‘විජේවීර චරිතයට පණ පෙවීම මට ලොකු ගෞරවයක්’

February 12, 2017 | 10:16 am    0   380

‘විජේවීර චරිතයට පණ පෙවීම මට ලොකු ගෞරවයක්’

රෝහණ විජේවීරගේ නායකත්වයෙන් යුතුව ජනතා විමුක්ති පෙරමුණ දියත් කළ දෙවැනි සන්නද්ධ අරගලයේ නොමැකෙන මතක සහ එහි තවමත් රටට හෙළි නොවූ ඇතැම් යටගියාවන් මතුකරන ‘ගින්නෙන් උපන් සීතල’ චිත්‍රපටය පිළිබඳ විවිධ සමාජ ඡාලා ඔස්සේ කතාබහක් සහ විශාල උනන්දුවක් ඇතිවිය.

රෝහණ විජේවීර වැනි දැවැන්ත දේශපාලන චරිතයක් නිරූපණය කිරීම පිළිබඳ විජේවීරගේ චරිතයට පණ පෙවන කමල් අද්දරආරච්චි සති අන්ත පුවත් පතක් වෙත තම අදහස් දක්වා තිබුණේ මෙසේය.

‘රෝහණ විජේවීර වැනි දැවැන්ත දේශපාලන චරිතයක්, සත්‍ය චරිතයක් නිරූපණය කිරීම මඟින් එම රංගන ශිල්පියාව තවත් ඉහළට එසවෙන්න පුළුවනි. ඒ එම චරිතය සාර්ථකව නිරූපණය කළොත්. එසේ නොවුණොත් එතෙක් ඒ රංගන ශිල්පියා රංගන ක්ෂේත්‍රය තුළ ගොඩ නඟාගෙන ඇති ප්‍රතිරූපය විනාශ වීමටද හැකිය. එම නිසා මෙවැනි තිර රචනයකට ඉහළ සාධාරණයක් ඉටු කිරීමට රංගන ශිල්පියාට සිදු වෙනවා. මෙවැනි චරිතයක් නිරූපණය කිරීමේ හැකියාව ඇති රංගන ශිල්පියකුට එය පැවරීම අධ්‍යක්ෂවරයාගේ වගකීමක්. රෝහණ විජේවීර නමැති දැවැන්ත දේශපාලන චරිතය නිරූපණය සඳහා මට අවස්ථාව ලබාදීම මට ලැබුණු විශාල ගෞරවයක් ලෙසයි මම සළකන්නේ.

මේ රටේ මිනිස්සු මගේ පෞද්ගලික ජීවිතය හරියට දන්නේ නෑ. බොහෝ විට මාධ්‍ය හරහා සහ වෙනත් සිදුවීම් හරහා මා පිළිබඳව ගොඩ නඟා තිබෙන චරිතය ඉතාම ආන්දෝලනාත්මක එකක්. කතාබහට ලක්වුණු එකක්. ඇත්තටම මම ඒ චරිතය නෙමෙයි. මම ගැඹුරින් ජීවිතය දකින ඉතාම මානව හිතවාදී මනුෂ්‍යයෙක්. මගේ ඒ ඇතුළත ජීවිතය හඳුනාගත් කෙනෙකුට පමණයි මෙවැනි චරිතයක් රඟපාන්න මට බාර දෙන්න පුළුවන්. මා පිළිබඳව මවල තියෙන ප්‍රතිරූපය දෙස බලන විට කෙනෙකුට හිතෙන්න පුළුවනි ඇයි මේ වගේ නළුවකුට මේ වගේ චරිතයක් රඟපාන්න දුන්නේ කියලා. නමුත් ඒ අභියෝගයන් සියල්ලම ජය අරගෙන තියෙනවා කියලයි මම හිතන්නේ. ඒ ගෞරවය මම මටම ලබා ගන්නවා. මම විශ්වාස කරනවා මේ චරිතය නිරූපණය කිරීම හරහා මගේ ප්‍රේකෂකයින්ට ඔවුන් මීට කලින් නොවිඳි අත්දැකීමක් ලබා දෙන්න පුළුවන් වේවි කියලා.

රෝහණ විජේවීර සහෝදරයාගේ ජීවන චරිතය සහ දේශපාලන ජීවිතය පිළිබඳව ඉතාම ඒකාකාරී ඒක පාක්ෂික කතාවක් තමයි පැවැති සෑම රජයකින්ම මහජනතාවට ලබාදීලා තියෙන්නේ. ඒ සෑම රජයකටම රෝහණ සහෝදරයා තිත්ත කසායක් වුණා. එවැනි තත්ත්වයක් යටතේ රෝහණ විජේවීර චරිතයට සමාජය තුළ මතුවුණු ප්‍රතිරූපය සාර්ථක එකක් වෙන්න බැහැ. ඒ නිසා පෞද්ගලිකව මා තුළත් එතරම් අගයක් වටිනාකමක් මේ චරිතය පිළිබඳව තිබුණේ නෑ. රෝහණ විජේවීර චරිතය පිළිබඳව පොතපත කියවීමෙන් විශාල දැනුමක් ලබාගන්න මට බැරි වුණා. නමුත් මේ චිත්‍රපටයට අවස්ථාව ලැබුණාම මම විජේවීර සහෝදරයාව ළඟින්ම ඇසුරු කළ පුද්ගලයින් කීප දෙනෙක් සමඟම දීර්ඝව කතා කළා. පුවත්පත්වල පල වූ ලිපි කියෙව්වා. ඒ වගේම ඔහුගේ දේශපාලන කතාවල හඬපටවලට සවන් දුන්නා. ඒ මඟින් මම රෝහණ විජේවීර පිළිබඳව හොඳ අවබෝධයක් ලබා ගත්තා. මේ චරිතය අධ්‍යයනය කරන විට මට ඔහු පිළිබඳව විශාල භක්තියක් ඇති වුණා. රෝහණ විජේවීර චරිතය නිරූපණය කිරීම මට විශාල ගෞරවයක් ලෙසයි මම සළකන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: