වැලන්ටයින් With සයිටම්

රෝසමලේ නටුවෙ කටූ – වන බඹරෝ ඔහොම හිටූ
මේ දවස්වල වෙන දේවල් දැක්කම පෘතුවිය භ්‍රමණය වෙනවා තමයි බං කියල ආයෙ ආයෙත් තේරුම් යනවා. කොහොම කළත් නූල තියෙනකම් සරුංගලේ උඩ යනවා වගේ මොන බලපෑම් කළත් වෙන දේවල් ඒ විදියටම සිද්ධ වෙනවා. මහින්ද අයින් වෙද්දි මෛත්‍රී ජනාධිපති වුණා වගේ ඔබාමා ඉවත්වෙද්දි ට්‍රම්ප් ජනාධිපති වෙනවා. මේ මොහොත ඒ තරමටම සංකීර්ණයි. තේරුම් ගන්න අමාරුයි.
කුමක් හෝ මැදිහත්වීමක් පිටුපස බලලෝභී දේශපාලනයක් තියෙනවා. ඔවුන් විසින් හැමදාම මිනිස්සුන්ට කතා කරන්න මාතෘකාවක් දෙනවා. මිනිස්සුත්, ඒ ගැන සතියක් දෙකක් කයිය ගහනවා. ආයෙමත් ඒ කතාව අමතක වෙනකොට තව කතාවක් කරළියට එනවා. අපි ආයෙමත් කයිය ගහනවා. ගෙවුණු වසර කීපයම අපි ඒ විදියට තමයි ගත කළේ. නමුත් මේ හැමදේම වෙද්දි යටිතලයේ මීට ප්‍රතිවිරුද්ධ ක්‍රියාවලියක් සිද්ධි වශයෙන් හරි ක්‍රියාත්මක වෙනවා. බොහෝවෙලාවට එය සිද්ධ වෙන්නේ කලාව, සාහිත්‍ය, සිනමාව හරහා වෙන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් යම් යම් මතවාද හදන කණ්ඩායම් හරහා වෙන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් මාධ්‍ය හරහා වෙන්නත් පුළුවන්. ඊටත් එහාට ගියාම ෆේස්බුක් එක හරහාත් මේ මොහෝතේ අවිඥාණිකවත්, විඥාණිකවත් මත ගොඩනැඟෙමින් තියෙනවා. වැස්ස වහිනකොට, විශාල ගස්වල තුරුමුදුන් තෙමෙනවා වගේම පොළොවෙ තිබෙන තණකොල ගස්වලටත් ඒ වැහිවතුර වැටෙනවා.
මේ හැමදේම වෙද්දි තමයි හෙට අනිද්දට වැලන්ටයින් ඩේ කියල එකකුත් කරළියට එන්නේ. හැබැයි මේ මාතෘකාව වැඩියෙන්ම මාර්කට් වෙන්නේ, ජනප්‍රිය වෙන්නේ අර අපි කතා කළ පහල තලේ නෙවෙයි. මතුපිට තලේ. වැලන්ටයින් මතුපිටට එනකොට, සයිටම් ප්‍රශ්නේ යටිතලේ ජාතික ප්‍රශ්නයක් වෙනවා. ශිෂ්‍ය ව්‍යාපාර, වෛද්‍ය සංගම්, විශ්වවිද්‍යාල ආචාර්යවරු සයිටම් එකට එරෙහිව පහල තලේ සටන් කරනවා. කොහොම වුණත් අපිට අනුව වැලන්ටයින් කියන්නේ උඩුතලේ ජනප්‍රිය අයිඩියා එකක්. ඒ නිසාම වැලන්ටයින්වලට වැඩිය සයිටම් ප්‍රශ්නෙ පහල තලේ ජනමතයක් ගොඩනඟනවා. ඒ නිසාම අපි නැවතත් කියන්නේ ගතවන මොහොත හරිම සංකීර්ණයි.
මතුපිට තලයට වෙලා ආතල් ගන්න බොහෝඅය මේ වෙලාවේ දැනගත යුතු කාරණයක් තියෙනවා. ඒ තමයි මතුපිට තලේ මොනතරම් ජනප්‍රිය කාරණා තිබුණත් යටිතලේ ඊට එරෙහිව මහා මතවාදයක් ගොඩනැඟෙන බව.
දුමින්ද බොරළුගොඩ
What do you think of this post?
  • නියමයි (0%)
  • වටිනවා (0%)
  • සතුටුයි (0%)
  • දුකයි (0%)
  • තරහයි (0%)
Like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

nine − seven =