සම තැන ඉල්ලන්න එපා

March 14, 2017 | 1:00 pm    0   261

සම තැන ඉල්ලන්න එපා

කාන්තා දිනය පහුවුණා. ලොකු ලොකු කතා, පාගමන්, වැඩසටහන් හරි හරියට දකින්න තිබුණා. ඒ අයට ඊළඟ වැඩේට ලෑස්ති වෙන්න ආයිත් තව අවුරුද්දක් තියෙනවා. මේ set ඔක්කෝම එළියට බහින්නේ ඒ දවසට විතරයි. දේශපාලන පක්‍ෂවල Auntyලා ගමේ කට්ටිය බස් එකේ දාගෙන ඇවිල්ලා කොළඹ වටේ රවුමක් ගහලා ආයිත් හැන්දෑවට ගමට ගිහිල්ලා ඇරලවනවා. එහෙම තමයි ඒ අය කාන්තා දිනය සමරන්නේ.

කාන්තා අයිතීන් කියලා එකක් නෑ. තියෙන්නේ මානව අයිතීන් කියලා එකක්. කාන්තාවෝ සංවිධාන හදාගෙන වෙනම ම ඒ ගොල්ලන්ගේ අයිතීන් ඉල්ලන්න ගියාම ඒ අය නිකම්ම දෙවැනි තැනට වැටෙනවා. ඒ නිසා ඉල්ලනවා කියන්නේම තමන්ට ඒ දේ නෑ කියන එකයි. ලංකාව වගේ රටක කාන්තාවට රටේ ඉහලම තැනට එන්න පුළුවං. මේ රටේ කාන්තාවෝ රටේ ජනාධිපති වෙලා තියෙනවා, ලෝකෙම පළමු අගමැතිණි වෙලා තියෙනවා, අගවිනිසුරුවරිය වෙලා තියෙනවා. ඒ හින්දා ඉල්ල ඉල්ල ඉන්න එපා එතනට ළඟාවෙන්න.

ස්ත්‍රියට එල්ලවන ගෘහස්ත ප්‍රචණ්ඩත්වය වගේ දේවල් තියෙනවා. ඒ ප්‍රශ්නවල මූලිකම හේතුව නූගත්කම. ස්වාමියා බිරිඳට පහරදෙන්නේ ගෙදර තියෙන පුංචි පුංචි ප්‍රශ්නවලට. එහෙම වෙන්නේ ගොඩක් දුරට ඔහු නූගත් නිසා. අපි හැමෝම කතා කරන්නේ ස්ත්‍රියට එරෙහි ප්‍රචණ්ඩත්වය ගැන විතරයි. හැබැයි ඒ හා සමානවම පුරුෂයාත් ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට අහුවෙනවා. ඒක අපි කවුරුත් දන්න දෙයක්. ඒත් ඒ ගැන කතා කරන්නෑ. ලංකාවේ කොච්චර පිරිමි ඉන්නවද මාසෙකට දවසක්වත් යාළුවොත් එක්ක එළියට ගිහිල්ලා, අඩියක් ගහන්න බැරුව ලතවෙන ඒ ප්‍රචණ්ඩත්වය ගැන කවුරුත් කතා කරන්නේ නෑ.

ලංකාවේ ස්ත්‍රිය ගැන කතා කරනකොට අනිවාර්්‍යයෙන්ම කතා කරන්න ඕන දෙයක් තියෙනවා. ලාංකීය ස්ත්‍රීන්ගෙන් අති බහුතරයක් වැටුප් ලබන රැකියාවන් කරන්නේ නෑ. ඒත් ඔවුන් ගෘහ ආශි්‍රතව කරන වැඩකටයුතුවලට හෙලන ශ්‍රමය ආර්ථික වශයෙන් ගණනය කරන්නේ නෑ. ඒ ශ්‍රමයේ වටිනාකම දළ දේශීය නිෂ්පාදනයට ගණන් ගන්නේ නෑ. කොටින්ම ඒ ශ්‍රමයට වටිනාකමක් නෑ. ඒ ශ්‍රමයේ ආවස්ථික පිරිවැය ගැන කතා කරන්නේ නෑ.

ස්ත්‍රිය කියන්නේ කිසිම වෙලාවක පිරියාට දෙවෙනි වෙන කෙනෙක් නෙමෙයි. ස්ත්‍රියක් පිරිමියාත් සමානත් නෑ අසමානත් නෑ. කාසිය සම්පූර්ණ වෙන්නේ එකට දෙපැත්තක් තියෙන හින්දා. එක පැත්තක් විතරක් තියෙන කාසි නෑ. ලෝකය පූර්ණත්වයට පත් වෙන්නේ දෙදෙනාගේම එකතුවෙන්.

ස්ත්‍රියගේ දරාගැනීමේ ශක්තිය ගත්තොත් පිරිමියාට වඩා ඉහළ තැනකයි ඇය ඉන්නේ. ඇයට තියෙන ශක්තීන් පිරිමියාට තියෙන ශක්තීන්වලට වඩා වෙනස්. දරුවෙක් උපදිද්දී අෑ විඳින්නේ ලෝකයේ තියෙන විශාලම වේදනාව. ඇගේ ඉවසීමත් එහෙමම තමයි. ඇය දවස පුරාම දරුවත් එක්ක ගත කරනවා. හැබැයි පිරිමියෙකුට දරුවෙක් එක්ක පැයක් ඉන්න බෑ. ඇයගේ සමහර ශක්තීන් පිරිමින්ට වඩා අඩුයි. ඒත් ඇයට තවත් පිරිමින්ට ළඟා වෙන්න බැරි තරම් ශක්තීන් තියෙනවා.

ලෝකයේ පොත් ලියලා තියෙන්නේ “මහා පුරුෂයෙකුට බිරිඳක්ව” කියලා. හැබැයි ඒක කියවන කොටහිතෙන්නේ ඒ පොතේ නම “මහා බිරිඳකට පුරුෂයෙක්ව” කියලා වෙනස් වුණා නම් හොඳයි කියලා.

අපි සටන් කරන්න ඕන ස්ත්‍රී අයිතිවාසිකම්, පුරුෂ අයිතිවාසිකම්, ළමා අයිතිවාසිකම් කියලා පුංචි පුංචි තැන්වලින් නෙමෙයි. මේ ඔක්කොම එකට එකතු කරලා පවතින සමාජ ක්‍රමය තුළ අහිමි වන මානව අයිතීන් දිනා ගන්න එක සටනකට ඔක්කොම එකතු වෙන්න ඕන. ඒ වගේ පුළුල් තැනක් ගොඩනගන්න පුළුවං වෙච්ච දවසට අපි හැමෝගෙම අයිතිය හම්බවෙනවා. ඒ හින්දා ස්ත්‍රීයගේ සම අයිතිය නෙවෙයි හැමෝගෙම පොදු අයිතිය වෙනුවෙන් සටන් කරමු.

දුමින්ද බොරළුගොඩ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: