපිල්වල, ෆාමසිවල, චිත්‍රපටි හෝල්වල, හෝටල් නිකේතනවල සිල්ලරට විකිණෙන තවත් අතකින් ලෝක අපවාදයට ලක් වෙන්නේ ඔබත් ඇයත් විඳින ආදරේ නේද? ඔබට ආදරය එකක් තවත් අයෙකුට ආදරය තවත් එකක් වුණාට මිසක්, ලෝකයේ සැමට පොදු “ආදරය” කියන්නේ උත්තරීතර දෙයක්. උතුම් ආදරේ කෑදරේ විදියට ලේබල් වෙලා හැමෝම ළඟ පාච්චල් වෙන පෙබරවාරි 14 තරම් දවසක් තවත් නෑ කියලා ඒ දවස වෙනුවෙන් පෙරුම් පුරන ඔබ මතක තියාගන්න.

ආදරයට උපරිමයෙන් ආදරය කරන්න. හැබැයි ඒ ආදරයට තවත් කල්ප ගාණක් සාප වෙන විදියේ නින්දාවක් කරන්න එපා. මේ පෙබරවාරි 14ත් පහුවදාට ලිංගික අපචාර වාර්තා වෙන පෙම්වතුන්ගේ දිනයක්වත් සියදිවි හානි කරන්න අම්මා තාත්තලාට දරුවො අහිමි කරන දිනයක්වත් නො කර තවත් සාමාන්‍ය සතියක දවසක් විදියට ඔබේ ආදරේ එක්ක ආදරේ විඳින්න පුළුවන් තැනට ඔබේ මනස ඔබට දමනය කරගන්න පුළුවන් නම් මේ දවසට මේ තරම් අපවාද ලෝකයා නො කියාවි. ලංකාව ඇතුළේ ආදරේට හැමදාම බැදුණෙ වැටකඩොළු විතරක්ම නිසා ඒ වැටමායිම් එක එක ටික ටික අයින් කරන්න පුළුවන් වෙන්නෙත් ආදරේ කරන ඔබටම විතරයි.

ආදරේ කරන ඔබට සමාජයෙන් වෙන අසාධාරණය අපිට සාධාරණය කරලා කතා කරන්න පුළුවන්. හැබැයි ඒ සාධාරනීකරණය ළඟ පෙරළා ඔබට ඇඟිල්ල දිගු කරන්න බැරි තැනට ඔබේ ආදරය ආදර්ශමත් එකක් කරගන්න. එතකොට අද නැතත් හෙටවත් නිදහසින් ගෙවෙන ආදරණීය හැන්¼දෑවක සුබ සිහින බලන්නට අපට හැකි වේවි. විහාරමහාදේවි පාක් එකේ, ගෝල්ෆේස් එකේ අතින් අල්ලගෙන ඔබටත් ඇයටත් තුරුළේ ගමන් කරන්න පුළුවන් වේවි.

ඔබ දෙන පරමාදර්ශය තුළින් තවදුරටත් පෙම්වතුන්ට වෙන් වූ පාක් ළඟ ළමා උද්‍යාන ඉදි නො වේවි. වාරණය නිවාරණය කරන්නට අහුමුළු අනවශ්‍ය වේවි. ඒ නිසා සියල්ලන්ට පෙර ඔබ ඔබේ ආදරයට වග කියන්න. එවිට ලෝකය ඔබේ ආදරයට උරුම තැන වෙනුවෙන් යුතුකම් ඉටු කරාවි.

අචලා පියරත්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: