වෛද්‍ය සිසුන් නැටුම් ඉගෙන ගත්තා නම් පුද්ගලික සරසවි එපා කියන්නේ නැහැ – එස්. බී. කියයි

March 29, 2017 | 12:30 pm    0   219

වෛද්‍ය සිසුන් නැටුම් ඉගෙන ගත්තා නම් පුද්ගලික සරසවි එපා කියන්නේ නැහැ – එස්. බී. කියයි

වෛද්‍යවරුන් වීමට ඉගෙන ගන්නා සිසුන් නර්තන ශිල්පය හැදෑරීම ඉතා යහපත් බව සමාජ සවිබලගැනිවීම් සහ සුභසාධන ඇමති එස්. බී. දිසානායක පවසයි.

නර්තන ශිල්පය ඉගෙන ගන්නා වෛද්‍ය සිසුන් සෞන්දර්යයට ප්‍රිය කරන, මිනිසුන්ට ආදරය කරන, තමන් ගැන පමණක් නොසිතන වෛද්‍යවරුන් බවට පත් වේ යැයි ඔහු පැවසීය.

පසුගිය 27 මහනුවර පාතහේවාහැට අධ්‍යාපන කලාපයේ පාසැල් 14ක සිසු සිසුවියන් 84 දෙනෙක් සඳහා රුපියල් විසි ලක්ෂයක වියදමින් වෙස් නැටුම් කට්ටල හා ශීර්ෂාභරණ බෙදා දීමට තලාතුඔය මධ්‍ය මහ විද්‍යාලයේදී පැවැති උත්සවයක් අමතමින් ඇමතිවරයා මේ බව පැවසීය.

“මේ වෛද්‍යවරු සෞන්දර්ය ඉගෙන ගත්තා නම් කවදාවත් පුද්ගලික විශ්ව විද්‍යාල එපා කියන්නේ නැහැ. ඒ මොකද විශ්ව විද්‍යාලයට දශමෙන් දෙකෙන් යන්න බැරිවෙච්ච දරුවෝ ණයක් හරි වෙලා පුද්ගලික විශ්ව විද්‍යාලයකට යන එකට ඉරිසියා කරන්නේ නැහැ. පුද්ගලික විශ්වවිද්‍යාලවලට යන්න එපා කියනව නම්, ඒවා තහනම් කරන්න කියනව නම්, පුද්ගලික විශ්වවිද්‍යාල එපා කියනවනම්, චැනල් කඩත් එපා. ඇයි ඒක කියන්නේ නැත්තේ. ඒ අය නොමිලේ ඉගෙන ගන්නේ, පාසල්වල, විශ්ව විද්‍යාලවල, නොමිලේ ඉගෙන ගත්තට හැබැයි චැනලිං නොමිලේ නැහැ. එහෙම කරන්න හොඳ නැහැ.

මේ රටේ දරුවෝ තාමත් තුන් ලක්ෂයක් වසරකට උසස් පෙළ ලියනවා. 140000 ක් පමණ උසස් පෙළ සමත් වෙනවා. 25000යි විශ්ව විද්‍යාලවලට යන්නේ. තව 20000ක් විතර උසස් අධ්‍යාපනයට පිටරට යනවා. ඉන්දියාවට, පකිස්ථානයට, බංගලිදේශයට, නේපාලයට යන දරුවෝ අවිචි මහා නරකාදිවල ඉගෙන ගන්නේ. මෙහේ පුද්ගලික උපාධිකඩ එපා කියන අයගේ දරුවොත් ඒ විශ්ව විද්‍යාලවල ඉගෙන ගන්නවා. ඒ නිසා තමයි මම උසස් අධ්‍යාපන ඇමැති ලෙස ඉංජිනේරු උපාධි දෙන පුද්ගලික විශ්වවිද්‍යාල 08කට අනුමැතිය දුන්නේ. වෛද්‍ය විද්‍යාල 05කට අනුමැතිය දෙන්නත් මට ඕන වුනා.” යැයිද ඇමතිවරයා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: