සමයංගේ එක්කුසේ උපන් අයියා පොළොන්නරුවේ සිට කතා කරයි

March 22, 2017 | 7:58 pm    0   299

සමයංගේ එක්කුසේ උපන් අයියා පොළොන්නරුවේ සිට කතා කරයි

“නැති වෙනකන්ම මට මගේ මල්ලි හොයාගන්න බැරි වුණා”
“මීට අවුරුදු දෙකකට කලින් මල්ලි මාව හොයාගෙන පොළොන්නරුවෙත් ඇවිත්”
“මල්ලියි, මමයි, අක්කයි තුන්දෙනාම තුන් තැනකට හදාගන්න දීලා
“අපි මීට කලින් හමුවුණා නම් අපේ කතාව මීට වෙනස් වෙනවා


කාලය විසින් සැමදාමත් උගන්වන්නේ ජීවිතයට අලුත් පාඩම්ය. නමුත් ඒ පාඩම් මේ තරමටම මිනිසුන් අතර අන්තර් සබඳතා ගොඩනඟන්නේ යැයි මම විශ්වාස නොකළෙමි. මීට වසර දෙකකට උඩදි මට ලැබුණු දුරකථන පණිවුඩයක්, වසර දෙකකට පසු නැවත හදවත කලබල කළේය. ඔහුගේ ඇත්ත නම, මා හට සඳහන් කිරීමට නොහැකි වන්නේ මේ කතාවට අම්මලා හතර දෙනෙකුත්, තාත්තලා හතර දෙනෙකුත් සිටින නිසාවෙනි. මේ හැම අම්මා කෙනෙක් ළඟම ඇත්තේ ආදරයයි. තාත්තා කෙනෙක් ළඟම ඇත්තේ උත්තරීතර පීතෘ සෙනෙහසයි. ඒ නිසාම මම ඔබට ඔහුව රංග යන නමින් හඳුන්වා දෙමි.
රංග මීට අවුරුදු දෙකකට කලින් මට දුරකථන පණිවුඩයක් ලබාදුන්නේය. එවකට මම මවුබිම පුවත්පතේ සේවය කරන මාධ්‍යවේදියෙකි. දවසකට පැමිණෙන බොහෝ දුරකථන පණිවුඩ අතරේ රංගගේ දුරකථන පණිවුඩය මා සසල කරවන්නට සමත් වුණි.
“අයියේ, මම රංග. පොළොන්නරුවෙ ඇතුමල්පිටියේ. මට ඔයාගෙන් උදව්වක් ඕන. මගේ පවුලේ තුන්දෙනෙක් ඉන්නවා. මමයි, මල්ලියි, අක්කයි. අපි තුන්දෙනාම පුංචි කාලෙම තුන්දෙනෙක්ට හදාගන්න දීලා. මට මගේ මල්ලිවයි, අක්කවයි හොයාගන්න උදවු කරන්න”
එම දුරකථන පණිවුඩය ලැබූ දින සිට රංග ඉඳහිට නැවත නැවත මට කතා කරන්න වූවේය.
“අයියේ අක්කා ගැන නම් ටිකක් තොරතුරු හොයාගත්තා. ඒත් මල්ලි ගැන මොකුත්ම හොයාගන්න බැරි වුණා”
ඉඳහිට පැමිණෙන එවැනි දුරකථන පණිවුඩයක් නැවතත් හිත කලබල කරන්නට වූවේය. නමුත් කාලය බොහෝ දේ අමතක කරන්නටත්, බොහෝ දේ නැවත ළංකර දෙන්නටත් සමත්ය. මම මවුබිමෙන්ද ඉවත් වී වසර දෙකකට පසු එළඹි පසුගිය අඟහරුවාදා දින නැවතත් ඒ රංග විසින්ම හිත කලබල කළේය. ඒ එදාටත් වඩා තීව්‍ර ලෙසිනි.
“අයියේ ඔයාට මතකද මාව?
මම රංග. පොළොන්නරුවෙ ඇතුමල්පිටියේ. අර හදාගන්න දීපු මගේ මල්ලියි, අක්කයි හෙව්වේ”
ජීවිතයට හැමදාමත් මෙන් කාලය පාඩම් උගන්නන්නේය. කවමදාවත්, නොදැකපු මිනිසුන් සදාකාලික මිතුරන් බවටද, කිසිදා හමුනොවන මිනිසුන් බවටද පත් කරන්නේය.
“අයියේ, අපේ ඇත්තම අම්මයි, තාත්තායි පොළොන්නරුවේ. තාත්තා වහ බීලා මැරිලා. අම්මට අපිව හදාගන්න විදියක් නැතිව හදාගන්න දීලා”
නැවත වසර දෙකකට පසුව රංග එම කතාවම නැවත කියන්නට වූවේය.
“මම අවුරුදු ගාණක් මගේ අක්කවයි, මල්ලිවයි හෙව්වා. මට අක්කව හමුවුණා. එයා මට හමුවුණේ කිරිඳිවැලදි. නමුත් මල්ලි හොයාගන්න බැරිවුණා. ඒත් අවසානයේදි මේ මගේ මල්ලි කියල හොයා ගන්නකොට එයා අපිව දාලා යන්න ගිහිල්ලා”
රංග විසින් වසර ගණනාවක් සෙවූ මල්ලි, ඔහු නොදන්නවා වුණාට ඔහු ගැන මුළු රටම දැන සිටියේය.
‘උඳුගොඩ සම්පත්ලාගේ අරුණ උදයංග’ නොහොත්, රටම දන්නා ‘සමයං’ය. මම බොහෝ කලබල වුණෙමි. රංග විසින් මා හට එවූ ඡායාරූපයත් සමයංගේ ඡායාරූපයත් එකට තබා ඒ දෙස බොහෝ වේලා බලා සිටියෙමි. කවුරු හෝ තාත්තා කෙනෙකුගෙන් දාව, කවුරු හෝ අම්මා කෙනෙකු ප්‍රසූත කළ එම දරුවන් බොහෝ සෙයින් සමාන වූවේය.
“ප්ලීස් අයියේ මගේ ෆොටෝ එක දාන්න එපා. මම හදාගත්තු අම්මයි, තාත්තයි මේ කිසිම දෙයක් දන්නේ නෑ. එයාල මට ගොඩක් ආදරෙයි. එයාලට දුක හිතෙයි”
රංගගේත් මල්ලිගේත් (සමයං) වයස පරතරය අවුරුදු දෙකකි. ‘අරුණ උදයංග’ හෙවත් සමයංට මාස තුනක් පිරෙද්දී ගුරු දෙපළක් ළඟට හැදී වැඩෙන්නට පැමිණියේය. රංගට මේ සිදුවීම්වල කිසිම දෙයක් මතක නැත. නමුත් ඔහුට එක් සිදුවීමක් දැනගන්නට ලැබී ඇත්තේ සමයංගේ අභාවයෙන් පසුවය.
“අයියේ, මල්ලිත් අපි ගැන හොයල තියෙනවා. මීට අවුරුදු දෙකකට කලින් එයා කාර් එකකින් පොළොන්නරුවෙ ඇවිත් අපිව හොයලා. එයා ඇවිත් තියෙන්නේ “පලුගස්ගමන” කියන ගමට. එයා ඇවිත් තියෙන්නේ එයාගෙ පළවෙනි බිරිඳ එක්ක. එයාලා “පලුගස්ගමන” ගෙදරකට ඇවිත් අපි ගැන විස්තර අහලා. ආපු කාර් එකත් ඒ ගෙදර අයට මතකයි. අපරාදේ ඒ ගෙදර ඉඳලා අපේ ගමට “ඇතුමල්පිටියට” තියෙන්නේ කිලෝමීටර් 5යි. අපි එදා හමුවුණා නම් මේ දේවල් ගොඩක් වෙනස් වෙන්න තිබුණා.”
රංග තවමත් සොයන්නේ මල්ලිය. එකම අම්මාගෙන් උපන් දරුවන් තුන්දෙනෙකු ලංකාවේ තැන් තුනක, අම්මලා තුන්දෙනෙකුගේ දරුවන් වෙද්දි ඔවුනොවුන් කවදාවත් හමුනොවූවෝ්ය. රංග පොළොන්නරුවේ, සාමාන්‍ය රැකියාවක් කර ජීවත් වුවත්, ‘සමයං’ගේ ජීවිත කතාව ඊට හාත්පසින් වෙනස් වූවේය. අක්කා විවාහ වී ගෘහණියක් ලෙස කටයුතු කළාය. නමුත් සමයං මිනීමරුවෙක් වූවේය. රංග වසර ගණනාවක් තමන්ගෙන් වෙන් වූ ජීවිත සොයද්දී ‘සමයං’ ජීවිත ගණනාවකට මරණය ළඟා කළේය.
මේ කතාවේ සත්‍යම තොරතුරු දැනගැනීමට රංග තවමත් වෙහෙසෙන්නේය. අක්කා රංගට නිතර කතා කර, මල්ලී ගැන හොයල බලන්න යැයි කියන්නේ මේ තුන්දෙනාගේ තිබෙන ලේ කැක්කුමටය. නමුත් ‘අරුණ උදයංග’ නොහොත් සමයංට, මේ සහෝදර දම්වැලේ අතරමැද පුරුක වෙන්නට දෛවය ඉඩ නොදුන්නේය.

 


සංජක ප්‍රසාද් දොලේවත්ත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: