වසර 42කට පසු සප්ත කන්‍යා ගුවන් අනතුර සියැසින් දුටුවෙක් කියන අමුතු කතාව

December 14, 2016 | 12:45 pm    0   944

වසර 42කට පසු සප්ත කන්‍යා ගුවන් අනතුර සියැසින් දුටුවෙක් කියන අමුතු කතාව

වර්ෂ 1974, වෙලාවේ උදේ 10.15යි. මස්කෙළිය නගරවාසීන්ගේ සාමකාමීව ගෙවෙමින් තිබුණු උදය කාලය සසල කරන හෙන හඬකින් මුළු නගරයම දෙදරුම් දුන්නා. හටගත් මහා ගිනි ජාලාවේ කළු දුමාරයෙන් මුළු නගරයම වැසී ගියේ ඇසිපිය ගහන සැණින්. පියාසර අංක 138, මාටින් එයාර් නැමැති ගුවන්යානය මස්කෙළිය නගරයට ආසන්න සප්තා කන්‍යා කඳුවැටියේ ගැටී සුන්බුන් පමණක් ඉතිරි කරමින් ජීවිත 190ක් බිලිගෙන තිබුණා. මක්කම වන්දනාව බලා යමින් සිටි මගීන් 182 ක් ඇතුළු කාර්ය මණ්ඩලය මෙම අනතුරෙන් මියගොස් ඇත. යානයේ සිටි මගීන්ගේ සිරුරු සප්ත කන්‍යා දෙබොක්කෙ වැටී තිබුණු අතර ඒවා ගොඩගැනීමට පවා එදා කිසිදු හැකියාවක් තිබුණේ නැහැ. කෙසේ වුණත් මේ අනතුර සම්බන්ධයෙන් නොයෙකුත් කටකතා පැතිර ගියා. නො සිතූ අන්දමින් ක්ෂණයෙන් සිදු වුණු මේ අනතුර සම්බන්ධයෙන් එදා තොරතුරු රැසක් වසන් වී ගියා. මීට අවුරුදු 42කකට කලින් දෙසැම්බර් 4වන දින සිදු වූ මේ අනතුර අදටත් අභිරහස් අනතුරක්.

මීට වසර 38කට පෙර එනම් 1974 දෙසැම්බර් 4 දා ශ්‍රී ලංකාවේ දී අනතුරට පත්ව මගීන් 191 දෙනෙකුගේ ජීවිත බිලිගත් ගුවන්යානා අනතුර ඇසින් දුටු අයෙකු එම සිද්ධිය අද මෙසේ විස්තර කරයි. මෙම අනතුරින් මියගිය අයගේ ඥාති හිතෛ්ෂීන්ට තමන් දුටු දෙය පිලිබඳ අවශ්‍ය විස්තර ලබා දීමට ද හෙතෙම කැමති බව පවසයි. මේ සටහන අප වෙත එව්වේ කතරගම නෙල්සන් පියරත්න මිතුරායි.
ඉන්දුනීසියාවේ මාටින් එයාර් සමාගමට අයත් මෙම ගුවන් යානය ඉස්ලාම් භක්තිකයින් පිරිසක් රැගෙන මක්කම බලා ගමන් කරමින් සිටිය දී මස්කෙලිය ප්‍රදේශයේ සප්ත කන්‍යා කඳුවැටියේ ගැටීමෙන් එහි ගමන් කළ වන්දනාකරුවන් 191 දෙනෙක් මියගිය අතර එය ලංකාව තුළ සිදු වූ ලොකුම ගුවන් අනතුර වේ.
මෙම අනතුර සියසින් දුටු ආර්.එම්.රණවීර මහතා ගෝණපොල මොහොට්ටිගොඩ නමැති ගමේ පදිංචිකරුවෙකි. එකල 16 හැවිරිදි කොලු ගැටයෙකු වූ ඔහු හපුගස්තැන්න වතුයායේ සේවය කර ඇත. ඔහු සතුව මෙම යානයේ සුන්බුන් අතරින් අහුලාගත් එන්ජිමේ මෙවලමක් ද සුරක්ෂිතව ඔහු සතුව පවතී. තමා ගැන දැනගත් මියගිය අයගේ ඥාතීන් කීපදෙනෙකු ඒ දිනවල ලිපි එවූ බව ද ඔහු සඳහන් කරයි. අවශ්‍ය නම් තමන් සතු විස්තර මියගිය අයගේ ඥාති මිත්‍රයින්ට හෝ ඒ පිලිබඳ උනන්දුවක් දක්වන ආයතනයකට හෝ ලබාදීමට කැමති බව ඔහු කියයි.
මාධ්‍යයට අදහස් දැක්වූ ඔහු මෙසේ කීය. මම ඒ දවස්වල හපුගස්තැන්න වතුයායේ බේකරියක වැඩ කළා. අනතුර සිදු වූ සප්ත කන්‍යා කඳුවැටිය එතනට හොඳට පේනවා. ඒ වෙලාව හරියට රාත්‍රී 10.10යි. මට හොඳට මතකයි. එදා මම රෑ වැඩ. මම එළියට ආවේ පොඩි විවේකයක් ගන්න. මට අහස් යාත්‍රාවක් එන ශබ්දය ඇසුණා. නමුත් මට ඇහුණේ අහස් යානයේ ශබ්දය විතරයි. ඊට පස්සේ විනාඩියක් විතර ගියාට පස්සේ අහස් යාත්‍රාව පෙනෙන්න පටන් ගත්තා. ඒකෙ රතුපාට ලොකු ලයිට් එකක් තිබුණා එය නිවි නිවී පත්තුවෙමින් තිබුණා. ඒ අතරම එම යානාවෙන් නො නවත්වාම බෙල් එකක් මහ හයියෙන් නාද වුණා. ප්ලේන් එක ඒ වෙලාවෙ ගමන් ගත්තේ උස පොල්ගහක විතර උඩින් ඒක මට බස් එකක ප්‍රමාණයෙන් තමයි පෙණුනේ. එච්චර පාතින් ප්ලේන් එක ගිය එක ගැන මට පොඩි සැකයකුත් ඇති වුණා. මෙහෙම ගිය අහස් යාත්‍රාවේ එක තටුවක් මම හිටිය තැනට හොඳට පේන සප්ත කන්‍යා කඳුවැටියෙ එක කන්දක ගෑවීගෙන ගියා. මට ඒ වෙලාවේ මගේ හිතට බලවත් කම්පනයක් ඇති වුණා. ඊට පස්සේ අහස් යානය ඊට උසින් පිහිටි කන්දෙ වැදුණා. ඒ එක්කම අහස් යානයම ගිනි ජාලාවක් බවට පත් වුණා. ඒ එක්කම අහස් යානයේ කෑලි පට පට ගාලා ගිනි අරගෙන පුපුරා බිමට වැටෙන ශබ්දය ඇසුණා. ඒ එක්කම මහා ශබ්දයක් එක්ක ප්ලේන් එක පුපුරනවා ඇහුණා. ඒ දවස්වල ඒ ගමේ වැඩිය ගෙවල් තිබුණෙ නැහැ. රෑ නවය වෙනකොට හැම ගෙදරකම නින්දට යනවා. දැන් මිනිස් පුලුටකට ඉන්නේ මම විතරයි. මේ සිද්ධිය තනිවම මහ රෑ දැක්ක හින්දා මට මහා බයකුත් අර අහස් යානයේ හිටි මිනිස්සුන්ගේ ජීවිත ගැන මහා ශෝකයකුත් ඇති වුණා.
අහස් යානයේ පිපිරීමේ ශබ්දයත් එක්කම ගමේ මිනිස්සු ‍දොරවල් ඇරගෙන දුවගෙන ආවා බලන්න. නමුත් කිසිම කෙනෙක් දන්නෙ නැහැ වුණේ මොකද කියලා. කාටත් පේන්නේ කන්ද මුදුනෙ මහා ගිනි ජාලයක් ඇවිලෙනවා විතරයි. පස්සේ මම සියලුදෙනාටම සිද්ධිය විස්තර කරල කිව්වා. නමුත් අපි කිසි කෙනෙකුට කන්දට යන්න විදියක් නැහැ කන්දට පාරකුත් නැහැ. ඒක ඝන කැළෑවෙන් වැහිල තියෙන්නේ.
පහුවදා ගුවන් හමුදාවේ හෙලිකොප්ටරයක් ඇවිත් අනතුර වෙච්ච තැන හොයාගත්තා. ඊට පස්සෙ මිනිස්සු වැල නො කැඩි අනතුර වෙච්ච තැන බලන්න කන්දට නඟින්න පටන් ගත්තා. මමත් ගියා. ඒත් කලින් කන්දට නැග්ග සමහරු කන්ද නැගගෙන එන මිනිස්සුන්ට උඩ ඉඳලා ගල් පෙරලන්න පටන් ගත්තා. එහෙම කළේ අනතුරින් විපතට පත් වෙච්ච මිනිසුන්ගේ බඩු මුට්ටු හොරකම් කරන්න බලාගෙන හිටිය අය. පාරක් නැති නිසා මිනිස්සු කන්දට නැග්ගෙ ගල් උඩින් පැන පැන වැල්වල එහෙම එල්ලිලා.
අනතුර වෙච්ච තැන පිච්චිච්ච මළසිරුරුයි ගුවන් යානයේ සුන්බුන් ආදියත් මගීන්ගේ බඩු මුට්ටුත් විසිරිලා තිබුණා. සමහර මල සිරුරු බාගෙට පිච්චිලා. මට මළසිරුරු පනහක් හැටක් පමණ ගණන් කරන්න පුළුවන් වුණා.
ගුවන් හමුදාවෙන් පැමිණි අය මගීන්ගේ බඩු බාහිරාදිය කන්දක් වගේ ගොඩ ගහලා තිබුණා. ගුවන්යානයේ සුන්බුන් අහුලා ගත් අය ඒ කෑලි එක එක අයට විකුණන්න පටන් ගත්තා. මටත් ගුවන්යානයේ එන්ජින් එකේ කෑල්ලක් හමු වුණා. ඒක එන්ජින් එකේ ගියර් ලීවරයක් ලු. අදටත් මම එය ප්‍රවේශම් සහිතව විශේෂ ආවරණයක් තුළ දාලා තියාගෙන ඉන්නවා.
අනතුර සිදුවීමට විනාඩි පහකට වඩා ගියේ නැහැ. මිනිස්සු අවදිවෙලා ගෙවල්වල ‍ෙදාරවල් ඇරගෙන එනකොට අනතුර වෙලා ඉවරයි. ඉතින් මේ අනතුර මුලින්ම දැකල තියෙන්නේ මමයි. මම දැනට වෘත්තියෙන් ගොඩනැඟිලි කාර්මිකයෙක්. එදා මේ අහස්යානය ගමන් කළ උස එම උස අනුව කන්දේ හැපුණ අයුරු ආදිය මම සිතියම් ගත කරලා තියෙනවා. අනතුර සිහිවීම පිණිස එම ගුවන් යානයේ එන්ජිමට අයිති මෙවලම මම වීදුරු ආවරණයක තැන්පත් කරලා තියෙනවා ඕනෑම කෙනෙකුට බලන්න පුළුවන් විදියට.
කෙසේ වෙතත් අපි මනුෂ්‍යත්වයට ගරු කළ යුතුයි. එදා මෙම පිරිස මක්කම බලා ගියේ වන්දනාවකයි. එහෙම යන්නේ ලොව සියලුම මනුෂ්‍යයින් කෙරේ ආදරයකින් කරුණාවකින්. නමුත් ඔවුන්ගේ අවාසනාවකට ඔවුන්ට දරුණු ඉරණමකට මුහුණ පාන්නට සිදු වුණා. මෙම අනතුර පිළිබඳ ඕනෑම කෙනෙකුට අවශ්‍ය උදව්වක් ලබාදීමට කැමතියි.

කතරගම නෙල්සන් පියරත්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: