සමයංගෙ මරණෙට වග කිව යුතු තවත් දෙන්නෙක් අල්ලයි

May 10, 2017 | 12:00 pm    0   238

සමයංගෙ මරණෙට වග කිව යුතු තවත් දෙන්නෙක් අල්ලයි

කළුතර බන්ධනාගාරයට අයත් බස් රථයකට ප්‍රහාරයක් එල්ල කර එම බස් රථයේ ගෙන යමින් සිටි ප්‍රසිද්ධ පාතාල අපරාධකරුවකු වූ සමයං නැමැත්තා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය තවත් පාතාල අපරාධකරුවන් දෙදෙනකු අතුරුගිරිය ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය පෙබරවාරි මස 27 වන දින මෙම බන්ධනාගාර බස් රථයට ‍පාතාල අපරාධ කල්ලියක් විසින් මෙම වෙඩි තැබීම කරන ලද්දේ කලුතර උතුර එතණමඩල ප්‍රදේශයේදී ය.

එදින සමයං සහ තවත් බන්ධනාගාර රැඳවියන් පිරිසක් මෙම බන්ධනාගාර බස් රථයෙන් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය දක්වා මෙසේ ගෙන යමින් සිටියදී පාතාල අපරාධ කල්ලියක් මෙම බස් රථය වට කර වෙඩි තබා සමයං ඝාතනය කර තවත් බන්ධනාගාර නිලධාරීන් දෙදෙනකුටද වෙඩි තබා තවත් පිරිසකට තුවාල සිදු කර පළා ගොස් තිබුණි.

මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් විටින් විට තවත් පාතාල අපරාධ කල්ලි දෙදෙකක සාමාජිකයන් පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

කොළඹ අපරාධ කොට්ඨාශය පෙරේදා අත් අඩංගුවට ගනු ලැබුවේද එම පාතාල කල්ලියක සාමාජිකයන් බව පොලීසිය සිය පරීක්ෂණවලදී අනාවරණය කරගෙන තිබේ‍.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇති පාතාල සාමාජිකයන් දෙදෙනා වන්නේ අතුරුගිරිය ගල්පොත්ත ප්‍රදේශයේ පදිංචිකරුවකු වන සුදේවගේ නන්දන ලක්මාල් නොහොත් නන්දන මල්ලි සහ පී.ඊ. මදුකල්ප නොහොත් ගඩ්ඩා යන අයයි.

‍මොවුන් දෙදෙනා අතුරුගිරිය ප්‍රදේශයේ පිහිටි ඉන්ධන හලදී සහ වෙනත් ස්ථානයකදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබුණි‍. මෙම වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය සිදු කරන මෙහෙයුම්වලින් මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් පෙරේදා(08) දින කළුතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇති මෙම පාතාල අපරාධකරුවන් දෙදෙනාද බොහෝ අපරාධ සහ තවත් පාතාල ක්‍රියා රැසකට සම්බන්ධ බවට තොරතුරු හෙළිදරව් වෙමින් තිබෙන බව පොලීසිය පවසයි. කොළඹ අපරාධ කොට්ඨාශය මොවුන්ගෙන් තවදුරටත් මෙහෙයුම් සිදු කරගෙන යයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: