සයිටම් ට එරෙහිවූවාට ලැබුණු කඳුළු ගෑස් ප්‍රහාර facebook කලඹයි

May 18, 2017 | 7:00 am    0   219

සයිටම් ට එරෙහිවූවාට ලැබුණු කඳුළු ගෑස් ප්‍රහාර facebook කලඹයි

මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කිරීම ඇතුළු තවත් කරුණු 15 ක් මුල් කර ගනිමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය හා වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව අධිකරණ නියෝග නොතකමින් ඊයේ(17) කොටුව දුම්රියපොළ ඉදිරිපිටින් විරෝධතා පාගමන විසුරුවා හැරීමට පොලිසිය හා කැරළි මර්දන ඒකකය විසින් තුන්වතාවක්ම ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරනු ලැබීය.

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව ආසන්නයේ යොදා තිබුණු මාර්ග බාධක ඉවත් කරමින් ඇතුල්වීමට උත්සහ කිරීමේදීත් කොටුව ප්‍ර දේශයේදීත් මෙම කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර පාලනය කිරීමට සිදුවිය.
පේරාදෙණිය, කැලණිය, රුහුණ, ශ්‍රී ජයවර්ධනපුර,සබරගමුව, වයඹ, කොළඹ, සෞන්දර්ය කලා, සහ අග්නිදිග ඇතුළු විශ්වවිද්‍යාලවල සිසුන් 10000 කට අධික සංඛ්‍යාවක් මෙම පාගමනට එක්ව සිටියහ.
කුරුඳුවත්ත පොලිසිය විසින් අධිකරණයෙන් කරන ලද ඉල්ලීමක් සළකා බලමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඊයේ(17) සහ අද 18 දින වල වෝඩ් පෙදෙස, ජාතික රෝහල සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට ප්‍රදේශවල මහජන සාමය කඩවන පරිදි පෙළපාලි හා උද්ඝෝෂණ පැවැත්වීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කර තිබිණි.
කොළඹ කොටුවේ සිට පැමිණි සයිටම් විරෝධීන් වන අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ඇතුළු පිරිස පුරහල දෙසට පැමිණීමත් සමගින් පුරහල ඉදිරිපිට මාර්ගය මාර්ග බාධක යොදා වසා දමන ලදි.
පුරහල ඉදිරිපිට පොලිස් කැරලි මර්දන රථ නවතා ඇති අතර කොළඹ නියෝජ්‍ය පොලිස්පතිවරයා විරෝධතාකරුවන්ට උසාවි නියෝගයක් පෙන්වූවේය.
එක් මංතීරුවක කැරලි මර්දන රථ නවතා තිබූ අතර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පෙන්වූ උසාවි නියෝගය නොසලකා කැරලි මර්දන රථ මගහරිමින් පුරහල දෙසට ගමන් කිරීමට විරෝධතා කරුවෝ උත්සාහ ගත්හ.
ඉන්පසු පොලිසිය කඳුලු ගෑස් ප්‍රහාර එල්ල කළ අතර විරෝධතාකරුවෝ විහාර මහා දේවී උද්‍යානය තුළට පැනගත්හ.
පොලිසිය මේ වන විට විහාර මහා දේවි උද්‍යානය තුළටද කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරමින් සිටී. උද්‍යානයේ සිටි සාමාන්‍ය ජනතාවද කඳුළු ගෑස් වැදීමෙන් අපහසුතාවට පත්ව සිටිති.
විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව දෙසට යන මාර්ගය පුරහල ඉදිරිපිටින් අවහිර කරමින් පොලිසිහ හා පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවා ඇත.
පොලිසිය විහාර මහා දේවි උද්‍යානයට වට කරමින් සිටීයේය.
නෙළුම් පොකුණ අසලින් නව නගර ශාලාව දෙසට ගමන් කිරීමට විරෝධතාකරුවන් උත්සහ කළ අතර පොලිසිය නෙළුම් පොකුණ ඉදිරිපිටදී කඳුළු ගෑස් එල්ල කළේය.
විහාර මහා දේවි උද්‍යානය තුළටම පැමිණ පොලිසිය කඳුළු ගෑස් එල්ල කළ අයුරු දක්නට ලැබිණි. නෙළුම් පොකුණ අසල පාර හරස් කරමින් සිසූහු විරෝධතාවයේ නිරත වූහ.පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාර නැවැත්වූ අතර පොලිසිය සීරුවෙන් සිටීයේය.
නෙළුම් පොකුණ ඉදිරිපිට දී පොලිසිය තුන් වැනි වරටත් විරෝධතාකරුවන්ට කඳුළු ගෑස් එල්ල කළේය.එවාරයේදිද විහාර මහා දේවි උද්‍යානය තුළට කඳුළු ගෑස් එල්ල කරනු අයුරු දක්නට ලැබුණේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: