ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවට පොසොන් දන්සලක්…

June 9, 2017 | 1:33 pm    0   360

ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවට පොසොන් දන්සලක්…

අයි.සී.සී. ශුරයන්ගේ කුසලානයේ තීරණාත්මක තරගයක් ඊයේ (08) එංගලන්තයේ ඕවල් ක්‍රීඩාංගනයේදී පැවැත්විණි. ඒ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතරය. එහිදී ප්‍රබල ඉන්දියානුවන් පරාජය කරමින් කඩුලු 7 ක විශිෂ්ඨ ජයක් වාර්තාකිරීමට ශ්‍රී ලංකාව සමත් විය.

පෙර තරගයට ක්‍රීඩා කල උපුල් තරංග සහ චාමර කපුගෙදර නොමැතිව ක්‍රීඩා කල ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම තරගය ජයගැනීම ප්‍රභල අභියෝගයක් විය. නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස් මෙහෙයවූ මෙම තරගයට කපුගේර වෙනුවට එකතු වී සිටියේ ධනුෂ්ක ගුණතිලකය.

මේ සියලු අවාසිදායක තත්වයන් සමගින් පිටියට බට ශ්‍රී ලංකා නායකයා කාසියේ වාසිය දිනාගැනීමෙන් අනතුරුව ඉන්දියාවට පළමුව පන්දුවට පහරදීමට ආරාධනා කළේය. ඒ අනුව ඉන්දියානු ඉනිම  පන්දුව්වර 50 ක් අවසානයේදී කඩුලු 6 කට ලකුණු 321 ක් විය. එයට ශිකර් ධවාන්ගේ ලකුණු 125 ක සුපිරි ඉනිම ද ඇතුලත් විය.

ලකුණු 322 අභියෝගය හඹායාමට පිටියට පිවිසි දික්වැල්ලගේ ඉනිමට ලකුණු 11 කට සිමා වුවද, ගුණතිලකට එකතු වූ කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකික තරුණ ජවය ලොවට පෙන්නුම් කලේ ඔවුන් දෙදෙනා අතර ලකුණු 159 ක අගනා සබඳතාවයක් ගොඩනගමිනි. ඉන්දියානුවන්ට හිසරදයක් වූ මෙම සබඳතාවය ඉන්දියානු ජය කෙමෙන් දුරස් කළේය. ශතකය පෙනී පෙනී මෙන්ඩිස් ලකුණු 89 ට දැවී ගිය අතර, ගුණතිලක ලකුණු 76 ක් ලකුණු පුවරුවට එකතු කළේය.

පාදයේ ඇතිවූ අබාධය නිසාවෙන් කුසල් ජනිත් පිටියෙන් ඉවත් වුව ද ඒ වනවිටත් ඔහු නොදැවී ලකුණු 47 රැස් කර තිබුණි. ඉන්පසු පිටියට පිවිසි දකුණත් කසකරුවා නායකයා සමඟ එක්ව ඉන්දියානු බලාපොරොත්තු සුනු විසුණු කළෝය. තරගය අවසන් වන්නටත් මත්තෙන් ඉන්දියානු ප්‍රේක්ෂකයෝ ක්‍රීඩාගාරයෙන් පිට විය. කෝලිට සිදුවුයේ කුමක් ද හෝ සිදුවන්නේ කුමක් ද කියා සිතාගත නොහැකි විය.

ඉන්පසු පන්දුවාර 48.4 ක දී ශ්‍රී ලංකාවේ ජය තහවුරු කරන්නට ඔවුන් සමත් විය. මෙම තරගය ආරම්භයට පෙර පකිස්තානු තරගය ජයගෙන සිටි ඉන්දියාව උදම් අනුවේ ශ්‍රී ලංකා තරගය ඔවුන්ට හොඳ පුහුණු තරගයක් වනු ඇති බවයි. එසේ වුව ද උදම් ඇනු ඉන්දියානු නායකයට එකදු ලකුණක් හෝ ලබාගැනීමට පෙර ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට නුවන් ප්‍රදීප් සමත් විය. ශ්‍රී ලංකාව ශුරයන්ගේ කුසලානය ජයගත්තා වැනි හැගීමක් බොහෝ ක්‍රීඩා ලෝලීන්ට ඒ මොහොතේ ඇතිවූ බව රහසක් නොවේ. දෙවැනි වරට එම හැගීම අපට ඇතිවුයේ ශ්‍රී ලංකාව තරගය ජයගැනීමෙන් අනතුරුවය.

ඉන්දියාව – කඩුලු 6ක් දැවී ලකුණු 321 (පන්දුවාර 50): ශිකර් ධවාන් 125, රෝහිත් ශර්මා 78, එම්.එස්. දෝනි 63, කෙඩාර් ජාදෙව් 25*, ලසිත් මාලිංග 2/70, අසේල ගුණරත්න 1/7, තිසර පෙරේරා 1/54.

ශ්‍රී ලංකාව – කඩුලු 3ක් දැවී ලකුණු 322 (පන්දුවාර 48.4): කුසල් මෙන්ඩිස් 89, ධනුෂ්ක ගුණතිලක 76, ඇන්ජෙලෝ මැතිව්ස් 52*, කුසල් පෙරේරා 47, අසේල ගුණරත්න 34*, බුවනේශ්වර් කුමාර් 1/54

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: