සාහිත්‍ය කලාව නොදන්නා මිනිස්සු ගවයින්ගෙන් වෙනස් වෙන්නෙ තණකොළ නොකන එකෙන් විතරයි

February 21, 2017 | 6:06 pm    0   427

සාහිත්‍ය කලාව නොදන්නා මිනිස්සු ගවයින්ගෙන් වෙනස් වෙන්නෙ තණකොළ නොකන එකෙන් විතරයි

ඔබත් මාත් දන්න එක දෙයක් තිබේ. ඒ මෙම පිටුව හැඩ කරනුයේ විශේෂ, අපූර්ව පුද්ගලයන් බවයි. ඉතින් අදත් ඔබ දන්නවා හෝ නොදන්නවා වුණත් ඔබ හමුවට එන කෙනා කවියෙක්, නිදහස් මාධ්‍යවේදියෙක්, සමාජ ක්‍රියාකාරිකයෙක් වගේ ම නිවහල් වෙබ් අඩවියේ කර්තෘවරයා. එමෙන්ම අගනගරයේ ඇති බොහෝ සාහිත්‍ය කතිකාවල සාමාජිකයෙක්. ඔහු සඳුන් ප්‍රියංකර විතානගේ.

රක්වාන අහසෙන් හැමදාම වැස්ස වැටෙද්දි, රජරට මිනිස්සු අනේ හොඳයි කිව්වට ඒ වගේ නෙවෙයි, රක්වානෙ මිනිස්සු බැණපු දවස් අනන්තවත් තිබුණා. මොකද, තේ දළු නෙළන්න, රබර් කිරි කපන්න, පතල් වැඩක් කරගන්න, කුලියක්-මලියක් ගරගන්න බැරි වෙන නිසා. ඒ වැස්ස වගේ ම සුළඟත් සිංහරාජ කැලේ සුවඳ එක්ක මුහු වෙලා එන නිසා අපිට හුඟක් හුරුයි. ඒ නිසාම ඔය රබර්වත්ත හරියෙදි අපි දෙන්න මුණ ගැහිල කතා කළෙත් සාහිත්‍ය ගැන විතරක් ම නෙවෙයි. අපි සිංහරාජ කැලෙන්, රක්වාන කඳු වැටියෙන්, බලංගොඩ කඳුවලින් වැහිල හිටියට කොළඹ අගනගරයේ කරක් ගහල ගමත් එක්කත් ජීවිතය ගත කරන ඔහු එක්ක මං කතාව පටන් ගත්තා හැමදාම වගේ එතැනට ගැලපෙන විදිහට, ඒ මොහොතෙ හිතට ආපු වචන අනුව. ඔබත් රබර්වත්තක් ළඟ රස්තියාදු වෙනවා කියල හිතන්න එපා. චුට්ටක් ඉන්න අපි කියවගමු.

සාහිත්‍ය ඇතුළෙ දුප්පත් කියන එක පොදු දෙයක්. හැබැයි මේ වෙලාවෙ හැමෝම දුවන්නෙ සල්ලි හොයන්න. නමුත් කොහොමද ඒ තරගයෙන් මිදිල සරලව සාමාන්‍ය විදිහට ඉන්නෙ. මම කියන්නෙ මේ ඔබ මම සහ අපට හමුවෙන සරල අය?

මෙහෙමයි, ලංකාව ඇතුළෙ සාහිත්‍යට අදාළව සල්ලි හොයන්න අවශ්‍ය කෙනෙකුට වුණත් ඒක කරන්න බැහැ. ලංකාවෙ සාහිත්‍යයෙ සිස්ටම් එක හැදිල තියන්නෙ සාහිත්‍යකාරයින්ට මුදල් හොයන්න බැරි වෙන්න. කෙනෙක් සල්ලි හොයන තරගයට බහිනව නම්, අවසානෙටම තෝරගන්න ඕන එක තමයි සාහිත්‍යකාරයෙක් වෙන එක. තරගයෙන් මිදෙන එක ලෙහෙසි දෙයක් නෙවෙයි. ඒත් සාහිත්‍යයෙන් උගන්වන්නෙම තරගයෙන් මිදෙන හැටි සහ සරල වෙන හැටි. ඒකට උත්සාහ ගනිමින් ඉන්නවා.

මේ මොහොතෙ මට හිතෙනව ලංකාවෙ ආර්ථික දේශපාලන සියලු කාරණා තුළ අවුල් තියෙනව කියල. සඳුන් අයියල, අපි ඇතුළු ගොඩක් අය ආණ්ඩු පෙරළන්න දායක වුණා. දැන් සයිටම් ඇතුළු විවිධ ප්‍රශ්න. ඒ ගැන මොකද හිතෙන්නෙ. මං අහන්නෙ සාහිත්‍ය සම්බන්ධව නෙවෙයි.
පසුගිය පාලනය පෙරළන්න අපිත් දායක වුණා. හැබැයි ඒ දායක වෙද්දිම අපි දැනන් හිටිය මේක පරිවර්තනයක් නෙවෙයි, අපායට ඉන්ටවල් එකක් විතරයි කියලා.

ඒක මරු කතාවක්. හෙඞ් ලයින් එකට දාන්න පුළුවන්.

ඔහු එය නොතකාම කතාව කරගෙන යනවා. මම ඉක්මනට නිහඬ වුණා.
නමුත් ඒ මොහොතෙ අපි කළ යුතු ම දෙය කළා. ඒ ගැන පසුතැවීමක් නැහැ. ඒ නිසා මේ තත්වයන් පවා අරුමයක් ලෙස මට දැනෙන්නෙ නැහැ. මගෙ පුද්ගලික විශ්වාසය නම්, මේ සමස්ත යාන්ත්‍රණයම කොට්ටඋරයක් කණපිට ගහනව වගේ වෙනස් කරන්න ඕන කියන එකයි. ඔබ පාරට බැහැල අඩි 100ක් ඇවිදගෙන ගිහින් බලන්න මේ රටේ පුරවැසියෙක් විදිහට සතුටු වෙන්න කිසි දෙයක් තියනව ද කියලා. කිසිවක් නැහැ. ඒ නිසා සමස්තය සහමුලින්ම වෙනස් වෙන්න ඕන.

රුසියන් සාහිත්‍ය තමයි අපේ ලේ මස් නහර ඇටමිදුලුවලට කිඳා බැස්ස සාහිත්‍යය. ඊට පස්සෙත් 60-70 යුගවල හොඳ කලාවක් තිබුණා. දැන් ඒවා නැහැ. ඇයි ඒ?

මෙහෙමයි නුවන්. හොඳ සාහිත්‍යය නැත්තටම නැහැ කියන්නට බැහැ. යටපත් වෙලා තියනවා කිව්වොත් තමා හරි. අපායට ඉන්ටවල් එකක එවැනි දෙයක් බලාපොරොත්තු වෙන්න පුළුවන් ද? බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් කියනවා එක කවියක “අඳුරු යුගයේ කවි ගී ලියැවේද ඒ අඳුරු යුගය ගැනයි” කියලා. සාහිත්‍ය ප්‍රකාශන බිහිවෙන්නෙත් ඒ ඒ යුගයන්ට සාපේක්ෂවයි.

එතකොට පවතින මොහොත තමයි එකම හේතුව?

ඒක එකම හේතුව නොවුණත් ඒක ප්‍රධාන හේතුවක්. පරිවාර කාරණා තියෙනවා.
හරි. ඒ අවුල තේරෙනවා නම් සඳුන්ට මොනවහරි විසඳුම් ඇවිල්ලා ඇතිනෙ හිතට.
මම විශ්වාස කරනවා නිර්මාණකරණයෙදි කරන්න ඕන තමන් පිම්බෙන එක නෙවි. තමන්ට තමන් අවංක වෙන්න ඕන. එවැනි අවංක ආත්ම ප්‍රකාශන හරියට නිර්මාණයක් විදිහට එළියට ආවොත් එය වඩාත් ම සාර්ථක නිර්මාණයක් වෙනවා. ඔබත් කවි ලියන කෙනෙක්. හිතල බලන්න රසිකයින්ට වැඩියෙන්ම හිතට දැනිල තියන ඔබේ නිර්මාණය ගැන. ඒක තමයි ඔබ වඩාත්ම අවංකව කරපු ප්‍රකාශනය.

අපි ලියන්න ඕන දැනෙන්නද මිනිසුන්ට?

ඔව්. මම හිතනවා ඒක කළ හැකිවෙන්නෙ අනෙක් සියලු කාරණා වගේ ම, ඒ කියන්නෙ සතතභ්‍යාසය, ව්‍යුත්පත්තිය විතරක් නෙවෙයි අවංක වීමත් එක්ක කියලා.
මං කිව්වොත් සාහිත්‍ය අපට අවශ්‍ය නෑ කියලා.
සාහිත්‍ය කලාව ගැන උනන්දුවක් නැති ජීවිත ගැන කියවෙන සංස්කෘත ශ්ලෝකයක් තියෙනවා. එයින් කියන්නෙ සාහිත්‍ය කලාව නොදන්නා මිනිස්සු ගවයින්ගෙන් වෙනස් වෙන්නෙ තණකොළ නොකන එකෙන් විතරයි කියලා.

අපි මොනව කළත් ප්‍රධාන සාධකය ලෙස ගැනෙන්නෙ බඩගින්න. ඊට පස්සෙ ලිංගික කාරණය. ඇයි එතැනට සාහිත්‍යය?

මැස්ලෝගෙ අවශ්‍යතා පිළිබඳ ධූරාවලියෙ පහළ තියන්නෙ ඔබ කියන දේවල්.
ඒ ධූරාවලියෙ කලාව තියන්නෙ උඩම…
එතකොට ඔබම කියනවා එහි උඩම කලාව තියනවා කියල. ඉතින් බඩගින්නෙන් ලිංගික ක්‍රියාවෙන් පමණක් සෑහීමකට පත් වෙනව නම් එහෙම සමාජයක් ප්‍රාථමික සමාජයක්.

ජීවත්වීමට ප්‍රධාන සාධක අවැසිය. එහෙත් එය වැදි වන ජීවිතයක් වැනි ය. මෙම හේතු නිසා සමාජය විසින්ම ලබා දුන්නා වූ සෞන්දර්යාත්මක විඳගැනීම්වල ආදරය, සෙනෙහස, ගීතය, නාට්‍ය, ප්‍රබන්ධ සාහිත්‍ය බිහිවිය. එය අප කියවා නැතිව ජීවත් වෙනවා යැ යි දැනේ. ඉතින් සඳුන් ප්‍රියංකර විතානගේ ද අද සොඳුරු රක්වාන කඳුකරය හා ගොඩකවෙල පහත්බිම යාකරන පාරක කොනක මා හා කතා බහ කරයි. සරලබව පිරි සිනහවක ගිලී ඔහේ කතා කරගෙන යයි. අපි කලින් සූදානම් වී ප්‍රශ්න සාදාගෙන කතා නොකළෙමු. මන්ද නැවුම්බව ගිලිහී යන නිසා ය.

සඳුන් අයියා කවුද? මම අහන්නෙ ඔබ ඔබව හඳුන්වාගන්නෙ කොහොමද?
කෙටි මිනිස් ජීවිත කාලය ඇතුළේ යමක් කියන්න, කරන්න හදන මනුස්සයෙක්. ඒකට මම විවිධ ප්‍රකාශන මාධ්‍ය භාවිතා කරන්න උත්සාහ කරනවා.

ඔබ දැඩි මතධාරියෙක්. වැඩ කරපු තැන්වලින් එළියට එනවා. හරි දඩබ්බර විදිහට තීරණ ගන්නවා. ඇයි ඒ?

කවුරු හරි ඇත්තට ජීවත් වෙන්න උත්සාහ කරනවා නම් ගැටුම් අනිවාර්යයි කියලා මම හිතනවා.

ඇයි ඉතින් එන්නෙ බැහැලා, සමහර වෙලාවට රැකියාව දාල?

ඕක මගෙ අවුලක් ද මන්දා.

දාලා ආපු තැන් මොනවද?

ඒවා නම් වශයෙන් කියන්න ඕන නෑ. හැබැයි මං පුද්ගලයො එක්ක තරහා වෙලා ඇවිල්ල නෑ කිසිම තැනක. ඒ තැන්වල ඉන්න අයත් ගොදුරු. හැමෝම ගොදුරු. පුද්ගලයන් එක්ක තරහ වෙලා වැඩක් නැහැ.

මෙතැනින් ඉවරකරන්නේ ගමේ ආවාම යාළුවෝ එක්ක රස්තියාදු ගහන්න තියෙන නිසා. මොකද මගේ යාළුවගේ ආදරණීය සොඳුරියගෙ උපන් දිනය අද. මං ඒ වාහනයෙ රියදුරා වෙලා. එයාලට සැපට ආදරයෙන් යන්න. ඉතින් සඳුන් අයියාට යන්නං කියල යන්න හැදුව.
කවදාවත් නැතිව රක්වාන අහස නිල්ම නිල් පාටට. ඉර රශ්මිය යන්තම් තේ දලු සිප ගනිමින් ඉන්නවා. අපි මේ උදයවරුවේ මුණ ගැසුණේ. ඔබ දන්නවද මේ සීතල අපේ වචන ගොලු කළා සමහර තැන්වලදි. ඒවා ගිල ගන්න ඉඩ දීලා මං අහක බලාගෙන හිටියේ ගිලෙන සමහර මතක ගිලෙතත් මේ සමාජයට නිරුවත් නොවිය යුතු නිසා.
අපි හෙමීට දෙපැත්තට හැරෙන්න හදන විටත් මගේ තව උසස්පෙළ මිතුරෙක් වන දිනේෂ් මං ළඟම මෝටර් සයිකලය නතර කළා. අපි සොඳුරු රස්තියාදුවක් ආවට මගේ සොඳුරු මිතුරා තරහ කර ගන්න බැරිව මං පත්තර වැඩකට ආවා කියල ගොඩකවෙලට එන්න ආවා. ජීවිතය එහෙම වෙනව. නොගොසින් යළි එන්නට බැරිය නෑවිදින් යළි යන්නට බැරිය කියන නිසා මම යවාත් එක්ක රියදුරු අසුනට වෙලා බෙලිහුල්ඔය ආවා. ඔබත් මං ගොඩක් දුර අරන් ආවා. ඉතිං සමාවෙලා අපි නැවත හිටි තැනට යමු.

නුවන් හෙට්ටිආරච්චි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: