සමයං පොඩි විජේගේ ඥාතියෙක්

March 7, 2017 | 9:00 am    0   867

සමයං පොඩි විජේගේ ඥාතියෙක්

දින තුනක නිවාඩුවකට පසු උදා වුණ පසුගිය සඳුදා දින වෙනදා තරමටම කාර්යබහුල ය. උදෑසන හත හමාරට ආරම්භ කරන පාසල් ද, දින තුනකට පසුව ආරම්භ කරන කාර්යාල, බැංකු මෙන්ම සිවිල් සමාජයට අවශ්‍ය සියලු ආයතන, දෙපාර්තමේන්තු, අමාත්‍යංශ මේ සියල්ල ඇරඹෙන සඳුදා දින උදා විය. නමුත් කිසිවෙකුත් නො සිතූ හදිසි පුවතකින් නැවතත් රටම කලබල විය. ඒ බන්ධනාගාර බසයකට වෙඩි තබා සමයං ඇතුලු 6 දෙනෙකු මරා දැමූ පුවතත් සමඟ ය.
වෙඩි තැබීමෙන් මිය ගිය අනෙක් අයට වඩා කාගෙත් කතාබහ සමයං ගැන ය.
“ඌ පට්ට කිරෙක් මචං”
“සමයං කවදාවත් එළියට එන්න හිතන් හිටියේ නෑ”

සමයං මියගිය පුවත දැනගත් පසුව වටින් පිටින් බොහෝ අය සමයං ගැන කතා වූයේ එසේ ය. නමුත් සමයං මියදෙන්නට සති කිහිපයකට උඩදී ඔහු ගැන කවුරුවත් නො දත් කරුණක් මිතුරෙකු විසින් මා වෙත හෙළි කළේ ය.
“සමයං, පොළොන්නරුවෙ පොඩි විජේගෙ ඥාතියෙක්. හැබැයි ඒ දරුව හදාගන්නෙ, කඩුවෙල රණාල මහා විද්‍යාලයේ උගන්නපු ගුරුවරියක්. ඒ ගුරුවරියගේ මහත්තයත් ගුරුවරයෙක්”
“මට ඔය තොරතුරු ටික හොයල දෙන්නකෝ, ලස්සන විශේෂාංග ලිපියක් ලියන්න”
“මචං, සමයං ඒ වැඩේට කැමති නෑ. ලිව්වොත් උඹත් එක්කත් පැටලෙයි”
පාතාල නූල්බෝලයේ භයානකකම දන්න නිසාම මම ඒ කතාව නො සොයා, එම නූල්බෝලයේ පැටලීමෙන් වැළකුණෙමි. නමුත්, “උඳුගොඩ සම්පත්ලාගේ අරුණ උදයංග” නොහොත් “රණාල සමයං” ගැන මම සොයන්න ගත්තේ එම තොරතුරේම අතුරු කතාවක් ලෙසිනි.
2017.02.27 කළුතර බන්ධනාගාරයේ සිට කඩුවෙල උසාවිය දක්වා ගෙන එන අවස්ථාවේ දී කළුතරදී හදිසියේම බන්ධනාගාර බස් රථයට එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන්, සමයං නොහොත් අරුණ උදයංග සමඟ තවත් හයදෙනෙකු මරණයට පත් විය. එම සිදුවීමට දින කිහිපයකට උඩදී, සමයං පළිබඳ කරුණු සෙවීමේ උවමනාව නිසාම ජර්මනියේ රැකියාව කරන, පාතාලය පිළිබඳ හසල අත්දැකීම් ඇති කලක් ඒ පිළිබඳව ලිපි සැපයූ මා හිතවත් මාධ්‍යවේදී කෝසල කදුරුවානගෙන් අන්තර්ජාලය හරහා, සමයං පිළිබඳ දන්නා කරුණු මා විමසන ලදි.

“සමයං ද දැන් කඩුවෙල හොල්ලන් ඉන්නේ?”
“පිස්සු ද බං උෟට වැඩිය වැඩ්ඩො ඉන්නවා”
“කෝසල” සමයං පිළිබඳ මා මනසේ ඇඳී තිබූ ඉහළම චිත්‍රය තව ටිකක් පාත් කර තැබුවේ ය.
උඳුගොඩ සම්පත්ලාගේ අරුණ උදයංග, සිප් සතර හැදෑරීම සඳහා පාසල් ගියේත් තමන් හදාවඩාගත් අම්මාත් තාත්තාත් සේවය කළ රණාල මහා විද්‍යාලයටම ය. පාසල් සමයේ සිටම අරුණ උදයංග නාහෙට නාසන දඩබ්බරයෙක් වූවේ ය. නමුත් ඔහු හදා වඩාගත් ගුරු දෙපල ඔහුව යහමඟට ගැනීමට නො ගත් උත්සාහයක් නැත. නමුත් පාප මිතුරු සේවනයේ ප්‍රතිඵලයක් ලෙසින්ම ඔහුගේ ජීවිතය විනාස වෙන්නට වැඩි කාලයක් නො ගියේ ය.

ගංජා පානයටත්, විවිධ මත්ද්‍රව්‍ය පානයටත් හුරු වූ අරුණ උදයංග රණාල ප්‍රදේශයේ රස්තියාදුකාර නොසන්ඩාලයෙක් බවට පත්වූයේ ඉබේම ය.
“අපි දරුවන් දහස් ගාණකට උගන්නල හරි මඟ යවනවා. උඹ අපේ නම්බුවම විනාශ කරනවා”
අරුණ උදයංග හදාවඩා ගන්නා ගුරු දෙපල හැමදාම හැඬ­ කඳුළින් උපදෙස් දෙන්නට විය. නමුත් මෙම ගුරු දෙපලගේ මහන්සියෙන් උපයාගත් මුදල් ද, එම දෙපලට අඹතලේ නගරයේ තිබූ වෙළඳසැල් දෙකක මාසික කුලිය ද අරුණ ලබා ගත්තේ ය. ඒ නිසාම ඔහුට මුදල් ප්‍රශ්නයක් නො තිබුණේ ය. වටපිටාවේ යහළු මිත්‍රාදින්ගෙන් ද අඩුවක් නො වූවේ ය. ඊට අමතරව ගුරු දෙපලට අයත් දේපලක් විකිණීමෙන් ලද ලක්ෂ ගණනක මුදල් නිසාම අරුණ උදයංග රණාලේ පමණක් නොව ඒ අවට වඩාත් ජනප්‍රිය පුද්ගලයෙක් බවට පත් විය. ඔහුගේ නම “සමයං” ලෙස ප්‍රසිද්ධ වෙන්නේත් මේ වකවානුවේ ය. පළමු වරට සමයං බන්ධනාගාරගත වෙන්නේ රණාල ප්‍රදේශයේ තරුණ පිරිසකට පහරදීම හේතුකොටගෙන ය. සමයංට පාතාල ලෝකයේ හතර කොන අහුවෙන්නේ බන්ධනාගාරය තුළදී ය. ඔහු සියලු සම්බන්ධතා, දැන හැඳුනුම්කම් ද ගොඩනඟා ගන්නේ එම බන්ධනාගාරගත වූ කාලය තුළදී ය.

ඔය අතරතුර පිටකොටුව ව්‍යාපාරිකයින් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක, ජීවිත දෙකක් වන්දි ගෙවීමෙන් අහවර තුන්වෙනි මිනීමැරුමේ කොන්ත්‍රාත්තුව, හමුවෙන්නේ සමයංට ය. එය රුපියල් ලක්ෂ 5ක කොන්ත්‍රාත්තුවක් වූ අතර පිටකොටුව මිහිඳු මාවතේදී සමයං විසින් එම කොන්ත්‍රාත්තුව අකුරටම නිම කළේ ය. එයින් පසුව දඹුල්ලට පලා ගිය සමයං වැඩි කාලයක් යන්නට මත්තෙන් නැවත වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවෙකු වන්නේ ය. මේ අතර සමයං බන්ධනාගාරයේ සිටියදී කඩුවෙල තවත් චණ්ඩියෙකු බිහිවෙමින් සිටියේ ය. ඔහු නමින් “සරා” වූවේ ය. සමයංගේ හොඳම ගෝලයෙකු වූ චාමර ‘සරාගේ’ කල්ලිය විසින් ඝාතනය කිරීමත් සමඟම දෙපිල අතර ආරවුල තවත් දුරදිග ගියේ ය. චාමරව ඔවුන් ඝාතනය කරන්නේ තියුණු අවි ආයුධවලින් කපා කොටා ය. මෙම ඝාතනයෙන් පසුව ‘සරා’ ඇතුළු කිහිපදෙනෙකු වැලිකඩ බන්ධනාගාරගත වෙන්නේ වසරක සිරදඬුවමකට ය. අවසානයේ, සමයනුත් සරාත් දෙදෙනාම එකම බන්ධනාගාරයක ය. නමුත් ‘සරා’ ඇතුළේ සිටියදී සමයංට නැවත ඇප ලැබුණේ ය.

“මම චාමාරය මරපු උන්ගෙන් පළිය ගන්නවමයි. සරා කරගත්තෙ ලොකු වරදක්”
සමයං ගතවන සෑම දිනකම තම හොඳම ගෝලයා චාමර මැරූ තරහට, ‘සරා’ගෙන් පළි ගැනීමට නිමිති බලමින් සිටියේ ය. සියලු සැලසුම් ක්‍රියාත්මක කිරීමට සමයං මාන බලමින් සිටියදී ‘සරා’ට ඇප ලැබුණේ ය. දැන් සරාත්, සමයනුත් දෙදෙනාම කඩුවෙල ය. දිනක් පොහෝදිනක ධර්ම දේශනාවක් පැවැත්වීමට ජනප්‍රිය හිමිනමක් ගෙන්වා පිංකමක් සංවිධානය කළේ ‘සරා’ ය. එදින සරාගේ ජීවත්වන අවසන් දින වේ යැයි ඔහු සිහිනෙකදු නො සිතන්නට ඇත. නමුත් සමයං සියලු කටයුතු සූදානම් කර හමාර ය. දෙනෝදාහක් ඉදිරියේ ‘සරාගේ’ ජීවිතය අවසන් වූයේ සමයංගේ ගෝලයා වූ චාමර, කපා කොටා ඝාතනය කිරීමේ වරදට පළිගන්නට ය.
දැන් නැවතත් චණ්ඩියා, ‘සමයං’ ය. කඩුවෙල අවට ව්‍යාපාරිකයින්ගෙන් කප්පං ගැනීම් ද, කුලියට මිනීමැරීම් ද සමයංට කිසි කරදරකාරයෙකු නැතිවම කරගෙන යාමට හැකි විය.

නැවතත් සමයං වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවෙකු වූවේ ය. නමුත් ඔහුගේ කප්පං ගැනීම්, කුලියට මිනීමැරීම් ඒ ආකාරයෙන්ම එළියේ සිදුවිය. මේ අතර සමයංගේ ළඟම මිතුරෙකු වූ දිනේෂ් රුවන් නැමැත්තෙක් කුමක්දෝ හේතුවකට දෙදෙනා අතර අමනාපයක් ඇති කරගත්තේ ය. මේ අමනාපය කොයිතරම් දුරදිග ගියා ද කියතොත් අවසානයේ රණාල ප්‍රදේශයේ ආපනශාලාවක දිනේෂ් ආහාර ගනිමින් සිටියදී සමයංගේ ගෝල පිරිසක් පැමිණ කපා කොටා ඝාතනය කර දැමුවේ ය.
එයින් පසුව නැවතත් වැලිකඩ බන්ධනාගාරයේ ආධිපත්‍ය පතුරන්නේ සමයං ය. හෙරොයින් වෙළ¼දාමත්, කප්පං ගැනීමත් නිසාම සමයං බන්ධනාගාරය ඇතුළේ ජනප්‍රියම පුද්ගලයා විය. ඔහුට බන්ධනාගාරය තුළ වෙනම රැඳවියන් පිරිසක් ගෝලබාලයන් වූවේ ය. සමහරක් ජේලර්වරු සමයංගේ සුහද, කීකරු බලු කුක්කන් විය. මේ සියල්ල සිදුවෙද්දිත්, තවත් චණ්ඩින් කොළඹ මුල්කොටගත් සමාජ ක්‍රමයේ බිහිවෙමින් සිටියේ ය.

“එදිරිසූරියගේ චමින්ද සඳමාල් එදිරිසූරිය” නොහොත් “චමී” වැලිකඩ බන්ධනාගාරයට එන්නේ වාහන කොල්ලකෑම් ඇතුළු අපරාධ ගණනාවක වැරදිකරු වීමෙන් පසුව ය. නමුත් ‘චමීට’ සමයංගේ ක්‍රියා ද, සමයංට චමීගේ ක්‍රියා ද නො රිස්සුවේ ය. බොහෝවිට සමයං තමාගේ ගෝලබාලයින් යොදවා ‘චමීව’ පීඩාවට ලක් කළේ ය. සමහරවිට ආහාරවේල පවා ඔහු ‘චමීට’ ලැබෙන එක මග හැරුවේ ය.
“උඹ මෙතන චණ්ඩිකම් දාන්න එපා. මෙතන ඉන්න පුළුවන් එක චණ්ඩියෙකුටයි. වැඩිය දඟලන්න ආවොත් උඹව බාවනවා”
සමයං ප්‍රසිද්ධියෙම චමීට තර්ජනය කළේ ය. ඒ නිසාම සමයං කෙරෙහි ද චමීට තිබුණේ දැඩි වෛරයකි.
“මම කවදහරි තෝව බාවනවා”

චමීට සමයංගේ පීඩන විඳදරා ගැනීමට නො හැකිම තැන හිතින් ශාප කළේ ය.
චමීට ඇප ලැබෙන්නේ ඒ අතරතුරේ ය. චමී වැලිකඩ බන්ධනාගාරයෙන් පිටවෙන්නේ ‘සමයංගෙන්’ පළිගැනීමේ දැඩි චේතනාවකිනි.
ඔහු සමයංගේ ජීවිතයෙන් පළිගැනීමට සැලසුම් කරන්නේ, සමයං බන්ධනාගාරයේ සිට උසාවි ගෙන එන දිනයක් බලාගෙන ය. ඔහුට ‘මයිකේ‍රා්’ වර්ගයේ පිස්තෝලයක් ලැබෙන්නේ ද සමයංගේ තවත් තරහකරුවෙකුගෙනි.
ඔහු සියල්ල සැලසුම් කළේ ය. මයිකේ‍රා් වර්ගයේ පිස්තෝලය සපත්තුවේ සඟවා සිටි ‘චමී’ නොහොත් චමින්ද සඳමාල් දකුණු අත ද වෙලුම් පටියකින් ඔතාගෙන ආබාධිතයෙකු මෙන්, කඩුවෙල අධිකරණයට පැමිණියේ සමයංගේ නඩු දිනකදී ය. ඒ 2015 වසරේදී ය. ඔහු බලා සිටි කුරුමාණම උසාවි භූමියට පැමිණියේ ය. ඒ ‘සමයං’ ය. තම සපත්තුවේ සඟවා සිටි පිස්තෝලයෙන් සමයංට වෙඩි තැබූවත්, දෙවැනි වෙඩිල්ල පත්තු නො වීය. සමයං අනූනවයෙන් ජීවිතය එදින බේරාගත්තේ ය.

නැවතත් පුරුදු පරිදිම ‘චමී’ අත්අඩංගුවට පත් විය. සමයංගේ ජීවිතය අනූ නවයෙන් බේරුණි.
මේ 2017 වසරයි. ඉතිහාසය එසේ ගෙවුණ නමුත් වර්තමානය පිළිබඳ කාහටවත් කුමක් සිදුවේ දැයි සිතා ගැනීමට නො හැකි විය. සමයංලා ද, චමීලා ද, සරාලා ද, ස්වභාවදහමෙන් මිදුණේ එසේ ය. නමුත් පසුගිය සඳුදා දින 2017.02.27 උදෑසන ලෙයට ලෙය පමණක් විශ්වාස කළ, අස්වාභාවික මිනිසුන්ට නැවත වතාවක් මරණය රැගෙන ආවේ ය. එදින මරණයට පත්වූවන් අතරින් ‘සමයං’ සුවිශේෂී වූවේ ය. ඒ ඔහුගේ ඉතිහාසය නිසා ය. නමුත් මේ ජීවිත හානි කතන්දරේ ‘සමයං’ යනු එක් අයෙක් පමණි.
තවදුරටත් නූල්බෝලය දිග හැරෙමින් පවතී.

සංජක ප්‍රසාද් ‍ෙදාලේවත්ත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: