සයිටම් ජනසතු කරනු

February 6, 2017 | 10:11 am    1   743

සයිටම් ජනසතු කරනු

ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ ස්වර්ණමය යුගය ලෙස සැලකෙන්නේ 1931_1934 අතර කාලයේ ය. ඒ මෙරට අධ්‍යාපන රටාව තුළ නිදහස් අධ්‍යාපනයට මං පෑදෙන්නේ මෙකල වන නිසා ය. නිදහස් අධ්‍යාපනයක් මේ රට තුළ බිහිවීමට ප්‍රභලම හේතුව වූයේ එකල අධ්‍යාපන ඇමති ලෙස ක්‍රියා කළ සී.ඩබ්ලිව්.ඩබ්ලිව් කන්නන්ගර මහතාගේ ක්‍රියාකලාපය හේතු කොටගෙන බව අප සැවොම දන්නෙමු. කන්නන්ගරට නිදහස් අධ්‍යාපනය හඳුන්වාදීමට හේතු කාරණා බොහෝමයක් තිබුණි. එතෙක් මුදල් හිමි මහමැදුරුවලට පමණක් සීමා වී තිබූ අධ්‍යාපනය ලැබීමේ අයිතිය දුගී පැල්පත් දක්වා විසුරුවාලමින් අධ්‍යාපනයට පැවති සියලු සීමා බිඳදැමීම එහි එක් අරමුණකි.

එතැන් පටන් අද දක්වාම නිදහස් අධ්‍යාපනයේ පහස ලබා ලෝකය ජයගත් ලාංකීය දුවා දරුවන් ප්‍රමාණය ගණනය කිරීමට නො හැකි ය. කන්නන්ගරගේ නිදහස් අධ්‍යාපනයේ වැදගත්ම දෙය වන්නේ 1946 දී හඳුන්වා දුන් අධ්‍යාපනයේ සම අවස්ථා ලබාදීම හා විශ්වවිද්‍යාලයට යන තෙක් නොමිලයේ අධ්‍යාපනය ලබාදීමේ යෝජනාවයි. ඒ අනුව බලන කල කන්නන්ගරගේ නිදහස් අධ්‍යාපනයේ අරමුණු අතර සැමට අධ්‍යාපනය ලබන්නට සමාන අවස්ථාවක් ලබාදීම ද පැවතිණි. ඒ අනුව අද දක්වාම විශ්වවිද්‍යාලයට යන තෙක් මෙරට පුරවැසිභාවය හිමි සෑම දරුවෙකුටම රජය මඟින් නොමිලේ අධ්‍යාපනය ලබාදුනි. සැමට අධ්‍යාපනය ලබන්නට අයිතියක් ඇති බව කීව ද එය නොමිලේ උසස් පෙළ දක්වා ලබාදුන්න ද එහි ගැටළුවක් ඇති විණි. ඒ විශ්වවිද්‍යාල ප්‍රවේශය තුළදී ය. මන්ද මෙරට අධ්‍යාපනික රටාව තුළ විශ්වවිද්‍යාලයකට ඇතුළත් විය හැක්කේ උසස් පෙළ හදාරණ සිසුන්ගෙන් විසිදෙදාහක් වැනි සුළු පිරිසකට පමණක් වීම ය. ඒ අනුව උසස් පෙළත් සමග මෙරට අධ්‍යාපනය ඇත්තේ ඉතාම තරගකාරී තැනක ය.

මේ තරගකාරීත්වය තුළ වැඩි පිරිසක් කලා හා වාණිජ උපාධි සදහා විශ්වවිද්‍යාල වරම් ලබද්දී විද්‍යා විශයන් උසස් පෙළට හදාරා වෛද්‍ය පීඨයට යන්නට සුදුසුකම් ලබන්නේ ඉතාම සුළු පිරිසකි. ඒ නිසාම මෙරටදී අනෙක් සෑම උපාධියකටම වඩා වෛද්‍ය උපාධියට ඇත්තේ විශාල පිළිගැනීමකි. ඒ නිසාම වෛද්‍ය වෘත්තියට ද මෙරට තුළ ඒ පිළිගැනීමම හිමි වේ. එහෙයින් තම දුවා දරුවන් කෙසේ හෝ වෛද්‍යවරයෙක් කිරීමට ලංකාවේ බොහෝ මව්පියවරු තුළ ඇත්තේ සිහිනයකි. කුඩා කල පාසලේදී තමා අනාගතයේ කරන්නට කැමති වෘත්තිය විමසන විට බොහෝදෙනෙකු ලබාදෙන පිළිතුර වන්නේ ද වෛද්‍යවරයෙකු වීමට කැමති බව ය. ඒ නිසාම වෛද්‍යවරයෙකු වීම ලංකාවේ ජීවත් වන වැඩි දරු පිරිසකගේ එකම බලාපොරොත්තුව බව පෙනේ. එහෙත් වෛද්‍යවරයෙකු වීම ලේසි පහසු කටයුත්තක් නොව ඉතාම දුශ්කර ක්‍රියාවලියකි. ඒ සඳහා බුදුන් බුදුවීමට පිරූ පාරමිතා තරම් නො වූව ද විශාල පාරමිතාවන් රැසක් පිරිය යුතු ය. මුලින්ම උසස් පෙළින් කඩඉම් ලකුණ පසුකොට විශ්වවිද්‍යාලයට ඇතුළු විය යුතු ය. ඒ සමඟම වසර 06ක විශ්වවිද්‍යාල කාලසීමාව තුළ ඉතා වෙහෙසකර සායනික පුහුණු මෙන්ම දේශනයන්ට ද සහභාගී විය යුතු ය. රැයක් දහවලක් නො බලා මස් දිය වී හම ඇටකටුවට ඇලෙන තෙක් දිවා රෑ නො බලා වෙහෙසී පාඩම් කොට විශ්වවිද්‍යාල කඩඉම් විභාගවලින් සමත් විය යුතු ය. එතනින් ද නැවතීමක් නැත. යම් හෙයකින් මේ විභාග අසමත් වූවහොත් ඒවා සමත් වෙන තුරු නැවත නැවත විභාග කළ යුතු ය. ඉන් කෙසේ හෝ ජයගත්ත ද වෛද්‍යවරයෙකු වීමට පෙර ඉතා දුෂ්කර සීමාවාසික කාලයක් ද සම්පූර්ණ කළ යුතු ය. මේ සියල්ල අවසානයේ පූර්ණ වෛද්‍යවරයෙකු බිහිවෙන අතර වෛද්‍යවරයෙකු වීමට ලෙඩ්ඩුන්ගේ සිරුරු අතගා බලා ලෙඩ රෝග හඳුනා ගැනීමෙන් ඇති කරගන්නා දැනුම අත්‍යවශ්‍ය ය. ඒ නිසාම ඒ සඳහා පුහුණු වීමට අඩු තරමේ ශීක්ෂණ රෝහලක් හෝ පැවතිය යුතු ය. සැබවින්ම වෛද්‍යවරුන් රටට අවශ්‍ය වන්නේ රටේ ජනතාවගේ සෞඛ්‍ය ගැටළු විසඳමින් හොඳ සෞඛ්‍ය සේවාවක් ජනතාවට ලබාදීම සඳහා මිස වෛද්‍යවරයෙකු වීමට කවරෙකුගේ හෝ සිත් තුළ පවතින සිහින සැබෑ කිරීමට නොව. සයිටම්හි ඉගෙනුම ලබන සිසුන් හා රජයේ වෛද්‍ය පීඨයක අධ්‍යාපනය හදාරා වෛද්‍යවරයෙකු බවට පත්වන සිසුන් අතර වෙනස ද එය ය. මේ මොහොතේ සයිටම්හී හොඳ නරක හෝ ජනවාරී 31 ලබාදුන් නඩු තීන්දුවේ හොඳ නරක ගැන කියන්නට හෝ ඇපල් අපි වෙහෙස වන්නේ නැත. මන්ද අධිකරණ තීරණය ගැන ගැටළු ඇතත් මෙරට උත්තරීතර අධිකරණය ප්‍රශ්න කිරීමට අපට අයිතියක් නැතිකම හා, අධිකරණ තීරණය විවේචනය කොට අධිකරණයට අපහාස කිරීමට අපට අවශ්‍ය නැති නිසා ය. සයිටම් වෙනුවෙන් අරගල කිරීම නිසාම මේ මොහොතේ ද දගගෙහි දඬුවම් ලබන ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරයේ නායකත්වය ගැන කතා කරන්නට වෙහෙසෙන්නේ ද නැත. මන්ද මේ ගැන කතා කිරීමට සුදුසු මොහොත පැමිණෙන තෙක් සිටිය යුතු නිසා ය. සයිටම් වෙනුවෙන් කඩේ යන දේශපාලකයන් ගැන කතා කිරීමට වෙහෙසෙන්නේ ද නැත. මන්ද එය කතා කිරීමම ඉතා වෙහෙසකර ජුගුප්සාජනක ක්‍රියාවක් වන නිසා ය. සයිටම් වෙනුවෙන් මුදලට විකිනෙන මාධ්‍ය ගැන කතා කරන්නට වෙහෙසෙන්නේ නැත. මන්ද එය ඉතා පිළිකුල් සහගත නිසා ය.

අප තාරුණ්‍යයේ ජාතික පුවත්පත වෙමු. ඒ නිසාම එකී තාරුණ්‍යය ගැන කතා කිරීමට අපට අයිතියක් ඇත. සයිටම් මේ මොහොතේ තාරුණ්‍යය දැවෙන ප්‍රශ්නය වී ඇත්තේ එහි ප්‍රමිතිය හා එහි උපාධියක් හිමි කරගැනීමට වැය කළ යුතු අතිවිශාල මුදල නිසා ය. මේ නිසාම මේ මොහොතේ නිදහස් අධ්‍යාපනයේ අර්බුධයක් ඇතැයි අපි ද දකින්නෙමු. පාලකයන් කළ යුත්තේ ඒ අර්බුධය ඇති තැනට පැළැස්තර අලවීම හෝ ඊනියා ධනපති අභිලාෂයන් මුදුන් පමුණවාලීමට කඩේ යාම නොව ප්‍රතිඵලය භයානක වීමට පෙර අර්බුධයට විසඳුම් සෙවීම ය. මේ මොහොතේ සයිටම්හි උපාධියක් හිමි කර ගැනීමට විශාල මුදලක් වැය කොට අසාධරණයක් වූ සිසුන්ට සාධාරනය ඉටුකොට, මෙතැන් පටන් සයිටම් නිසා මෙවැනි අර්බුධයක් ඇති නො වන්නට එය ජනසතු කරන්නේ නම් පාලකයන් ගැන ජනතාව මීට වඩා විශ්වාසයක් ඇති කරගන්නා බව නො අනුමාන ය.

චමෝදි කලුආරච්චි

One thought on "සයිටම් ජනසතු කරනු"

  1. මනෝරම says:

    NICE!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: