විදුහල්පති ට සහ ඔහුගේ බිරියට අමතක නොවන පාඩමක්

March 14, 2017 | 9:00 am    0   419

විදුහල්පති ට සහ ඔහුගේ බිරියට අමතක නොවන පාඩමක්

එය මහවැලි සී කලාපයේ අම්පාර දිස්ත්‍රික්කයට අයත් මහ විදුහලකි. විදුහල්පතිවරයාගේ බිරිඳ ද ගුරුවරියක ලෙසින් එහි සේවය කළාය. විදුහල්පති යහපත් ගතිගුණවලින් හෙබි ශාන්ත දාන්ත පුද්ගලයකු වූ අතර බිරිඳ තරමක් දඩබ්බර එකියක වූවාය. ඇය නිල නොලත් විදුහල්පති ලෙසින් හැම තැනකදීම විදුහලේ පරිපාලනයට ඇඟිලි ගැසුවාය. කෙළින් කතා කරන සැර පරුෂ ගුරුවරුනට ඕ නිරතුරුව හොඳ මුහුණක් පෙන් වූ අතර ශාන්ත දාන්ත ගුරුවරුන්ට විශේෂයෙන් ගුරුවරියන්ට සේම නවක ගුරුවර ගුරුවරියන්ට ඕ ආඥාදායිකාවක ලෙසින් කටයුතු කළාය.

විදුහල්පතිවරයාට තිබුණේ සාමාන්‍ය කලා උපාධියකි. එහෙත් ඇයට පංති සාමර්ථයක් සහිතව ගෞරව උපාධියක් තිබිණි. ඕ නිරතුරුව එය නොගැළපෙන සේ ප්‍රදර්ශනය කළාය.

“මම කළේ ස්පෙෂල්. මට ක්ලාස් එකකුත් තියෙනවා. මෙයාට තියෙන්නේ ජෙනරල් ඩිග්‍රියක්.” ඕ සිය සැමියා අහිමුඛයේදීම බොහෝ දෙනා සමග කීවාය.
දෙමාපියන් හමුවේද විශේෂයෙන්ම පාසලට නව ගුරු භවතෙකු පැමිණි හැමවිටෙකමත් ඕ නොවරදවාම එසේ කීවාය.

එම විදුහලේ “විදුහල්පතිවරු” සතර දෙනෙක් සිටියහ.

විදුහලේ නිල ප්‍රධානියා වූ විදුහල්පතිවරයා ගුරුවරුන් විසින් හඳුන්වන ලද්දේ “ද ප්‍රින්සිපල්” යන නාමයෙනි. ගුරු සේවයේ බොහෝ කාලයක් සේවය කැර අත්දැකීම් සමුදායක් ඇතිව සිටි ඉංග්‍රීසි ගුරුවරයා ඒ නවක විදුහල්පතිට කදිම අත්වැලක් විය. ඔහු තම රාජකාරි ගැටලු විසඳා ගත්තේ ඔහුගේ සහායෙනි.

සැමදා සුදු ඇඳුම් හැඳි ඔහු ගුරුවරුන් විසින් හඳුන්වන ලද්දේ “වයිට් ප්‍රින්සිපල්” යන නාමයෙනි. සියලු විධායක බලතල සහිතව විදුහල පාලනය කළ විදුහල්පති බිරිඳට ගුරුවරු තබා තිබුණේ “වයිෆ් ප්‍රින්සිපල්” යන නාමයයි. ඒ හැර නිල ලත් නියෝජ්‍ය විදුහල්පතිවරයකු ද විය. ඔහු “වයිස් ප්‍රින්සිපල්” නම් විය. ඔහුට රාජකාරියට අත පෙවීමට හැකි වූයේ විදුහල්පති යුවළ ගමේ ගිය විට පමණි.

දිස්ත්‍රික් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා පාසලට පැමිණියේය. ගුරු මණ්ඩලයේ රැස්වීමක් කැඳවීය.

“නිවාඩු දෙන දවසට හොඳ විවිධ ප්‍රසංගයක් කරන්න ඕනෑ. හැම ගුරුවරයෙක්ම මොකක් හරි හොඳ අයිටම් එකක් ඉදිරිපත් කරන්න ඕනෑ. හොඳම අයිටම් එක තෝරනවා. පළමු තැනට තේරෙන නාට්‍යයට නැත්නම් නැටුමට මගෙන් රුපියල් දාහක් දෙනවා.” හේ කීවේය.

සිදුවීම 1985 වසරේදීය. එනම් මීට වසර 30කටත් ඉහතදීය. එකල රුපියල් දහසක් යනු මෙකල හා සසඳන විට රුපියල් පනස් දහසකටත් වඩා ඉහළය. “මම අහවල් සර්ගෙ ගෝලයෙක්. ඩිරෙක්ටර් සර්ගෙ රුපියල් දාහ මට තමයි. ආය ඒකෙ දෙකක් නෑ. මට හොඳ සාරි පහක් ගන්න පුළුවන්.” හොරණ පළාතේ ගමකින් පැමිණ සිටි විදුහල්පති බිරිඳ එම පළාතේ සුප්‍රකට කලාකරුවකුගේ නම සඳහන් කරමින් පාරම් බාන්නට වූවාය.

විදුහල්පති විවිධ ප්‍රසංගය සඳහා පස් දෙනකුගෙන් යුත් සංවිධායක මණ්ඩලයක් පත් කළේය. ඒ එම කටයුත්ත සර්වප්‍රකාරයෙන්ම සාර්ථක කැරගෙන දිස්ත්‍රික් අධ්‍යක්ෂගෙන් ලකුණු දමා ගැනීමටය. සංවිධායක මණ්ඩලයේ ප්‍රධානියා ලෙස අපමණ දක්ෂතාවලින් හෙබි “වයිට් ප්‍රින්සිපල්” යනුවෙන් ගුරුවරුන් විසින් හඳුන්වන ලද ඉංග්‍රීසි ගුරුවරයා පත් කරන ලදී.

කලා හැකියාවන්ගෙන් පිරිපුන් ගුරුවරු අධ්‍යක්ෂවරයාගේ රුපියල් දහස ඉලක්ක කැරගෙන විවිධ නාට්‍ය හා නැටුම් පුහුණු කරන්නට පටන් ගත්තේ මහත් උද්යෝගයෙන් යුතුවය. එවැනි හැකියාවන් නැති ගුරුවරු ඇඟ බේරා ගැනීමේ අරමුණ ඇතිව මොකක් හෝ කරන්නට පටන් ගත්හ.

පුහුණුවීම් කටයුතු සඳහා පාසල් වේලාව යොදා නොගෙන සවස් වරු හා සති අන්තවල එම කටයුතු කරන ලෙස විදුහල්පතිගෙන් උපදෙස් ලැබිණි. ගුරු මණ්ඩලයේ වැඩි දෙනෙක් ඈත පළාත්වලින් පැමිණ විදුහල් භූමියේ ගුරු නිවෙස්වල විසූහ. කිහිප දෙනෙක් ගමේම අය වූහ. මේ හේතූන් නිසා සවස් වරු හා සති අන්තවල සිසුන් පුහුණු කරවීම පහසු විය.

තමා ජයග්‍රහණය කැර අධ්‍යක්ෂකගේ රුපියල් දහසේ ත්‍යාගය දිනා ගන්නා බවට දිගින් දිගටම පාරම්බාමින් සිටි විදුහල්පති බිරිඳ හැම ගුරු භවතකුගේම නාට්‍ය නැරඹීමට ඔවුන් පුහුණුවීම් කටයුතුවල යෙදෙන තැන්වලට ගියාය. ඒවා තක්සේරු කළාය. තමාගේ නිර්මාණය ඒ හැමටම වඩා උසස් යැයි තීරණය කළාය. උද්දාමයට පත් වූවාය.

“මම අද හවසට එනවා ඉංග්‍රීසි සර්ගෙ නාට්‍යය බලන්න” එදා උදේ විදුහල්පති බිරිඳ ඉංග්‍රීසි ගුරුවරයාට එසේ කීවේ පූර්ණ අවසරය ලබනු රිසියෙනි.

“හතර මායිමක එන්න එපා. කොන්සට් එක දවසට හිතේ හැටියට බලන්න.” ඔහු නියෝගයක ස්වරයෙන් කීවේය.

“අනේ සර්…. එහෙම කියන්න එපා. මම හැමෝගෙම නිර්මාණ බැලුවා. මට සර්ගෙ නාට්‍යය විතරයි බලන්න බැරි වුණේ. සර්ගෙ නාට්‍යය විශිෂ්ටයි කියලා ළමයි වගේම ගුරුවරු හැමෝමත්ම කියනවා.” ඇය තොඳොල් වෙමින් කීවාය.

“මම බටර්වලට කැමැති නෑ. මොකද මට කොලොස්ටරෝල් තියෙනවා නේ…” ඔහු නුරුස්නා ස්වරයෙන් කීවේය.

“ඔන්න සර් එහෙනම් මම අද හවසට එනවා. ළමයි ළඟ මාව නෝන්ඩි කරන්න එපා.” ඇය බැගෑපත් ස්වරයෙන් කීවාය.

“බැණලා එළවපං ආවම.” ඉංග්‍රීසි ගුරුවරයාට පක්ෂපාතී විදුහල්පති බිරිඳ නොරුස්සන ගුරුවරු කීහ.

“එහෙමමත් හොඳ නැහැ.” ඉංග්‍රීසි ගුරුවරයා කීවේය.

එදින සවස විදුහල්පති බිරිඳ ඉංග්‍රීසි ගුරුවරයාගේ නාට්‍යය බැලීමට ආවාය.

“පියාණනේ මේ ඔබටයි” යනුවෙන් නම් කර තිබූ එම සමාජ නාටකය සමාජයට කදිම ආදර්ශයක් දෙන එකක් විය. කුඩා වුව එහි නව නළු රසයම අඩංගු විය.
විදුහල්පති බිරිඳ ඊර්ෂ්‍යාවෙන් ද ශෝකයෙන් ද කෝපයෙන් ද යුතුව එදෙස බලා සිටියාය. ප්‍රථම ස්ථානය එම නාටකයට නිතැතින්ම ලැබෙන බවට ඕ නිගමනය කළාය. අවසන ඕ ගස්සා ගෙන යන්නට ගියේ ඉංග්‍රීසි ගුරුවරයාට කියන්නේවත් නැතිවය.

පසුදින උදේ පාසලට ගිය ඉංග්‍රීසි ගුරුවරයා දුටු විදුහල්පති බිරිඳ ගස්සා ගෙන ඉවත ගියාය. “ගුඞ් මෝනිං” යනුවෙන් හේ විදුහල්පතිවරයාට සුපුරුදු පරිදි සුබ පැතුව ද ඔහුගෙන් ඊට සුපුරුදු ප්‍රතිචාරය පළ නොවීය. සිදුව ඇති සියල්ල ඔහුට අවබෝධ විය.

එදින පළමු කාල පරිච්ඡේදයේදී සියලුම ගුරුවරුන්ට විදුහල්පතිගෙන් නිවේදනයක් ලැබිණි. “විවිධ ප්‍රසංගයට ඉදිරිපත් කිරීමට අදහස් කරන නාට්‍යවල පිටපත් මා ලවා අනුමත කරවා ගන්න” යනුවෙන් ඉන් කියැවිණි.

“ආයෙ දෙකක් නෑ. උඹේ නාට්‍යය කපන්න අර ගෑනි ගහපු ප්ලෑන් එකක් ඕක” ගුරුවරු ඉංග්‍රීසි ගුරුවරයාට කීහ.

තමාගේ නාට්‍යය නිසැකවම විදුහල්පතිගේ වාරණයට හසුවෙන බව ඉංග්‍රීසි ගුරුවරයා දැන සිටියේය. කෙසේ නමුත් ඔහුගේ නියෝගය පිළිපදිමින් හේ තම නාට්‍යයේ පිටපතක් සකසා ගෙන පසුදින උදේ පාසලට ගියේය.

“ගුඞ් මෝනිං සර්” හේ සුපුරුදු පරිදි විදුහල්පතිවරයාට සුබ පැතීය.

“මෝනිං” විදුහල්පති ඉවත බලාගෙන ඕනෑවට එපාවට පහත් හඬින් කීවේය.

ඔහුගේ සිත තුළ වැඩ කරන අදහස ඉංග්‍රීසි ගුරුවරයාට සක්සුදක් සේ පැහැදිලිය.

“සර් මේ මගේ නාට්‍ය පිටපත” ඔහු එසේ කියමින් තම නාට්‍ය පිටපත විදුහල්පතිගේ මේසය මත තැබුවේය. හේ ඊට ප්‍රතිචාර වශයෙන් “හ්ම්” වත් කීවේ නැත.

හතරවැනි කාල පරිච්ඡේදයේදී ඉංග්‍රීසි ගුරුවරයා විදුහල්පති කාර්යාලයට ගියේය. ඔහුගේ පැමිණීම ගණන් නොගත් හේ තම රාජකාරි කටයුතුවල යෙදී සිටියේය.

“සර්….” විනාඩි කිහිපයක් නිහඬව බලා සිටි ඉංග්‍රීසි ගුරුවරයා කතා කළේය.

“හ්ම්….” විදුහල්පති තම කාර්යයෙන් නෙත් ඉවතට නොගෙනම කීවේය.

“සර්…. මගේ නාට්‍යය?” හේ ඇසීය.

තවත් මොහොතක් නිහඬව තම කටයුත්තේ නිමග්නව සිටි හේ කතා කළේය.

“මහත්තයාගෙ නාට්‍යය අන්තිම හොඳයි. මම ඒකට එකඟයි. ඒත් ලොකු ප්‍රශ්නයක් තියනවා. ඒකෙ තේමාව සුරාව නේ. ඒ වෙලාවට එතැනට එන බොහොමයක් තාත්තලා කට ගොන්නක් බීගෙනයි එන්නේ. එතකොට ඒ අය රණ්ඩු ඇති කරන්න පුළුවන්. මට මහත්තයගෙ ආරක්ෂාව තහවුරු කරන්න බෑ.” විදුහල්පති බිම බලාගෙන පහත් හඬින් කීවේය.

“මගේ ආරක්ෂාව ගැන මම බලා ගන්නම්. සර් ඒ ගැන කරදර වෙන්න එපා.” ගුරුවරයා කීවේය.

“එහෙම කියලා බෑනෙ මහත්තයා. මහත්තයට යම් කරදරයක් වුණොත් ඒකට වග කියන්න ඕනෑ මම. ඒ නිසා ඒ නාට්‍යය කරන්න දෙන්න බෑ.” විදුහල්පති කීවේය.

“සර්, උපාධියටත් සිංහල කළානේ. මම සිංහල කළේ සාමාන්‍ය පෙළට විතරයි. සර් කියන්න බලන්න නාට්‍යයකින් අපි බලාපොරොත්තු වෙන දේ.” ගුරුවරයා ඇසීය.

“ඒක මොක වුණත් ඔය නාට්‍යය කරන්න දෙන්න බෑ. එච්චරයි.”

විදුහල්පති මේ කතා කරන්නේ ඔහුගේ බිරිඳ වෙනුවෙන් බව ගුරුවරයාට පැහැදිලිය.

“සර්… නාට්‍යයකින් බලාපොරොත්තු වෙන්නෙ සමාජයට ආදර්ශයක්. ප්‍රේක්ෂකයාට විනෝදයක්. ඒ දෙකම මගේ නාට්‍යයේ තියෙනවා. කරුණාකරලා මට මගේ නාට්‍යය කරන්න දෙන්න.” උත්සාහය අසාර්ථක වෙන බව දැන දැනම හේ තර්ක කළේය.

“බෑ… ඒක නම් කොහෙත්ම කරන්න දෙන්න බෑ…” විදුහල්පති අවසන් වශයෙන් කීවේය.

“මට දෙන්න මගේ නාට්‍ය පිටපත.” ගුරුවරයා කීවේය.

“ඒක මගේ ළඟ තිබුණාවෙ.” විදුහල්පති කීවේය.

“එපා… ඒක මොකටද තියාගන්නෙ? කරුණාකරලා මට මගේ නාට්‍ය පිටපත දෙන්න.” හේ තරමක් උස් හඬින් කීවේය.

විදුහල්පති අසුනින් නැගිට අල්මාරිය විවෘත කළේය.

“හ්ම්…. ඒක අල්මාරියෙත් දාගෙන. අපි නම් කරන්නෙ එපා දේවල් කුණු ගොඩට දාන එක.” ගුරුවරයා කෝපයෙන් කීවේය.

විදුහල්පති දෙන්නටත් පෙර හේ ඔහුගේ අතින් එය උදුරා ගත්තේය. ඔහු ඉදිරියේම එය කැබැලිවලට ඉරූ හේ කැබැලි සියල්ල විදුහල්පතිගේ මේසය මත දමා නික්ම ගියේය.

“ඩිරෙක්ටර්ට කරන්න පුළුවන් ලොකුම දේ මාව මාරු කරන එකනේ… කරපුදෙන්. අකුරැස්සෙ ඉඳලා අම්පාරට ආපු මට තව කිලෝ මීටර් හතරක් පහක් යන එක අමාරුවක් යැ…” හේ විදුහල්පතිට හා බිරිඳට ඇසෙනා සේ සෙසු ගුරුවරුනට කීවේය.

තම නාට්‍යය විදුහල්පතිගේ වාරණයට හසු වූ පුවත අසා ඉංග්‍රීසි ගුරුවරයාගේ නාට්‍යයේ සිටි සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවෝ හඬා වැටුණහ. එය ඔහුට ද ඉවසිය නොහැකි සිද්ධියක් වුව ද හේ නිහඬව තම ඉගැන්වීමේ කටයුතුවල නිරත විය.

පසුදින විදුහල්පති ගුරු මණ්ඩලයේ රැස්වීමක් කැඳවීය. පාසල තුළ ද එම රැස්වීමේදී ද විදුහල්පති බිරිඳ උද්දාමයෙන් හැසිරෙන අයුරු සැවොම දුටහ.

‘පත්තෑයා කෑවිට පත්තෑයාට ද විසය’ යන කියමන සැබෑ කරමින් විදුහල්පතිගේ නිහඬ හැසිරීම ද ගුරුවරු දුටහ.

“යමක් කමක් කරන්න පුළුවන් දක්ෂ ගුරුවරු මේ අහිංසක දරුවො වෙනුවෙන් යමක් කමක් නොකර පාඩුවෙ ඉන්න එක මහා අපරාධයක්.” විදුහල්පති ගුරු මණ්ඩල රැස්වීම අමතා කීවේය.

“යමක් කමක් කරන්න පුළුවන් අයට වාරණ පනවන එක ඊටත් වඩා අපරාධයක්.” රැස්වීමේ පසු පෙළ අසුන් ගෙන පුවත්පතක් කියවමින් සිටි විවිධ ප්‍රසංගයේ ප්‍රධාන සංවිධායක වන ඉංග්‍රීසි ගුරුවරයා කීවේය.

විදුහල්පති ඊට කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වීය.

“මචං ඔය ජෝඩුවට නාට්‍යයකින් ගහපං.” ඔහුට හිතෛෂී ගුරුවරු ඔහුට යෝජනා කළහ.

“හ්ම්ම්… මම ඒක කරන්නම් අගේට.” හේ හිස වනමින් කීවේය.

හේ එදින රැයේ කදිම නාට්‍යයක් රචනා කළේය. එහි චරිත හතරකි. ප්‍රධාන චරිතය බිරිඳට බිය කොන්ද පණ නැති ස්වාමි පුරුෂයෙකි. ඔහු බිය ගන්වාගෙන කටයුතු කරන දඩබ්බර බිරිඳ දෙවැනි චරිතයයි. ගමේ ගොඬේ ඕපාදූප සියල්ල එකතු කැරගෙන විත් විදුහල්පති යුවළ හමුවේ ඉරිදා හවසට දිග අරින ගැමි ගැහැනිය හා විදුහල්පති නිවෙසට ඔහු නැති අතරතුර එන යන ගමේ ග්‍රාම නිලධාරී තැන සෙසු චරිත විය. විදුහල්පති යුවළගේ සම්පූර්ණ කතාව විනාඩි පහළොවක් පමණ වූ එම කෙටි නාට්‍යයෙන් කියැවිණි. ඔහුට හිතෛෂී ගුරුවරු පිටපත කියවා ඔහුගේ පිරිපුන් කුසලතා මොනවට අගය කළහ. පැසසූහ.

ඉංග්‍රීසි ගුරුවරයා වෙනත් නාට්‍යයක් කරන්නට යන බව සැලවී විදුහල්පති සතුටට පත් වූ නමුත් ඔහුගේ බිරිය යළිත් තැති ගත්තාය. හැමටම වඩා උද්දාමයට පත් වූයේ ඔහුගේ පෙර නාට්‍යයේ සිටි සිසුන්ය.

හේ විදුහල්පතිගේ අනුමැතිය සඳහා ඉදිරිපත් කළේ හැබෑ නාට්‍යය නොව වෙනත් එකකි. විදුහල්පති එය කියවා සතුටට පත්ව අත්සන් කැර සිය මුද්‍රාව ද තබා ආපසු දුන්නේ එය අගය කරමිනි.

විදුහල්පතිගේ වාරණයට හසු නොවන සේ ගුරුවරයා කදිම උපායක් යෙදුවේය. එවර හේ සිය නාට්‍යය පුහුණු කළේ වැවෙන් එගොඩ පිහිටි සිසුවකුගේ නිවෙසෙහිය. වතුරට බිය විදුහල්පති හෝ ඔහුගේ බිරිඳ හෝ ඔරුවෙන් වැව තරණය කැර එහි නොඑන බව ඔහුට සහතිකය.

විවිධ ප්‍රසංගය පැවැත්වෙන දිනට ආසන්න විය. අවසන් පෙරහුරුවක් හෙවත් “ඩේ‍රස් රිහර්සල්” එකක් ඊට පෙර පැවැත්විය යුතු බවට විදුහල්පති නියෝග කළේය.

“ඩේ‍රස් රිහර්සල් එකට දැම්මොත් මගේ මේ නාට්‍යයත් කැපෙනවාමයි.” ඉංග්‍රීසි ගුරුවරයා සිය හිතෛෂීන් සමග කතා කළේය.

“ඒකට මොකක් හරි උප්පරවැට්ටියක් කරපන්.” මිතුරෝ උපදෙස් දුන්හ.

මේ අවසන් පෙරහුරුව පැවැත්වෙන දිනයයි. උදේ පාන්දර විදුහල්පති හා ඉංග්‍රීසි ගුරුවරයා කාර්යාලය තුළ යම් සාකච්ඡාවකය. ඔහුගේ නාට්‍යයේ රඟන ප්‍රධාන නිළියගේ නැගණිය එතැනට ආවාය.

“ඇයි පුතේ?” ගුරුවරයා ඇසීය.

“සර්… අක්කට හොඳටෝම උණ. අද එන්නේ නෑ.” ඇය කීවාය.

“හත් දෙයියනේ…” ගුරුවරයා නළලට අත ගසා ගනිමින් කීවේය.

“හරි වැඬේනෙ… මම මහත්තයගෙ නාට්‍යය ගැන විශාල බලාපොරොත්තුවකින් ඉන්නේ. අනෙක් අයිටම්ස් ගැන නම් මගේ එච්චර විශ්වාසයක් නෑ.” විදුහල්පති කනස්සල්ලෙන් කීවේය.

“දැන් මොකද කරන්නේ සර්…?” ගුරුවරයා ඇසීය.

“අපි යමුද කෙල්ල බලන්න…? ගිරාඳුරුකෝට්ටෙට එක්කගෙන ගිහින් බේත් ටිකක් අරං දෙමු ද?” විදුහල්පති යෝජනා කළේය.

“අද මේ වැඩ දාලා සර් එන්න ඕනෑ නෑ. මම ගිහිං බලන්නම්.” කී ගුරුවරයා පාසලෙන් නික්ම ගියේ සිය උපාය සාර්ථක වීම ගැන සන්තෝෂයෙනි.

හේ එදින දවස පුරාම සිය නාට්‍යයේ පුහුණුවීම් කර සවස විදුහල් නේවාසිකාගාරයට ආවේය.

“මොකද මහත්තයා තත්ත්වය? කෙල්ලට සනීප ද?” ඔහුගේ පැමිණීම නොඉවසිල්ලෙන් බලා සිටි විදුහල්පති ඇසීය.

“එච්චර හොඳ නෑ සර්. බේත් අරගෙන තියෙනවා.” ගුරුවරයා මවාගත් කනස්සල්ලකින් යුතුව කීවේය.

“වෙන ළමයෙක් පුරුදු කර ගන්න බැරි ද? ඒ ළමයගෙ නංගි හොඳ නැද්ද?” විදුහල්පති ඇසීය.

“ඒ ළමයා පුංචි වැඩියි ඒ චරිතයට. කාලයකුත් නෑනේ සර්. මගේ නාට්‍යයට මුල ඉඳලම ප්‍රශ්න.” ගුරුවරයා එසේ කියද්දී විදුහල්පති නිහඬව ඉවත්ව ගියේය.

ඒ විදුහලේ විවිධ ප්‍රසංග දිනයයි. මුළු විදුහලම උත්සවශ්‍රීයෙන් ඇළලී ගොසිනි. ආරාධිත අමුත්තන්ගෙන් හා දෙමාපියන්ගෙන් ප්‍රධාන ශාලාව පිරී ගොසිනි.

“මොකක්ද උඹේ නාට්‍යයේ නම? ලාස්ට් අයිටම් එකට උඹේ එක දාන්න කියලා පිනා කිව්වා” නිවේදන කටයුතු භාර ගුරුවරයා ඉංග්‍රීසි ගුරුවරයා අසලට එමින් ඇසීය.

“නම ද? මම ඒක නියම වෙලාවට කියන්නම්” හේ කීවේය.

ප්‍රධාන ආරාධිත අමුත්තා දිස්ත්‍රික් අධ්‍යාපන අධ්‍යක්ෂවරයාය. ඔහු විසින් පත් කරන ලද විනිශ්චය මණ්ඩලය හොඳම නාට්‍යය තේරීමේ කටයුත්ත භාරව සිටියහ. ඒ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී, මහජන සෞඛ්‍ය පරීක්ෂක හා පවුල් සෞඛ්‍ය නිලධාරිනියයි.

විවිධ ප්‍රසංගය ඉදිරියට ගලා ගියේ ඉතාමත්ම ඇල් මැරුණු ස්වභාවයකිනි. බොහෝ දෙමාපියන් නික්ම යනු දක්නා ලදී.

“තව අයිටම්ස් දෙකයි තියෙන්නේ. දැන්වත් උඹේ නාට්‍යයේ නම කියනවා ද?” නිවේදක ගුරුවරයා ඇසුවේ ඉංග්‍රීසි ගුරුවරයාගෙනි.

“ගෙදරින් අහලා කියන්නම්” ඒ ඔහුගේ ප්‍රතිචාරයයි.

“ඉතිං උඹට ඕක උදේ එනකොට අහගෙන එන්න බැරි වුණා ද?”

“පිනා වගේ උඹෙත් වැඩ ගෙදරින් අහල ද කරන්නේ…?” නිවේදක ගුරුවරයා ඇසුවේ සිනාසෙමිනි.

“මගේ වැඩ එහෙම නෑ. ‘ගෙදරින් අහල කියන්නම්’ කීවෙ මගේ නාට්‍යයේ නම.” ඉංග්‍රීසි ගුරුවරයා එසේ කියද්දී නිවේදක ගුරුවරයාට මහා හිනාවක් ගියේය.
“ජෝඩුව නැත්තටම නැති වෙන්න දීලා ඇති පාටයි.” හේ කීවේය.

“ඔව්… ගරු අධ්‍යාපන අධ්‍යක්ෂ තුමනි, ආරාධිත අමුත්තනි, දෙමාපියවරුනි, අපේ ආදරණීය දරු දැරියනි, ඔබේ අපේ විනෝදාත්මක විවිධ ප්‍රසංගයේ අවසන් අදියරටයි දැන් ඔබ මේ පැමිණ සිටින්නේ. හොඳ අත්පොළසන් නාදයකින් පිළිගන්න… අප විදුහලේ ඉංග්‍රීසි ආචාර්ය…. වර්ධන මහතා රචනාකොට නිෂ්පාදනය කළ දහවැනි ශ්‍රේණියේ සිසුන් රඟන ‘ගෙදරින් අහල කියන්නම්’ සමාජ නාටකය….” නිවේදක සිය වදන් පෙළ අවසන් කරද්දී මුළු ශාලාවම ගිඟුම් දෙමින් මහා අත්පොළසන් හඬක් නැගුණි.

‘ගෙදරින් අහල කියන්නම්’ සමාජ නාටකයට පාදක වී තිබුණේ දඩබ්බර බිරියක විසින් හසුරුවන ලද කොඳු ඇට පෙළ රහිත ස්වාමි පුරුෂයකුගේ කතාවකි. විදුහල්පතිවරයා හා ඔහුගේ බිරිය නිතර භාවිතා කරන වදන් හා ඔවුන්ගේ හැසිරීම් රටාවන් නාට්‍යයට මැනවින් යොදා ගෙන තිබිණි. එය ඉතා උසස් කලා කෘතියක් විය.

‘ගෙදරින් අහල කියන්නම්’ නාට්‍යය දෙවැනි තැනට තේරුණු නාට්‍යයට වඩා ලකුණු 35ක් ලබමින් ප්‍රථම ස්ථානයට තේරුණි. අධ්‍යක්ෂවරයාගෙන් රුපියල් දහසේ ත්‍යාගය එයට හිමි විය. ඉංග්‍රීසි ගුරුවරයා එය තම නාට්‍යයේ රඟපෑ සිසුන් අතර සමසේ බෙදා දුන්නේය. විදුහල්පති බිරිඳගේ නාට්‍යය හතරවැනි තැනට පත් වී තිබිණ.

නව පාසල් වාරය ඇරඹී දිනයේ ඉංග්‍රීසි ගුරුවරයාට “රා.සේ.පි.” ලිපියක් ලැබිණි. ඒ දිස්ත්‍රික් අධ්‍යාපන අධ්‍යක්ෂවරයාගෙනි. ඔහු වහාම ක්‍රියාත්මක වන පරිදි අල්ලපු ගැමි පාසලට මාරු කළ බව ඉන් කියැවිණි.

“හිරමනේ කියන භාණ්ඩෙ කොහේ තිබුණත් ඒකෙන් කරන්නේ පොල් ගාණ එක. ඒක පොලිෂ් කරලා අල්මාරියෙ දාන්නේ නෑ. මාව මාරු කරලා තියනේනේ ඉස්කෝලෙකට මිසක් තැපැල් කන්තෝරුවකට, ගරාජ් එකකට, ලොන්ඩරියකට නෙවෙයිනේ…. අකුරැස්ස ඉඳලා මේ අම්පාරට ආපු මට තවත් කිලෝ මීටර් දෙක තුනක් යන එක මොකක් ද?” කියමින් හේ එම විදුහලට ආයුබෝවන් කීවේය.

1980 දශකයේ වාර්තා වූ සත්‍ය සිද්ධියකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: