සංවර්ධනයට හෙණ ගසා තුන් බියට පාර කපන උමා ඔය

August 1, 2017 | 3:48 pm    0   135

සංවර්ධනයට හෙණ ගසා තුන් බියට පාර කපන උමා ඔය

ගිලා බසින පොළොවක් උඩින්, පුපුරා යන ගෙබිම මතින් ඔවුන් සීරුවට අඩි තබමින් සිටින්නේය. හිඳී ගිය දිය කදුරු, ඇළ ‍ෙදාළ, ගංඟා, පොකුණු, දිය ඇලි දෙස බලමින් ඔවුන් හූල්ලන්නේය. සදා හරිත පැහැය වසාගෙන වියළි රළු කර්කෂ බව පරිසරය වසාගෙන පැතිරෙමින් ඇත. එදා තිබූ සුන්දර වූ සිසිලස් වටපිටාව අද මේ පළාතෙන් නික්ම ගොස් ඇත. කොටින්ම කියතොත් ඒ පළාතේ ජීවය අද මියැදෙමින් ඇත.
ජීවත් වෙන්න නිවසක් ඉල්ලා හඬනවට වඩා ඔවුන් දැන් හඬා වැටෙන්නේ බොන්න වතුර ඉල්ලාය. මේ කියන්න යන්නේ උමා ඔයේ තවත් එක් කතාවක් වුවද එහි බලපෑම සිදුවන්නේ අදට වඩා හෙටටය.

මේ ව්‍යසනය එක පාරට සිදුවූවක් නොවේ. මේ මහා අපරාධය මුල් ගල් තබා ආරම්භ කළ එකකි. ඒ 2008 වසරේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේදීය. ස්වභාව ධර්මයට අභියෝග කරමින්, සියලු පරිසර වාර්තා උල්ලංඝනය කරමින්, ජනතාවගේ විරෝධය යටපත් කරමින් සංවර්ධනයේ අරුණැල්ල ගැන පාරම්බාමින් සැලසුම් ගතව කරන ලද මේ මහා අපරාධයෙන් තවත් නූපන් පරපුරක් වන්දි ගෙවන්නට සූදානමින් ඇත.

දැන් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පතුරු ගැහුවාට ඵලක් වන්නේ නැත. නමුත් නියපොත්තෙන් කඩා දැමීමට තිබූ දේ එදා කඩා දමන්න උෟවේ ජනතාව එක්වුණේ නැත. දැන් එය පොරොවෙන් කඩා දමන්නට සිදුවන තැනට පත්වී තිබේ. අද උෟවේ ජනතාවගේ හඬ එදා තිබුණා නම් අද තත්ත්වය මීට වඩා වෙනස් වූ මුහුණුවරක් ගන්නට තිබුණා විය හැක. නමුත් ඒ ගැන ද අද කතා කර ඵලක් නැත.

රාජපක්ෂ රෙජීමය ජනතාව විසින් කුණු කූඩයට ඇද දැම්මේය. ඒ යහපාලනය යන වචනයක් අල්ලාගෙන බලයට පැමිණි වත්මන් ආණ්ඩුවේ ජනතා සහන, ජනතා පොරොන්දු යන කැරට් අල මැතිවරණ වේදිකාවේදී ජනතාවට පෙන්වූ නිසාය. කැරට් අල ජනතාව ගිල්ලේය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එදා පොදු අපේක්ෂකයා ලෙස මැතිවරණ වේදිකාවේදී ඉදිරිපත් කරනු ලැබූ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය අදටත් වලංගුය. එම මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව එතුමා එක් පොරොන්දුවක් රටේ ජනතාවට දුන්නේය. ඒ මේ රටේ ජනතාවටත් පරිසරයටත් අහිතකර බලපෑම් සිදු කරන සියලුම සංවර්ධන ව්‍යාපෘති නවතා දමන බවටය.

ඔහු එදා එය කීවේ මහා ජනතා විරෝධතා පැන නැඟුණු පෝර්ට් සිටි ව්‍යාපෘතියත්, උමා ඔය බහු කාර්යය සංවර්ධන යෝජනා ක්‍රමයත් මූලික ව්‍යාපෘති දෙකක් බවට තේරුම් ගත් නිසාය. එසේ නම් ඒ පොරොන්දුව අද වෙනස් වන්නට විදිහක් නොමැත.

ඒ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය දැන් යකාට ගිහින්ය. ජනතා පොරොන්දුවලට හෙණ ගැහිලා ගියදෙන් කියා මේ ආණ්ඩුවේ ආශිර්වාදය ඇතිව උමා ඔය උමඟ හාරන්න පටන් ගත්තේය. කොටින්ම කියතොත් උමඟ අවසන් කරන්න තව ඇත්තේද කිලෝමීටර් 5.5ක් පමණි.
ඊටත් පෙරාතුවම උෟවේ ජනතාව සංවර්ධනයේ අරුණැල්ලෙන් බැට කන්නට සිදුවීමම ඛේදවාචකයක්ය. බණ්ඩාරවෙල ග්‍රාමසේවා වසම් 35කම ජනතාව දැන් ඇටිකෙහෙල් කෑ උගුඩුවෝ මෙන් විඳව ගන්නට නොහැකිව හූල්ලති.

උමගේ ඉතිරි කිලෝමීටර් 5.5 කැණීම් කළහොත් තවත් ග්‍රාමසේවා වසම් 20ට පමණ එය බලපාන්නේය. ළිං සිඳී යෑම, බිත්ති පැලී වෙනස්වී යාම, පොළොව ගිලා බැසීම, දිය ඇලි, පොකුණු සිඳී යෑම, නිවාස ගිලා බැසීම මේ බලපෑමේ ප්‍රතිඵලය වේ.

උමා ඔය ව්‍යාපෘතියට එරෙහි ජනතා ව්‍යාපාරයේ සභාපති එච්. ඒ. බෝධිගල මහතා පවසන අන්දමට මේ ව්‍යාපෘතිය වර්තමානයට වඩා අනාගතයට බලපෑම් එල්ල කරන්නේය.

“අද වනවිටත් නිසි ක්‍රමවේදයක් හරහා මේ උමා ඔය ව්‍යාපෘතියෙන් පීඩාවටපත් ජනතාවට වන්දිගෙවීමට රජය අපොහොසත් වෙලා. ජල පෝෂක ප්‍රදේශ සියල්ලම හිඳිලා. ජනතාවගේ ජල අවශ්‍යතාවය පිරිමහන්න බැරි තරමට පත්වෙලා. දවසට ලීටර් ලක්ෂ 8/12ක් පමණ මේ ග්‍රාමසේවා වසම් සියල්ලේම ජනතාවට අවශ්‍යවෙනවා. නමුත් රජයෙන් දැනට සපයන්නේ ලීටර් ලක්ෂ 4ක ප්‍රමාණයක් පමණයි. සාමාන්‍යයෙන් පුද්ගලයෙකුට දිනකට ලීටර් 50 සිට ලීටර් 100ක් දක්වා වූ ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා තම පරිභෝජනය කටයුතු සඳහා නමුත් දැන් ලැබෙන්නේ එක් අයෙකුට ලීටර් 25ක් වැනි කුඩා ප්‍රමාණයක් පමණයි.”

බණ්ඩාරවෙල ප්‍රදේශයේ ජනතාව විශාල ප්‍රමාණයකට තම දෛනික ජල පරිභෝජනයට තිබූ හීල් ඔය ද මේ වන විට සම්පූර්ණයෙන්ම හිඳී ගොස් ඇත. ඒ පිළිබඳව ද බෝධිපාල මහතා අදහස් දැක්වූයේ මෙසේය.

“මේ හීල් ඔය හිඳිලා දැනට වසර 04ක් පමණ වෙනවා. හීල් ඔයෙන් බණ්ඩාරවෙල ගොවි ජනතාව බහුතරයක් තම ගොවිතැන් බත් සඳහා ජලය ලබාගත්තා. නමුත් දැන් ඒ ගොවි ජනතාවට දැන් ඉතුරුවෙලා තියෙන්නේ ඵලදාව නැති මුඩු බිමක් විතරයි.

මේ ප්‍රදේශයේ සියයට 85ක් පමණ ගොවි ජනතාව ජීවත්වෙනවා. වෙළඳපොළට එන එළවළුවලින් සියයට 35ක් පමණ එළවළු එන්නේ මේ බණ්ඩාරවෙල ප්‍රදේශයෙන් වගාවට අවශ්‍ය ජලය නොමැතිකම නිසා දැන් කිසිම එළවළුවක් මේ පළාත්වල වවන්නේ නැහැ.”

ඔහු පවසන පරිදි මේ ප්‍රදේශයේ ගිය අගෝස්තු මාසය වෙද්දි භූගත ජලමට්ටම පිහිටා ඇත්තේ අඩි 38ක් පමණ යටින්ය. එය නොවැම්බර් මාසය වන විට අඩි 40ක් දක්වා තවත් භූගත වී ඇත. පසුගිය මාර්තු මාසය වනවිටදී භූගත ජල මට්ටම රැඳී ඇත්තේ අඩි 58ක් දක්වා පහළය.

පසුගිය ජූනි මාසය සහ මේ වන විටදී එම ප්‍රදේශයේ භූගත ජලය අඩි 62.97ක් පමණ ඉතා සීඝ්‍රයෙන් පහළ ස්ථරයක් දක්වා හිඳී යමින් පවතින්නේය. ඊට ප්‍රධානතම හේතුව වී ඇත්තේ අවස්ථා කිහිපයකදී උමඟෙන් ගලා ගිය ලීටර් කෝටී 22,000ක් පමණ වන ජල කාන්දුවය.
මේ ප්‍රදේශයේ පරම්පරා තුන හතරක් පමණ වතුර බීපු, නාපු, වගාවන් කරපු වසර 150ටත් වඩා පැරණි ළිංවල අද දක්නට ඇත්තේ පතුල පමණි. ළිඳක් මැරෙනවා කියන්නේ සුළුපටු කාරණයක් නොවේ. සමහර විට පාරේ පයිප්ප බට ලයින්වලින් වතුර ගන්න අයට එය එතරම් ගාණක් නොවුණට මඳකට සිතන්න පයිප්ප බටවලින් එන වතුර පොද ගන්න තිබෙන ගඟ, ඇළ, ‍ෙදාළ මැරුණම මොකද වෙන්නේ කියලා.
නසීර් පල්ලපේරුව ප්‍රදේශයේ ජීවත්වන තිදරු පියෙකි. මේ ඔහුගේ දුක්ගැනවිල්ලය.

“මේ බණ්ඩාරවෙල මුළු පොළොවම පිපිරිලා ඉරිතලලා ගිහිල්ලා ඉවරයි. මේ පොළොවේ නැවත ගෙවල් හදන්න බැහැ. අපිට බොන්න වතුර නැතුව ඉන්නේ. අපි කියන්නේ පුළුවන් නම් කවුරු හරි කමක් නැහැ අපිව බලන්න එද්දි වතුර බෝතලයක් ගේන්න කියලා රෙද්දක් හෝදගන්න විදිහක් නැහැ. කාලා අතසෝද ගන්න, ඒ නැතත් වැසිකිලියට යන්න පවා වතුර නැහැ.
අපේ ගෙවල්වල බිත්ති ඉරිතලලා ගිහින්, ඒවායේ ඉන්නත් බයයි. සමහර ගෙවල්වලට රජයෙන් රුපියල් 15,000ක කුලියක් දුන්නා වන්දියක් විදිහට. නමුත් ඒක හරියාකාරව දුන්නේ නැහැ. ගෙවල් ගිලා බැහැපු අය කුලියට ගත්තු ගෙවල්වලට දැන් අතින් කුලිය ගෙවන්න සිද්ධවෙලා තියෙන්නේ. අඩුම තරමින් අපිට ඉඩමක් අරගෙන ගෙයක් හදන්න බැංකුවෙන් බැංකු ණය දීම පවා ප්‍රතික්ෂේප කරලා තියෙන්නේ.

ඉතින් කොහොමද අපි ජීවත්වෙන්නේ, මේවාට වගකියන්න ඕන මේ රටේ පාලකයෝ නේද?”
පල්ලපේරුව ප්‍රදේශයේ තිබූ ළිං ප්‍රමාණය 248කි. ඒ ප්‍රදේශයේ බහුතරයක් ජනතාව උදේ හවස නෑවේ, ඒ ප්‍රදේශයේ තිබුණු සුදු ළිඳවල් 4කිනි. මේ සියල්ල අද මැරී ගොසින්ය.

ඔබ මදක් සිතන්න, ඔබට නාන්න නැතුව දින කීයක් ඉන්න පුළුවන්ද? වැසිකිලි යන්නේ නැතුව දින කීයක් ගත කරන්න පුළුවන්ද? උයන පිහින හැලි වළං හෝදන්නෙ නැතුව උයන්න පිහන්න පුළුවන්ද කියා. මේ ජනතාව එහෙම ජීවත්වන ජනතාවක්. නාන්න, කන්න, බොන්න, හැලි වළං හෝදන්න, මේ කිසිවකටවත් ඔවුනට ජලය නැත. අඩුම තරමින් බොන්නවත් ජලය නැත. මිනිසෙකු ලෙස සුදුසු පරිසරයක නිදහසේ නිවසක ජීවත් වීමේ මානව අයිතිවාසිකම ද ඔවුනට නැත. සංවර්ධනයේ නාමයෙන් මේ අයිතිවාසිකම් ඔවුන්ට කැප කර දී නොමැත. ඔවුන් සංවර්ධනයේ අනාථයන් පිරිසක් බවට පමණක් පත් කර ඇත.

මේ ප්‍රදේශයේ කුඹුරු ගොවිතැන් කළ ජනතාවට රජය විසින් වී බුසලකට රුපියල් ලක්ෂ 03ක් වනදි මුදල් ලෙස ලබාදී ඇත. නමුත් එය දිගින් දිගටම ප්‍රමාණවත් නොවන බවත්, යල මහ කන්න දෙක වගා කිරීමට ඉදිරියේදී නොහැකි වන බවත් ගොවියන්ගේ මතය වී තිබේ.
ඩී. එම්. සුදු මැණිකාගේ පුතුන්ගේ රැකියාව ගොවිතැන් බත් කිරීමය. නමුත් ප්‍රදේශයේ පවතින ජලය නොමැතිකම නිසා කුඹුරු සියල්ල දැනට කාලයකට පෙර සිටම පුරන්ව ගොස් ඇති බව ඇය කියන්නීය.

“අපේ අත්තා, මුත්තා කාලේදිවත් මෙහෙම වුණේ නෑ පුතේ. මොනා කරන්න ද කියලා හිතාගන්න බැහැ. වතුර බවුසර් එනකම් අපි මේ බලා ඉන්නේ. අපි ඉස්සර මේ ගොවිතැන්වල වගා කළේ කොච්චර සතුටින් ද අපි බෝංචි දැම්මා, අල දැම්මා දැන් ඒ මුකුත් නැහැ.”
එදා සශී්‍රක කෘෂිකාර්මික ප්‍රදේශයක් වූ බණ්ඩාරවෙල ප්‍රදේශය අද වියළි දේශගුණයක් සහිත කටෝර බිම් ප්‍රදේයක් බවට පත්ව ඇත. කුඹුරු ගොවිතැන්, බව බෝග වගාවෙන් දවසට රුපියල් 5000ක් පමණ ඉපැයූ මිනිසුන් අද උඩ බලාගෙන සිටිති.

ගොවිතැන ආශ්‍රීතව බැඳී තිබූ අතුරු රැකියා රැසකින් බඩවියත රැකගත් බොහෝ දෙනෙකුට ඒ ආදායම් මාර්ග අහිමිව ගොස් ඇත. සංචාරක ප්‍රදේශවල අද සංචාරකයන් නොමැත. බෑවුම්වලින් ගලා විත් පහළට වැටුණු දිය ඇලි මැරී ගොස් අද සංචාරකයන්ගේ කැමරා කාචවල සටහන් වන්නේ යාන්තමින් වෑස්සෙන දිය පහරක් සමඟ ඇති ගල්ගෙඩිවල ඡායාරූප පමණි.

උමා ඔය ව්‍යාපෘතිය හේතුවෙන් බදුල්ල බණ්ඩාරවෙල මාර්ගය කුඩුගල්පතන කන්ද නාය යෑමේ අවධානයකට ලක්වීමේ ඉඩකඩක් ඇති බවද පැවසේ.

දිගින් දිගටම සිදුවන පොළොවේ ඉරිතලා යාම නවතන ලෙස ඉල්ලමින් ගම්වැසියන්ට අවසානයේ සිදුව ඇත්තේ දෙවියන් යැදීම පමණි.
මේ පිළිබඳව උමා ඔය ඉංජිනේරුවන් ඇතුළු බලධාරීන් දැනුම්වත් කළ ද එම නිලධාරීන් ගම්වැසියන්ට කියා ඇත්තේ කන්ද කිසිවිටෙක නාය නොයන බවත් අනවශ්‍ය බියක් ඇති කර නොගන්නා ලෙසය. අතීසාරයට අමුඩ ගසනවාක් මෙන් මේ මහා පැලුම් කුස්තුර වසා දැමීමට මේ බලධාරීන් අළුත් ක්‍රමවේදයක් ගම්මුන්ට හඳුන්වා දී ඇත. ඒ පොළොවේ පැලුම් කුස්තුර වසා දැමීමට ඊට උඩින් මැටි අතුරා පිරියම් කරන ලෙසය.

ගම්මුන්ට අනුව මේ අපූරු උපදේශය ලබාදී ඇත්තේ උමා ඔය ව්‍යාපෘතියේ ඉංජිනේරු මහත්තරුන්ය. ඒ මහත්තුරුන්ට කීමට ඇත්තේ ඇයි මේ මැටි ක්‍රමවේදය හඳුන්වාදීම මෙච්චර කලක් ප්‍රමාද වුණේ කියාය. මේ මැටි ගැහිල්ල කලින් ජනතාවට හඳුන්වා දුන්නානම් අද උෟවේ ජනතාවට මෙච්චර නස්පැත්තියක් සිදු නොවන්ට ඉඩ තිබුණා නොවේද?

ඉතින් මෙවැනි මැටි වැඩ හඳුන්වාදෙන ඉංජිනේරු මහත්තුරු ඇතුළු බලධාරීන් උමා ඔය ව්‍යාපෘතියේ නිවැරදි තාක්ෂණික ක්‍රමවේද හරියාකාරව ඉටු කරයිද? ඒ පිළිබඳව ජනතාවට ඇත්තේ භීතියක් නොවේද?

මේ උමගේ ඉතිරි කැණිම් කලාපය ක්‍රියාත්මක කිරීම දැඩි සේ අවධානම් බවට උෟවේ ජනතාව මෙන්ම මේ පිළිබඳව අධ්‍යයනය කරනු ලැබූ විද්වතුන් හා පරිසරවේදීන්ගේ මතය වී තිබේ. උමඟ පුහුල් ‍ෙදාළ දක්වා යන ගමන තීරණාත්මක මෙන්ම එය විශාල විපත් රැසක් ඉදිරියේදී ඇති කරවීමට ඉඩ කඩ ඇති බව ඔවුන්ගේ මතයයි.

මේ ආණ්ඩුව පරිසර ඇගයීම් වාර්තා පසෙක දමා කොමිස් කුට්ටි පස්සේ තව තවත් දිව්වොත් සිදුවන්නේ අද තිබෙන තත්ත්වයට වඩා හාත් පසින්ම වෙනස් තත්ත්වයකට උෟවේ ජනතාවට පමණක් නොව මුළු මහත් රටේම ජනතාවටම මුහුණදීමටය.
වතුර බවුසරේ එනවිට බාල්දි බූලි අරගෙන දුවගෙන යන, වතුර බෙදා ගන්න බැරිව වලිකන, අනුන්ගේ බත්පත උදුරාගෙන කා බඩගින්න නිවා ගන්න වෙර දරන, කෙසේ හෝ ජීවත්වීමට, දරුවන් ජීවත් කරවීමට, කොල්ල කා හෝ කීයක් හරි හොයාගන්න දරුණු මිනිසුන් කොට්ඨාසයක් නිර්මාණය වීම මේ හරහා ඉබේම සිදුවනු ඇත.

මොකද මේ මිනිසුන්ට වුවත් මේ ව්‍යයසනය දරාගැනීමට හැකි කාලයක් ඇත. පාර්ලිමේන්තුවේ වරදාන වරප්‍රසාද බුක්ති විඳින, තම නිල රථ වෙනුවෙන් මහජන මුදල් කෝටි ප්‍රකෝටි ගණන් වෙන් කර ගන්නා මේ රටේ බහුතරයක් මැති ඇමැතිවරුන්ට මේ මිනිසුන්ගේ පිපාසය දැනෙන්නේ නැත. එය අදටත් ඔවුන්ට බීරි අලින්ට වීණා වැයීමක් පමණක් සේ දකින්නට ඇත.අඩුම තරමින් උමගෙන් දැනටත් සිදුවන ජල කාන්දුව පුරවා වසා දැමීමට මේ රජය අපොහොසත් විය.

මතක තබා ගන්න ස්වභාව ධර්මයට උඩින් අපිට යා නොහැක. අප ස්වභාවධර්මයාට අයත් සත්ත්ව කොට්ඨාසයකි. ස්වභාව ධර්මය තුලිත නොවූ තැන එය නිරායාසයෙන්ම සමතුලිත වන්නේය. එදාට ගංවතුර ගලනවෝ, නාය යනවෝ කියා කෑ ගසන්නට සිදුවනු ඇත.

ස්වභාව ධර්මය සේම පීඩිත වූ මේ ජනතාව ඒ පීඩනය තව කොතෙකුත් දුර ඉවසා සිටී දැයි කියා කීමට අපහසුය. පීඩනය වැඩි වූ තැන පිපිරීමක් අත ළඟය. එය හරියට උමා ඔය ව්‍යාපෘතිය වැනිය. පිපිරීම වැළැක්වීමට නම් යහපාලන ආණ්ඩුවේ සැබෑ යහපාලන පොරොන්දුව ඉටු කළ යුතුය.

කතාව හා පින්තුර – දිල්හාන් විමල්ක

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: