ස්වර්ණා ය – සිනමාවේ ගැහැණිය

January 23, 2017 | 11:11 am    0   603

ඕ ස්වර්ණා මල්ලවාරච්චි ය. දශක හයක පමණ කාලයක් (1967-2016) සත් සමුදුරේ සිට ඇගේ ඇස අග දක්වා චිත්‍රපට හතලිහකට අඩු තිහකට වැඩි නිර්මාණ සංඛ්‍යාවකදී තම රංගනයෙන් ප්‍රේක්ෂක ආදරය දිනාගත් එතෙර මෙතෙර සිනමා හා කලා විචාරක සම්භාවනාවට පාත්‍ර වූ සැබෑ ගැහැනිය ස්වර්ණා ය. ඈ රඟපෑ බොහෝ චිත්‍රපට අතරින් තෝරාගත් ඇගේ රංගන පෙළහර, දැකගත හැකි හරස්කඩක් සේ සැලකෙන චිත්‍රපට දහයකින් සැදී චිත්‍රපට උළෙලක් අවසන, ස්වර්ණා මල්ලවාරච්චි පනස් වසරක සිනමා අභිමානය _ උපහාර උළෙල පැවැත්වීම ස්වර්ණාගේ සිනමා රංගන චාරිකාව දෙස අතීතාවර්ජනයක යෙදීමට මා පෙළඹ වූ මූලික හේතුව වේ. 22 වන ඉරිදාවෙන් ඇරැඹෙන ස්වර්ණාගේ රංගන ප්‍රාතිහාර්යය අද පරපුරට මෙන්ම පෙර පරපුරට ද දැක ගැනීමේ දුලබ අවස්ථාවට ඇතුළත් වන සිනමා නිර්මාණ වන්නේ බවදුක, බවකර්ම, සත්සමුදුර, සාගර ජලය මදි හැඬුවා ඔබ හන්දා, දඩයම, අනන්ත රාත්‍රිය, සුද්දිලාගේ කතාව, කැඩපතක ඡායා, හංසවිලක්, චන්න කින්නරී ආදී චිත්‍රපට කිහිපයක් පමණි. මෙම චිත්‍රපට සියල්ල නිසැක වශයෙන්ම හැත්තෑ වසරට පා තබන ශ්‍රී  ලාංකේය සිනමා ඉතිහාසයේ විශිෂ්ටතම නිර්මාණ පොකුරකි. පෙර පරපුරේ ප්‍රවීණ අධ්‍යක්ෂවරුන් වන ආචාර්ය සිරි ගුණසිංහ, වසන්ත ඔබේසේකර, ධර්මසිරි බණ්ඩාරනායක, සුමිත්‍රා පීරිස් වැනි දැවැන්ත චරිත ද නව පරපුර නියෝජනය කරමින් මෙරට සිනමාව ජාත්‍යන්තරයට රැගෙන ගිය සිනමාකරුවන් වන ප්‍රසන්න විතානගේ හා අශෝක හඳගම ද ස්වර්ණාගේ රංගනය චිත්‍රපට මාධ්‍යය මඟින් ප්‍රක්ෂකයන්ට ළං කිරීමේහිලා දායකත්වය පළ කළ විශිෂ්ටයන් වේ. නළුවකු හෝ නිළියකුගේ රංගන කෞෂල්‍යය තම නිර්මාණයකට උපරිම ලෙස උකහා ගැනීමේ ව්‍යායාමයකදී අධ්‍යක්ෂක භූමිකාව කෙතරම් බලගතු ද යන්න මෙකී අධ්‍යක්ෂවරුන් ස්වර්ණා මල්ලවාරච්චි නම් සිනමා තාරකාවක් නොවූ සැබෑ ගැහැනිය, නිළිය ප්‍රක්ෂකයන් හමුවේ ප්‍රතිනිර්මාණය කොට ඇති විලාසය තහවුරු කරයි.

ස්වර්ණා තම පාසල් වියේදී සාහිත්‍යයට ලැදි යුවතියක් වූවා ය. සිරි ගුණසිංහගේ හෙවනැල්ල වැනි නවකතාවක් කියවීමෙන් හෝ ඔහුගේ කාව්‍ය සංග්‍රහයක් කියවීමෙන් මඩනා ලද ආසා ඇත්තී, කෙදිනක හෝ එවැනි යුග පුරුෂයකු හමුවී කතාබහ කිරීමේ සිහිනයක ජීවත්වන්නී ය. ඇගේ සිහිනය සැබෑ වන්නේ 1966 වර්ෂයේ දවසක පුවත්පතක පළ වී තිබූ දැන්වීමක් දැකීමෙන් පසුව ය. චිත්‍රපටයක රඟපෑම සඳහා නවක නිළියක් අවශ්‍ය බවත් චිත්‍රපටය ආචාර්ය සිරි ගුණසිංහගේ බවත් දැනගත් ස්වර්ණා තම මිතුරියකගේ මවකගෙන් ඉල්ලා ගත් සාරියක් ද පටලවා ගෙන, මිතුරියගේ මව ද සමඟ දෙමාපියන්ට හොරෙන් වෝඩ් පෙදෙසේ ලිපිනයකට යන්නී සිරි ගුණසිංහ නම් වූ මහා සාහිත්‍යකරුවා දැක ඇඳින ගැනීමේ අටියෙනි. සම්මුඛ පරීක්ෂණයට පැමිණ සිටි රූමත් ලලනාවන් දුටු ස්වර්ණතැති ගත්තා ය. නොයෙක් විලාසිතාවන්ගෙන් හා හැඩවැඩ වීමෙන් සැරසී සිටි ළඳුන් අතරේ මුහුණේ වත්සුණු හෝ දෙතොල් ආලේප ගල්වා නො සිටි ස්වර්ණා සම්මුඛ පරීක්ෂණයේ දී ආචාර්ය සිරි ගුණසිංහට මෙසේ පිළිතුරු දෙන්නී ය. ප්‍රශ්නය ආචාර්ය ගුණසිංහගේ ය. “ඔබ තාම පාසල් යන ශිෂ්‍යාවක්, ඇයි නිළියක් වෙන්න හිතුවෙ..?” මේ ස්වර්ණාගේ පිළිතුරයි. “නෑ මට නිළියක් වෙන්න ඕන කමක් නෑ. මට ඕන වුණේ ඔබව දකින්න. හමුවෙන්න, කතාබහ කරන්න…” ස්වර්ණා ආචාර්ය සිරි ගුණසිංහගේ සත් සමුදුරෙහි ප්‍රධාන නිළි භූමිකාවට තෝරා ගැනෙන්නේ ඉන්පසුවය. වේදිකාවේ විශිෂ්ට රංගධරයන් වූ සිරිල් වික්‍රමගේ, එඩ්මන්ඩ් විජේසිංහ (මනමේ ප්‍රථම වැදි රජු) හා දෙවනක හාමිනේ වැනි නළු නිළියන් සමඟ තම ප්‍රථම රංගනයෙන්ම ප්‍රේක්ෂක ආදරය දිනාගත් ස්වර්ණා සත්සමුදුරෙහි රඟපෑ චරිතයට හාත්පසින්ම වෙනස් වූ සරසවි මානවිකාවකගේ චරිතයට එක්වන්නී, සුගතපාල සෙනරත් යාපාගේ හන්තානේ කතාව චිත්‍රපටයෙනි. ස්වර්ණාගේ නිසඟ රංගන පෞරුෂය, වඩාත් ඔප් නැංවෙන්නෙ, ප්‍රතිභාන්විත තරුණ හා ප්‍රවීණ කලාකරුවන්ගේ අධ්‍යක්ෂණයෙනි. මහගම සේකර කලාකරුවකු ලෙස ප්‍රවීණයෙකු වුව ද සිනමා අධ්‍යක්ෂවරයෙකු ලෙස තම ප්‍රථම හා එකම චිත්‍රපටය තුන්මං හන්දිය සඳහා ස්වර්ණා තෝරා ගන්නේ ය. නිම් වළල්ල ද රංජිත් ලාල්ගේ ප්‍රථම චිත්‍රපටයයි. ඉන්පසු 1974 ධර්මසේන පරතිරාජගේ අහස් ගව්වෙහි ස්වර්ණා යළි යෞවනියකගේ භූමිකාවට එක්වන්නී ය. අහස් ගව්වෙහි රඟපෑම් හන්තාන කතාවේ මානවිකාවගේ චරිතයෙහි දිගුවක් වී දැයි සිතේ. ඡවි වර්ණය අක් බඹරු කෙහෙරැළි, පිරුණු අඟ පසඟ ආදී වු එදවස නිළි තාරකාවක් වීමට අවශ්‍ය වූ කිසිදු සුදුසුකමකින් තොර වූ කෙට්ටු කෙසෙඟ, කෙල්ලක්, ගැහැනියක් 1980 දී ධර්මසිරි බණ්ඩාරායකගේ හංසවිලක්හි ‘ඩල්සි’ ගේ චරිතය තුළ ජීවත්වන්නී ඇගේ රංගන චාරිකාවේ නව මඟකට පිවිසෙමිනි. විවාහ සංස්ථාව තුළ අසම්මත ප්‍රේමයකට මැදි වන බිරිඳකගේ චර්යාවන් තම අභිනය කටහඬ භාවිත කරමින් ප්‍රතිනිර්මාණය කළයුරු ප්‍රේක්ෂක මතකයේ වේ. විවාහක සැමියා අසම්මත ප්‍රේමයේ හිමිකරුවා, නීතියේ මුරබල්ලන්, සමාජය ආදී වූ චරිත හා අවස්ථා අතර දෝලනය වූ චරිතයක සංකීර්ණත්වය ඕ හොඳින් වටහා ගත්තී ය. චරිතාංග නිළියක සේ ස්වර්ණා තම රංගන චාරිකාවට අවතීර්ණ වන්නී හංස විලක් මඟින් යයි හැඟුණ ද, ඈ සිනමාවේ සැබෑ ගැහැනිය බවට පත්වන්නී 1982 දී වසන්ත ඔබේසේකරගේ අධ්‍යක්ෂණය දඩයම චිත්‍රපටයේ රන්මලීගේ භූමිකාව තුළ ස්වර්ණා පළ කළ රංගන ප්‍රතිභාව අතිවිශිෂ්ට ය. සිංහල සිනමා ඉතිහාසයේ හැත්තෑ වසරක් පුරා අපට දකින්නට ලැබුණු ස්ත්‍රී භූමිකා අතර, අන් කවර හෝ නිළියකට ළංවන්නට අසීරු සැබෑ ගැනු භූමිකාවට ස්වර්ණා හිමිකම් කියන්නී දඩයමෙහි රන්මලීගේ චරිතයට ආවේශ වීමෙනි. සැබෑ කතා පුවත තුළින් අප දුටු රන්මලී නම් දඩයමෙහි ස්වර්ණාම නොවන්නී ද යන තරමට තමා අසරණ කොට පලා යන්නට නොයෙක් කුමන්ත්‍රණයන්හි යෙදෙන ජයනාත් ගේ දෙබිඩි ජීවිතයට අභියෝග කරන රංගනය අපට පසක් කොට දෙයි. ජයනාත් වැනි  ද්විත්ව චරිත ගති සොබා සතු පුරුෂාධිපත්‍යය හමුවේ රන්මලී නම් ගැමි ස්ත්‍රීය හුදෙකලාව සටන් වදින්නී සැබෑ ජිවිතයේ අප අසා ඇති, අප දැක ඇති අගතියට ලක් වූ ගැහැනුන් සියල්ලගේ චරිත ස්වභාව මූර්තිමත් කරමිනි. නගරයෙන් පැමිණෙන බොරුකාරයෙකුගේ ව්‍යාජ ප්‍රේමයට රැවැටී, ජිවිතයෙන් වන්දි ගෙවන්නට සිදුවන අවස්ථාවක ජීවිතයත්, මරණයත් අතර බිහිසුණු අත්දැකීමක් හමුවේ නො සැලී, ජයනාත්ගේ නවීන පන්නයේ මෝටර් රථයේ වින්ඩ්ස්ක්‍රිනයට එල්ල කරන පහර පුරුෂාධිපත්‍යය දෙදෙරා හැරීමට ගැහැනියක විසින් එල්ල කළ මාරාන්තික ප්‍රහායක් වැන්න. ඇයගේ අනන්‍ය සංවාද මුදාහැරීමේ නිරායාස බව, මුහුණින් මතුකෙරෙන සියුම් භාව ප්‍රකාශන, ස්වර්ණාගේ රූපණයෙහි විශිෂ්ට හා අගනා සම්පත් වේ. නව පරම්පරාවේ රංගන ශිල්පීන්ගෙන්, විශේෂයෙන් ශිල්පිනියන්ගෙන් බහුතරයක් වර්තමාන චිත්‍රපටවල පෙනී සිටිනවා විනා චරිතයක ගති සොබා, අභ්‍යන්තර ලක්ෂණ, සියුම් හැඟුම් දනවන අවස්ථා පිළිබඳ අවබෝධයකින් යුක්තව රඟපානු දක්නට නො ලැබේ. එබඳු නිළියන් චිත්‍රපටයක රංගනය යනු කුමක්දැයි ඉගෙන ගැන්මට රිසිවන්නෙ නම්, ස්වර්ණාගේ දඩයම රන්මලීගේ චරිතය රඟනු නැරඹිය යුතු යයි යෝජනා කරමි.

ස්වර්ණා රංගනය යනු කුමක්දැයි ඇතැ’ඹුලක් සේ දන්නියකැයි මට සිතේ. ඇගේ විශිෂ්ට රංගන ඇතුළත් උළෙලෙහි ප්‍රදර්ශනය කෙරෙන චිත්‍රපට දෙස බැලුවහොත්, ඇගේ රංගනයේ අසීමිත පරාස හඳුනා ගැනීමට හැකි වේ. හන්තානේ කතාවේ යුවතිය, අහස්ගව්වෙහි යුවතිය හෝ හාත්පසින්ම වෙනස් වූ සමාජ පසුබිමක හැදුණු ස්ත්‍රියක් ලෙස ඈ රන්මලීට ප්‍රවිශ්ට වන්නී ය. සුද්දිලාගේ කතාවෙහි සුද්දීම හංසවිලක්හි නාගරික මධ්‍යම පාංතික බිරිඳක බවට පත්වන්නී ය. සුද්දිලාගේ කතාවේ සුද්දීට වඩා, ජීවිතය හා අරගල කරන, දරු ස්නේහයෙන් යුත් මවක ලෙස සාගර ජලය මදි හැඬුවා ඔබ සන්දා හි හීන්කෙලීගේ චරිතය ප්‍රතිනිර්මාණය කරන්නී ය. ස්වර්ණා මේ රංගන වෙනස හඳුනාගන්නේ කෙසේ ද? කුමන රංග පාසලක පුහුණු ආයතනයක පුහුණුවක් ලබා ද? අප දන්නා තරමට ස්වර්ණාට රංගනය ඉගෙනුමට සුදුසු වූ පාසලක් නොවී ය. ධම්ම ජාගොඩ 70 දශකයේ මැද භාගයේ දී ඇරැඹූ රංග ශිල්ප ශාලිකාවෙහි මුල්කාලීන සිසුවියක ලෙස වේදිකා නාට්‍ය රංගනය පිළිබඳ දැනුමක් ලබාගත්ත ද, එහි පර්යේෂණාත්මක නාට්‍යය වූ මුහුදු පුත්තුහි රඟපෑව ද ඈ තම රංගන ප්‍රකාශන මාධ්‍යය ලෙස චිත්‍රපට රංගනයම තෝරාගත්තී ය. එසේ නම් ස්වර්ණාගේ රංගනයෙහි සැඟවුණු රහසක් වේද? ඈ රංගනය වෘත්තීය කොටගත් නිළියක ලෙස විචාර බුද්ධියෙන්, පොතපත කියවීමෙන්, සාහිත්‍යය හැදෑරීමෙන්. වේදිකා රංගනයක් නැරැඹීමෙන්, හොඳ ගීයකට සවන් දීමෙන් ජීවිතයට නව දැනුම එක්කර ගැනීමට කැමැති ස්ත්‍රී චරිතයක් බව මම දනිමි. ඈ අපගේ බොහෝ නිළි චරිතවලින් වෙසෙසි කොට සැලකීමට හැකිවන්නේ ඈ සතු ඉහත කී චර්යාවන් නිසා ය. රංගනය යනු අධ්‍යක්ෂකගේ විධානයට අනුව, අධ්‍යක්ෂකට අවශ්‍ය දේ ලබාදීම වුවත්, තමා අත පත් වන තිරපිටපතෙහි ලියැවුණු චරිතය නිරූපණය කිරීමේහිලා එකී චරිතයෙහි සියුම් චරිත ලක්ෂණ, චරිතයට අදාල සමාජ පසුබිම, අධ්‍යක්ෂ අවසානයේදී චරිතය තුළින් ප්‍රේක්ෂක මනසට සමීප වන්නට උත්සාහ දරන්නේ කෙබඳු ජීවනාභූතියක් රැගෙන ද යන්න පිළිබඳ බැහැර දැනුම බොහෝ අවස්ථාහිදී සාර්ථක පරිසමාප්ත, නිර්මාණ කාර්යයකට වැදගත් වේ. ස්වර්ණා අන් බොහෝ නිළියන් මෙන් නොව, ඈ සතු බාහිර දැනුම ඥාණය භාවිත කොටගෙන, තිරනාටකයේ රචනා වූ චරිතයේ යටිපෙළ ප්‍රක්ෂේපනයෙහිලා අසීමිත දස්කමක් දක්වන්නී ය.

ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂවරයාගේ අනන්ත රාත්‍රියෙහිදී ස්වර්ණාගේ භූමිකාව පෙර සඳහන් වූ චිත්‍රපට තුළ අප නො දුටු ගැහැනියක පිළිබඳ ජීවිත විවරණයකි. සිරුර අලෙවිකොට ජීවත්වීම සොයාගන්නා ස්ත්‍රියක බවට ඈ පත් කළ සමාජ බලවේග මෙන්ම එවන් මොහොතකදී ඇගේ ගනුදෙනුකරුවකුට අත්වන ඉරණමත්, සාක්ෂිකාරියක ලෙස අධිකරණය හමුවේ දී ඈ මුහුණපාන සංකීර්ණ ගැටලුත් අතර දෝලනය වූ ස්ත්‍රී භූමිකාව, මා පෙර සඳහන් කළ පරිදි ස්වර්ණාගේ රංගනයෙන් ප්‍රතිනිර්මාණය වන්නේ ප්‍රේක්ෂකයන් තුළ ඇගේ රංගන පරාසය පිළිබඳ විස්මයක් දනවමිනි. වසර විස්සකට ආසන්න නිහැ¾ඩියාවකින් පසු අශෝක හඳගමගේ ඇගේ

ඇස අග චිත්‍රපටයේ වයෝවෘද්ධ මහැදුරු බිරිඳ ලෙස රඟපාන ස්වර්ණා ඉතා අපූරුවට එකී සාමාජ පංතියේ බිරිඳකගේ හැසිරීම් විලාස මනාව අධ්‍යනයකොට තම සැමියා හා පෙමින් බැඳුණු සරසවි ශිෂ්‍යාව කෙරෙහි ඈ සිත උපන් ඊර්ෂ්‍යාව, කේ‍රා්ධය හෝ විරෝධය යටපත් කරගනිමින්, කුටුම්භය රැකගන්නට වෙහෙසෙන්නී ය. එහෙත් ඇගේ ඉවසීම අවසන් වූ තැන, ඇගේ මුවඟින් පිටවන වාග් ප්‍රහාරය අපට ඈ මහාචාර්ය බිරිඳක සේ නොසිතුණ ද එය සැබෑ ගැහැනියගේ යටිසිත ඉස්මතු වූ රංගනයක් සේ විශ්වාස කරන්නට සිදුවේ. ස්වර්ණා යනු අපේ කාලයේ නිළියයි. ජිවිතයේ හැලහැප්පීම් මැද නො බියව, නො සැලී මුහුණදෙමින් දඩයමෙහි රන්මලී මෙන් ජිවිතය හා අරගල කරන ස්ත්‍රියයි. ඈ සිනමාවේ ගැහැනිය මෙන්ම, ජීවිතයේදී ද අපට හමුවූ සැබෑ ගැහැනියයි.

බුද්ධදාස ගලප්පත්ති

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: