වෙඩින් ඇල්බම් එකට කලින් ඩිවෝර්ස් පේපර්ස් අතට

January 31, 2017 | 10:40 am    0   391

වෙඩින් ඇල්බම් එකට කලින් ඩිවෝර්ස් පේපර්ස් අතට

අද හුස්ම අරන් හෙට පණ අදින ජීවිතේ බැඳෙන ලෙහෙන ගැට අනන්තයි. ඇතුළෙත් ගැට පිටත් ගැට පිරුණු ජීවිතේ අපි කවුරු කවුරුත් ගහගන්න ලොකුම ගැටය තමයි කසාදය. බැඳෙන තැනක ගැට ගැහෙන එක සාමාන්‍ය මිනිස් ස්වභාවය වුණත් කසාදය කියන්නේ ගැහැණියකුගේ මිනිහෙකුගේ ජීවිතේ එක්කෝ ඇති කරන නැති නම් නැත්තටම නැති කරන ගැටේ කීවොත් හරි. පොතේ හැටියට නම් කසාදය කියන්නේ මිනිස් හදවත් දෙකක ඇති වන ආදරයේ උත්තරීතර පදවි ප්‍රාප්තිය. කතාවටත් කියන්නේ ගැහැණියකුගේ පිරිමියකුගේ ජීවිතේ දෙවනි උප්පත්තිය කසාදය කියලයි. හැබැයි එදාට ඒ කතාවේ ගැළපීම කොහොම වුණත් අදට නම් ඒක හරස් පද ප්‍රේහේළිකාවක් විතරම ද මන්ද කියල හිතෙනවා.

මොකද අද අපට ඇහෙන කසාද ජීවිත කියන්නේ දෙවැනි උප්පත්තිය නෙමෙයි දවසට තුන් හතර පාරක් මැරි මැරි උපදින තැනක්. බැඳගත්ත බෙරේ ගහන්න ඕන කියල අපේ අම්මල තාත්තල නම් හැමදේම ඉවසගත්තේ දෙන්න දෙමහල්ලන්ගේ රණ්ඩු බත්හැළිය ඉදෙනකල් විතරයි කියලා හිතලා. එහෙම අතීතයකුත් කසාද ජීවිත ගෙවන මිනිස්සු අතරේ තිබුණා වුණාට අද නම් බත් හැළියක් ඉදිලා මේසෙට එනකල්වත් සමහර කසාද තියෙන්නේ නෑ. මට මතකයි මම මේ ළඟදි වෙඩින් එකකට ගිහින් බෝඩිමට ඇවිත් මගේ ගෑස් එක ඉවර වෙලා තිබුණ හින්දා ගෑස් සිලින්ඩරේ පුරවගෙන ආවා. දෙයියන්ටම ඔප්පු වෙන්න මේ ගෑස් එක ඉවර වෙන්න කලින් ඒ කසාදෙ ගිනිගත්තා කියන්නකෝ. මම හිතන්නේ වෙඩින් එකේ ෆොටෝ ඇල්බම් එකවත් ඒ වෙනකොට ඉවර වෙලා තිබුණෙ නෑ. කඳු පල්ලම් වනාන්තර මැද්දේ, සාගර ගංඟා රැළි පෙරළි අතරේ කැමරාවට පෙන්නපු ආදරේ පින්තූර වෙලා එන ටිකට කසාදේ කටු ගෑවිලා ගිහිනුත් ඉවරයි.

මාස ගාණක් මහන්සි වෙලා හදපු ඇල්බම් එක අරගෙන යන්න එන්න කියලා කතා කරද්දි මනමාලිගෙවත් මනමාලයගෙවත් ෆෝන් වැඩ කරන්නෙත් නෑ ලු. ස්ටූඩියෝ එකේම ඇල්බම් එක දිරලා ගියත් අරන් යන්න ආපු කෙනෙකුත් නෑ ලු. ඇල්බම් එකක් හදන්න විඳපු මහන්සියයි වියදමයි වතුරේ කියලා දැනිලා ෆොටෝග්‍රැෆර්ට ඇඬුණත් එකට ඉඳගෙන ඒ ෆොටෝවලට ෆෝස් කළ දෙන්න දෙමහල්ලන්ට නම් හාන්කවිස්සියකවත් දුකක් නෑ කියලයි ගොඩක් මංගල ඡායාරූප ශිල්පියෝ කීවේ. ඒ හින්ද දැන් ඇඩ්වාන්ස් එක විතරක් මුලින් ගන්න එක නතර කරලා ෆුල් පේමන්ට් එකම එක පාරම අරගන්න වෙඩින් කරන්න ගොඩක් මංගල ඡායාරූප ශිල්පීන් තීරණය කරලා. ඉස්සර කිරි ගහට ඇන්න වගේ ෂුවර් වෙච්ච කසාද ජීවිත අද ඹඥඤඤඪදඨ ඇල්බම් එක අතට ගන්න කල්් පවතින්නෙ නැති අන්ෂුවර් දෙයක් වෙලා. ඔන්න ඕකයි මොන බයිලා කීවත් මේ කාලේ කසාදවල තිත්ත ඇත්ත. ඔය ඇත්ත සහසුද්දෙන්ම දැනගන්න ඕන හින්දමයි මේක ලියන්න කලින් මංගල ඡායාරූප ශිල්පියෝ වගේම මහ උසාවිවල දවස ගාණේ කසාද දික්කසාද වෙන හැටි දික්කසාද නො වී කසාද කරන්න හදන හැටි අලුත් දේවල් නො වුණ නීතීඥවරුන් හා වරියන් කිහිප දෙනෙකුගෙනුත් මේ ගැන විස්තර ටිකක් අහලා දැනගත්තේ. කියන්න සන්තෝසයි මේ හැම කෙනෙක්ම කට ඇරපු ගමන් කීවේ උසාවියට එන නඩු විභාගවලින් වැඩියෙන්ම එන්නේ දික්කසාද නඩු කියලයි.

බැඳෙන ලෙහෙන ගැට වගේ අද බැඳලා හෙට වෙන්වෙන කසාදවලට උසාවිය උත්තරයක් දුන්නට ඇත්තටම ජීවිතේ මේ අවනඩුවට කටඋත්තරයක් නැත්ද?

අහපු අහපු හැම ලෝයර්ම කීවේ බැඳලා මාසෙන් දෙකෙන් අවුරුද්දකින් කසාදෙ කටුගාගන්න එන අයට වෙන්වෙන්න හේතුව වෙලා තියෙන්නේ එයාලගේ අදහස්වල තියෙන නො ගැළපීම් කියලයි. ලිංගික වශයෙන් තියෙන නො ගැළපීම් වගේම අදහස්වල තියෙන නො ගැළපීම්වලිනුත් ජීවිතේ සතුට නැති වෙනවා කියලා දැනුණ ගමන් හැල්මේ ලෝයර් කෙනෙක් හොයාගෙන එන්නේ හෙට නැත්නම් අනිද්දට ඩිවෝර්ස් එක ගන්න පුළුවන් ද අහන්න. එදා අපේ අම්මලා තාත්තලාගේ කාලේ ඊටත් එහා ආච්චි සීයලාගේ කාලේ දික්කසාදේ කියපු ගමන් ඇඟ සරස් ගාලා ගැහිලා පිච්චිලා ගියාට මොකද අද නම් මේක trend එකක් වගේ කියලයි එක ලෝයර් කෙනෙක් කීවේ. විවාහය කියන ආත්මීය බැඳීමේ බපඥදඤ එක දරු මුණුබුරන් දැකලා සතුටින් මැරෙන කල් එකට ජීවත් වෙන එක නෙමේ දික්කසාදය නම් ඒ ඉලව් කසාදයෙන් තාම තනිකඩ අපට ඇත්තටම පළක් තියෙනවා ද? බැඳලත් වෙන් වෙනවා නම් නො බැඳ සදාකාලිකවම තනිකඩව ඉන්න එක සැපයි. ඒත් අපි මිනිස්සුනේ. බඳින්න බෑ මම මේ දුකට යන්නේ නෑ කියල ඉන්න අපි හැමෝටම බෑ. කසාදය කියන්නෙත් අපේ ජීවිතේ සම්පූර්ණ කරන්න ඕන එක අත්‍යවශ්‍ය කොටසක්. ඒ කොටස පුවරගත්තෙ නැති වුණොත් ඒ හිදැස තවත් කාලෙකදී මහා අගාධයක් වෙලා තමයි නවතින්නේ. හැබැයි එහෙමයි කියලා බැඳලා ඩිවෝස් වෙනවා කියන්නේ ඊටත් වඩා ලොකු හෝදාපාළුවක්. එත් ඉතින් තවත් හිත රට්ටටා ගන්න බොරු බේගල් ඇද බාන්නෙ කොහොම ද අපේ ඇස් ඉස්සරහත් මේ හැටි අලුත බැඳපු ජෝඩු නන්නාදුනන්නො වෙනකොට. බැඳපු දවසේ එක ළඟ අඩිය තියලා බැඳලා මාසෙන් දෙකක් එයා ඉස්සර මෙයා ඊට අඩියක් දෙකක් පිටිපස්සෙන් ඇවිදගෙන ගිහින් අවුරුද්දක් දෙකක් යනකොට වෙන වෙනම පාරවල්වල යන ගමන තමයි මේ කාලේ කසාදවල පිළිගන්න අමාරු ඇත්ත. වහකදුරු වුණ ඒ ඇත්ත සමාජය පිළිගත්තත් නැතත් හෙට දවසේ කසාද රෙජිස්ටාර් කරගන්න බලාගෙන ඉන්න තරුණ ඔබ ඒ ඇත්ත දැනගෙන මේ ගමන යනව නම් ඒක කෝකටත් හොඳ වෙයි. මොකද කනකම් කටට කෙළ උණන කෑවට පස්සේ දත් සෙට් එකම හිරිවට්ටලා එපා වෙනවා කියලා දන්න අඹ ගෙඩි උපමාව ගැන කවුරුත් දැනගෙන හිටියට හැමෝම හිතන්නේ ඒක නිකං කටට ආවට කියන උපමා කතාවක් විතරයි කියලා. බඳින්න කලින් කසාදේ ඒ වගේ අමිහිරි දෙයක් කියලා හිතන්නවත් අපි කැමති නෑ.

හැබැයි ඇත්තටම ඒක තමයි ඇත්ත. අපි ගොඩක් වෙලාවට ජීවිතේ අපි ආදරය කරන සංවේදී තැන් ගැන හීනෙකින්වත් නපුරක් හිතන්න කැමති නෑ. ඇත්ත පෙනි පෙනී වුණත් ලෝකේ නැති පට්ටපල් බොරුවලින් සායම් කරලා හරි ඒ ඇත්ත වහලා හිත සනසගන්න තමයි අපි පුරුදු වෙලා ඉන්නේ. ඒක හැබෑවටම හොඳ දෙයක්. මොකද ඒ බොරු හිත රටට්ටා ගැනීම් නැතිනම් ජීවිතේ අපිට තිත්ත වේවි. ජීවත් වෙන්න ආසාවක්, බලාපොරොත්තුවක් නැති වෙවි. නමුත් ඒ හැම සිත නිවන කතාවකින්ම හිත රවට්ට ගන්න ගමන්ම මෙහෙම ඇත්තකුත් ලෝකේ තියෙනවා කියලා මතක තියාගන්න. එතකොට කවද හරි ඒ දේට මුහුණ දෙන්න හයියක් හදවතේ කොහේ හරි ඉතුරුවෙලා තියේවි. ඒ වගේ ඇත්තකට නො මැරී මුහුණ දෙන්න පුළුවන් වේවි. ඊටත් වඩා තව්තිසා දෙව්ලෝකෙ කියලා හිතාගෙන ඉන්න කසාද ජීවිතේට ටික ටික පෑල දොරින්  ප්‍රශ්න, නො ගැළපීම් එනකොට අඩුම ඒ පූර්ව අනතුරු තේරුම් ගන්න ගන්නවත් පුළුවන් වේවි.

කසාදෙ දෙදරන්න එන පෙරනිමිති දැකලා ඒ දේවල්වලින් තමන්ගේ පවුල් ජීවිතේ රැකගන්නේ කොහොම ද කියලවත් සංවේදී වෙන්න එතකොට පුළුවන් වේවි. යාළු වෙලා අත් අල්ලාගෙන හීන මවපු කාලේ දැකපු සුන්දර ජීවිතය එක වහළක කොටු වුණ දාට අතුරුදහන් වෙන්න පුළුවන් කියා ඇත්ත හිතේ තියාගෙන පෝරුවට නඟින්න. පිරිත් කියලා අත්පැන් වක්කරලා බඳින නූලෙන් ගැටගැහෙන දෑඟිලි තවත් මොහොතක වෙන් වෙන්න පුළුවන් කියලා මතක තියාගන්න.

මේ ගැහැණියෙක් පිරිමියෙක් තමන්ගේ ජීවිතේ ගැන දකින ලස්සනම හීන දකින්නත් කලින් කටුගාලා දාන්න හදනවා නෙමෙයි කටු ගෑවිලා යන්න කලින් පිළිගන්න අමාරු ඒත් පිළිගන්න ඕන ඇත්ත මතක් කරලා දෙනවා කියලා හිතන්න. හොඳම දේ දකින්න හොඳම දේ සිදුවේවි. හොඳම දේ පතන්න හොඳම දේ පැමිණේවි. නමුත් හැමවෙලාවෙම ඒ දේ ඒ විදියට වෙනවා කියලා ඒ ඇතුළෙ ජීවත් වෙන්න එපා. මොකද බැඳපු කෙනෙක්ගෙන් තනි වුණ වෙලාවක අහලා බලන්න කවුරුවත් තමන්ගේ විවාහ ජීවිතේ ගැන සතුටින් කතා කරන්නේ නෑ. අවාරෙට කොල දිවුල් වැටෙනවා වගේ එක්කෙනෙක් දෙන්නෙක් තමන්ගේ කසාදේ ගැන සතුටින් කතා කළාට හදවතේ හැබෑ සතුටක් පේන ඇස්වලින් කසාදේ මතක් කරලා කතා කරන කෙනෙක් මෑතකදී නම් මට හමුවෙලා නෑ. අනික මේ ලොකේ කවුරුවත් සර්ව සම්පූර්ණ නෑ. කවුරුවත් සීයට සීයක් ගැළපෙන්නේ නෑ. ගැළපීම නො ගැළපීම සාමාන්‍ය දේවල්. හැබැයි ගළපවාගන්න එක ඔබේ වැඩක්. ඇය ඔහුටවත්, ඔහු ඇයටවත් ගැළපෙනතුරු බලා සිටීමෙන් වෙන්නේ තවත් නො ගැළපීම් උඩු දුවලා සුව කළ නො හැකි පිළිකාවක් බවට පත්වෙන එක විතරයි. එතනින් එහාට ඔබත් ඇයත් ඒකට හොයන බේත දික්කසාදය විතරක්ම හින්ද පොඩි පොඩි රෝග ලක්ෂණ මතුවෙනකොටම බේත් දීලා ඒක සුවපත් කරගන්න බලන්න. නියපොත්තෙන් කඩන්න පුළුවන් දේ කැත්තෙන් පොරවෙන් කපන්න වෙන තැනට වැඩ නො කළොත් විවාහය ඇත්තටම කන්න කලිනුත් කෙල උණන කනකොටත් කන්න කන්න ආස හිතෙන මී අඹ ගෙඩියක්ම වේවි.

අචලා පියරත්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: