විදේශ විනිමය හුවමාරු පනත ව්‍යවස්ථානුකූලද යනවග කථානායකට දන්වයි

April 25, 2017 | 9:00 am    0   165

විදේශ විනිමය හුවමාරු පනත ව්‍යවස්ථානුකූලද යනවග කථානායකට දන්වයි

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ‘විදේශ විනිමය හුවමාරු පනත් කෙටුම්පතෙහි’ ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳ සිය තීන්දුව පාර්ලිමේන්තුවෙහි කථානායකවරයා වෙත කඩිනමින් දන්වා යවන බව ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ(24) සඳහන් කෙළේය.
එම පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් 3ක් පිළිබඳ කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය මේ බව ප්‍රකාශ කෙළේය.
පෙත්සම්වලට පක්ෂ සහ විපක්ෂ ලිඛිත දේශන අදා(25) වන විට ගොනු කරන ලෙස පාර්ශ්වයන්ට නියම විය.
ඊවා වනසුන්දර, බුවනෙක අලුවිහාරේ, ප්‍රසන්න ජයවර්ධන යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියෙහි මෙම පෙත්සම් කැඳවන ලදී.
පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා සහ නීතිඥවරුන් දෙදෙනෙකු වන නාගානන්ද කොඩිතුවක්කු, දර්ශන වේරදූවගේ යන මහත්වරු විසින් මෙම පෙත්සම් ගොනු කර තිබිණි.
පෙත්සම්වල වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කර ඇත.
පෙත්සම් සලකා බැලූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් කණිෂ්ක විතාරණ, දර්ශන වේරදූවගේ, නාගානන්ද කොඩිතුවක්කු යන නීතිඥවරු කරුණු ඉදිරිපත් කළහ.
මෙම පනත් කෙටුම්පතෙහි ඇතුළත් විධිවිධාන මඟින් විදේශ විනිමය හුවමාරුවේදී මහ බැංකුව සතුව තිබූ අධීක්ෂණය කිරීමේ බලතල ඉවත් කර ඇති බව පෙත්සම්කරුවන්ගේ නීතිඥවරු සඳහන් කළහ. එමඟින් ජාතික ආර්ථිකයට හානියක් සිදුවන බව ද එම නිසා මහජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වන බවට ද ඔවුහු කරුණු ඉදිරිපත් කළහ.

එබැවින් මෙම පනත් කෙටුම්පත නීත්‍යානුකූල පනත් කෙටුම්පතක් බවට පත්වීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බහුතරයකින් සහ ජනමත විචාරණයකින් මහජනතාව විසින් සම්මත කළ යුතු බවට තීරණය කරන ලෙස පෙත්සම්කරුවන්ගේ නීතිඥවරු ඉල්ලා සිටියහ.
මෙම පනත් කෙටුම්පත සහ එහි ඇතුළත් වගන්ති ආණ්ඩුවේ ප්‍රතිපත්ති අනුව සකස් කරන ලද බව මෙහිදී නිතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් අර්ජුන ඔබේසේකර මහතා සඳහන් කෙළේය. විදේශ ආයෝජන දිරිමත් කිරීමේ අරමුණින් විනිමය හුවමාරු සම්බන්ධ නීති රීති ලිහිල් කිරීම හැර එම නීති ඉවත් කිරීමක් සිදු නොවන බව ද හෙතෙම සඳහන් කෙළේය.
මහ බැංකුව රජයේ නියෝජිත ආයතනයක් වන අතර රජයේ ප්‍රතිපත්තිමය තීරණ ක්‍රියාත්මක කිරීමේදී මහ බැංකුව වෙත බලතල පැවරීම අනිවාර්යය නොවන බව ද හෙතෙම සඳහන් කෙළේය.
කරුණු සලකා බැලූ අධිකරණය පෙත්සම් විභාගය අවසන් කිරීමට තීරණය කෙළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: