සිංදුවකින් අවසන් නොවූ ශනි මාරුව වැස්සකින් කෙලවර විය….

February 6, 2017 | 10:19 am    0   454

සිංදුවකින් අවසන් නොවූ ශනි මාරුව වැස්සකින් කෙලවර විය….
තරුවක් දෙස වරුවක් වුණත් බලන් ඉන්න තරම් විටෙක එහි වර්ණාලෝකය ඇසට ප්‍රියකරු ය. තරු ගැන ලියවුණු අපමණ සෞන්දර්ය වර්ණා විවිධ සාහිත්‍යාංග තුළ ද බොහෝ ය. කෙසේ වෙතත් තරුවකට හෝ ග්‍රහයෙකුට බැබලීම හැර මිනිසුන්ගේ මානසික හා කායික චර්යාවන්ට බලපෑම් කිරීමට හැකියාවක් පවතී ද? තරු පිරි ආකාශයෙන් තරුවක් හෝ ග්‍රහයෙකු රැගෙන බුද්ධියෙන්, තර්කයෙන් හා ප්‍රඥාවෙන් බිඳ බලන කල්හි, සැබවින්ම බුදුන් කියන ලෙසට තාරකාවලට මිනිසුන්ගේ සමස්ත ජීව ක්‍රියාවලියට කිසිවක් කළ නො හැකි ය. එබැවින් තාරුකා සහ මිනිසුන් අතර පවතින ඇත්ත සම්බන්ධය දෙස විමසා සොයා බැලීම වටී.
 
තාරුකා සතු දීප්තියෙන් හෝ එහි චලනයෙන්, ගෝචරයෙන්, චක්‍රයෙන් හෝ නීචයෙන් භෞතිකව මිනිස් සිතකට, චර්යාවකට, භාවිතයකට යම් බලපෑමක් කළ හැකි බව ජේ‍යා්තිෂ්‍ය ශාස්ත්‍ර අධ්‍යනයන් තුළ කියවේ. නමුත් සැබවින්ම වෙනස් වන්නේ ග්‍රහයා ද නැත්නම් මනුෂ්‍යයා ද යන්න පැහැදිලි කරගත යුතු ය.
ඉතිහාසය පුරා තාරුකා මඟින් ජීවිතයට මඟ කියූ අවස්ථා බොහෝ ය. එහෙත් එය හඳට රොකට්ටුවක් අරින තරම් සරල නැත. එනිසා එය විද්‍යාවෙන් වෙනස්ව ශාස්ත්‍රීය හැඩයක් ගන්නා ඉගැන්වීමක්ව සාම්ප්‍රදායික ඥාණයක්ව සමාජය තුළ පවතී.
 
පෝය දාට කැලැන්ඩරේ කහපාට කරන්නේ හඳ විසින් නො වෙයි. පූර්ණ චන්ද්‍රයා කඳු මුදුන් මතින් අහසට එසවෙන දවස සොයා, මිනිසුන් ඒ දවස කහ වර්ණ ගන්වයි. එය පුන්පොහොය දා ලෙස ද පුරපස ලෙස ද නම් කරයි.
 
පිරුණු සඳක් සහ නිදහස් සිතක් අතර බැඳියාව කොතරම්දැයි, පෝය දිනක කඳු මුදුනක සැරිසරන්නෙකු සෞන්දර්යාත්මක අත්විඳි, ඔහු සඳ ආමන්ත්‍රණය කරයි. සඳ ජීවිතයට උපමාවක් කරගනී. දැන් මේ සියල්ලට මඟ කීවේ චන්ද්‍රයා ලෙස ද කිව හැකි. නමුත් චන්ද්‍රයාට ප්‍රාණය අත්කර දෙන්නෙ සැරිසරන්නා ය.
යමෙකු කුඩා අවදියේ සිට තම එදිනෙදා විස්තර දින පොතක සටහන්ව තබා ඇතැයි සිතමු. පාසල් ජීවිතය, ගැටවර අවදිය, තාරුණ්‍යය, ප්‍රේමය, රැකියාව, විවාහය සහ මැදිවිය වශයෙන් වසර 60ක කාල පරාසයක ජීවිත කතාවක් එහි සවිස්තරව වේ යැයි සිතමු. යම් දිනක ඔහු පාසල් යන තම එකම මුණුපුරාට එම දිනපොත් කිහිපය ලබාදුන්නා යැයි සිතමු. දැන් එම මුණුපුරා තම ජීවිතයේ මුහුණදෙන අත්දැකීම් හා එම දින පොත් සංසන්දනය කරයි නම් එහි යම් මාර්ගෝපදේශයක් පවතින බව ඔහු අත්විඳී, ග්‍රහචාරය පිළිබඳ යමෙකු තවකෙකුට පලාපල කථනයක් කරයි නම් ඔහු ද පලාපල විස්තරයේදී පවසන්නේ අතීත යම් යම් පුද්ගල අත්දැකීම් ආශ්‍රයෙන් ලබාගත් අනුභූතින් විය හැකි. බොහෝ ජේ‍යා්තිෂ්‍ය ග්‍රන්ථවල ඇත්තේ පුද්ගල අත්දැකීම් ය. නමුත් එම අත්දැකීම් ජීවිත ආයුෂය සමඟ ගලපා ගැනීමේදී සංකේත ලෙස ග්‍රහයන් යොදා ගැනීම සිදුවිය හැකි. ඒ අනුව ග්‍රහයන් අවශ්‍ය වන්නේ යමක් පැහැදිලි කිරීමට, නිශ්චිතව කාලය ගණනය කරගැනීමට ය.
 
මනුෂ්‍ය පරිණාමයේ සුවිශේෂි පොදු ක්‍රියාකාරකම් හා මනෝභාවයන් සලකුණු කර අනාගතයට රැගෙනයාම සඳහා ස්වභාවික වස්තූන්, සංකේත කොට තබා ගැනීම ඉතිහාසය පුරා දැකිය හැකි ය. මනුෂ්‍යන්ගෙ කේන්දර ගතව දක්වා ඇති ග්‍රහචාරවලදී මනුෂ්‍ය චර්යාවල වන සිදු වන පොදු වෙනස්කම් ඒ ඒ ග්‍රහයාගෙ වාරය සිදුවන කාලයට අරෝපණය කිරීමක් මෙහි දැකිය හැකි ය. එය ග්‍රහයා විසින් කරන දෙයක් නොව ග්‍රහයා සංකේත කොට ග්‍රහයාගේ ගමන ගණනය කොට මිනිසා විසින් හඳුනා ගන්නා දෙයකි.
පුරාණ ඍෂිවරුන්ට අවශ්‍ය වෙනවා, මනුෂ්‍ය චර්යා පිළිබඳ ශාස්ත්‍රානුකූල ලෙස මිනිසුන්ව දැනුවත් කරන්න. ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍ය හා ලේඛනය එතරම් ප්‍රචලිත නොවූ පූර්ව යුගවල එය සමාජ ගත කිරීම එතරම් පහසු කාර්යයක් නොවේ. ඒ සඳහා පාරිසරික සංඥා, මනුෂ්‍ය චර්යා හා උපමා ඇසුරු කර ගනිමින් සිදු කළ ශාස්ත්‍රානුකූල ඉගැන්වීමක් ලෙස මෙය හඳුනාගත හැකි ය. මනුෂ්‍යා සතුව පවතින පුර්ව කර්මඵල සහ නියාම ධර්ම ගැන විස්තරාත්මක දැනුවත් කිරීමක් ලෙසත් එය හඳුනාගත හැකි ය. මේ දහමේ ක්‍රියාවලිය මිනිසුන්ට පහදන්න අවශ්‍ය සංඥා සහ සංකේත විදිහට මෙහිදී ග්‍රහතාරකා යොදා ගැනීමක් දැකිය හැකි ය. නැකැත් සුබ අසුබ යන්න තාරකා ඇසුරින් සමාජ ගත වෙන්නේ මේ ලෙස යැයි සිතිය හැකි ය.
තරු එළියෙන් ගොඩබිම සොයා ගිය නාවිකයෝ තරු ගුරු කොට ගැනීම මෙහිදී පැහැදිලි ය. එය දෙවියන් විසින් මඟ පෙන්නුවා කියන දේට වඩා එය ගුරු කොට ගැනීම ප්‍රායෝගික ය. ඔවුන්ව දූපතකට රැගෙන ගියේ තරුව ද, නො එසේ නම් තරුවක් දෙස බලමින් ඔවුන් රුවල් පැදවූවා ද, දැන් සාහිත්‍යාත්මකව තරුවක් විසින් රුවල ගමනාන්තය තෙක් රැගෙන ගියා කියා ද අවශ්‍යනම් කිවහැක. විශ්වය පවතින තුරු නොනැසී තියෙන, චිරාත් කලක් යමක් පැහැදිලි කිරීමට යොදාගත හැකි එකම සංකේත භාවිතය වන්නේ ග්‍රහ වස්තූන් හා ඒවායේ චලනය පමණකි. ඒ නිසා ඍෂිවරුන් විසින් දීර්ඝ කාලීනව පැවතිය යුතු ශාස්ත්‍රයක් සමාජගත කිරීම උදෙසා තරු සහ ග්‍රහාලෝක සංකේත කොට ගන්නට ඇතැයි සිතිය හැකි ය.
 
ජේ‍යා්තිෂ්‍ය ශාස්ත්‍රයක්, විද්‍යාවක් ලෙස ග්‍රහ තරු සමඟ බැඳෙන්නෙ ඒ විදිහට. බුදුන් වහන්සේ මේක හරියටම පැහැදිලි කළා. ග්‍රහ තරු සංකේත පමණයි. නමුත් හොඳ සහ නරක යන්නෙහි භාවිතය ඔබ සතුයි. නියාම ධර්ම හා පූර්ව කර්ම ගැන සංකේත ආශ්‍රයෙන්, ගණිතමය ක්‍රමවේද ඇතුළේ පෘතග්ජන මනසට විද්‍යාවක් ලෙස දෙන්න අපහසුයි. ඒ නිසා එය ශාස්ත්‍රයක් ලෙස සමාජගතව අදටත් පවතිනවා. නරක ග්‍රහ ගමනකදී අකුසල් මතුවේනම්, කුසල් කරන්න කීවා. එතකොට අකුසල් දෙන්නේ ග්‍රහයා නොවෙයි. නියාම ධර්ම යමෙකුගේ පූර්ව අකුසල්වලට සම්බන්ධ විය හැකි කාලය, වේලාව, ස්ථානය ගැන පවසන්න ග්‍රහයාගේ වාරයෙන් පැහැදිලි කරගන්න පහදන්න ශාස්ත්‍රයක් හැදුණා.
 
උදා- ජලයෙන් ගිලී මිය යාමේ පූර්ව කර්මයක් කළ අයෙකුට අහවල් ග්‍රහයා ග්‍රහචාරය සිදුවන කාලය තුළ මුහුදු යෑම අවධානම් යැයි පැවසීම.
ඒ නිසා යම් විෂයක් සම්බන්ධ ධර්මතා අවබෝධ කරගැනීමට අධ්‍යයනයකින් තොරව කටයුතු කිරීම ගැටලු ඇති කරනු ලබයි. ශාස්ත්‍ර අධ්‍යයනය නූතන විද්‍යාගාර මානසිකත්වයෙන් කළ නො හැක්කක්. එහෙත් තම මානව සත්ත්ව චර්යාවන්ගේ ශික්ෂණය උදෙසා, අජීවී වස්තුවක් වුව ද හේතු ඵලයක් කොට ගත හැකි නම් කළ යුත්තේ එය ඇඟයීම නො වේ ද. එය මිත්‍යාව ඇසුරු කිරීමක් ලෙස දැක්වීම එතරම් ඥාණාන්විත නොවේ.
 
ගසක් අපට සෙවන දෙන්නේ නැත. ගසින් සෙවන ලබන්නේ අපි ය. එහෙත් ගසට ප්‍රාණත්වයක් ආරෝපණය කර ගස විසින් අපට සෙවන ලබාදුන් බව සිතා එය අත්විඳීම සෞන්දර්යාත්මක සේ ම මානුෂීය කාරණයක් ද වේ. වෙසක් සඳත් බෝධියත් එකතුව බුදුන්ට බුද්ධත්වය ලබාදුන්නේ නැත. එහෙත් බෝධියත් සඳත් බුද්ධත්වයට අවශ්‍ය පාරිසරික හේතුවක් හැදුවා නොවේ ද. බෝධිය කිරණ විහිදුවන බව විද්‍යාව අද පිළිගනී. ඒත් ඒ බුද්ධත්වය උදෙසා බුදුන් පිටුදුන් නිසාම ද? ඒ නිසා ගාථා පාඨ කිහිපයක් ඇසුරින් ශාස්ත්‍රයක සත්‍ය අසත්‍ය යන්න සෙවීමට ද නො හැකි ය. එය සත්‍ය දැයි අධ්‍යයනයකින්ම ප්‍රඥාගෝචරව සොයා බැලීම යුතුම ය.
 
අජීවී ලෙස පවතින සියල්ල අජීවී ලෙස අප සම්මත කරගනු ලබන්නේ අප චලනය යන්න ප්‍රමාණවලින් දන්නා නිසා ය. ඉන්ද්‍රීය ප්‍රත්‍යක්ෂයෙන් අවබෝධ කරගත් නිසා ය. එහෙත් සොබාදහම අප සිතනවාට වඩා සජීවී ය. එහි චලන අප්‍රමාණ ය. එය ප්‍රත්‍යක්ෂයෙන් අවබෝධ කරගත්තෝ එහි සත්‍ය අත්විඳ ඇත.
 
මේ වියමනෙන් මතු කිරීමට අවශ්‍ය වන්නේ ග්‍රහයෙක් සතු යම් බලයක් විසින් මනුෂ්‍ය චර්යාවන්ට බලපෑම් කරයි ද නැද්ද යන්න විමසීමයි. එය අධ්‍යයනයක් කොට ගැනීම වැදගත් බව මෙහි සටහන් කිරීමට මා උත්සහ කරමි. සමහර අදහස් මාගේ පුද්ගලික මතයයි. එබැවින් මෙම සටහන යමක් විවේචන කිරීමක් නොව අදහස් දැක්වීමක් පමණි.
සජිවී ලෙස පෙනී සිටින මිනිසුන් ඇතැම් අවස්ථාවල අජීවී වස්තූන් තරම් සංවේදී දැයි ගැටලුවකි. ග්‍රහ තරු සමඟ සෞන්දර්යෙන් බැඳෙමින් එයට ප්‍රාණය දීමට හඳේ සාවෙකු සෙවීමේ වටිනාකම පසක් වන්නේ සෞන්දර්යවාදියාට ය. භෞතිකවාදියාට සඳ යනු හිස් ආවාට ගොඩක් පමණි. එබැවින් ඔබ රිසි සේ තරුවෙන් නිවැරදි මඟ සොයා ගවේශනය අරඹන්න. එහෙත් ඔබේ ගමනේත්, අධ්‍යයනයෙත්, ගවේශනයෙත් වගකීම තරුවකට නොපවරන්න.
 
ජේ‍යා්තිෂ්‍ය යනු අතිදියුණු ශාස්ත්‍රයක් ලෙස හඟිමි. නමුත් එය ග්‍රහයින්ගේම පාලන බලයට යටත් වූ සාම්ප්‍රදායික විද්‍යාවක් ලෙස නො සිතමි.
එය විද්‍යාගාරයක තබා මතුපිටින් අල්ලන්න බැරි විද්‍යාවක් ලෙස ද දකිමි.
මේ පිළිබ¼දව කෙටි හැදැරීමකින් පමණක් පලාපල ප්‍රකාශ කිරීමට යාම අනුවනකමකි. ජේ‍යා්තිෂ්‍ය ගැන තෛමාසික පාඨමාලාවක් හැදෑරූ මගේ මිතුරෙකු පෙර දින මා හමුවීමට පැමිණියේ ය. කෙටි පිළිසඳරක් අවසන ඔහු විසින් මා වෙත ජේ‍යා්තිෂ්‍ය පිළිබඳ දීර්ඝ විස්තරයක් සිදුකර අවසානයේ එළඹෙන ශනි මාරුවේ හොඳ නරක මට බලපාන අයුරු පවසන්න දැයි මගෙන් විමසුවේ ය. මා එයට ප්‍රතිචාරයක් ලෙස සිනහා පහල කළ අතර මාගේ ක්‍රියාවෙන් ඔහුගේ සිත රිදුන බවක් මට වැටහිණි.
 
මා කළේ වරදක් දැයි මට වැටහී ගියෙන් ඔහුගේ සිත සනසන්නට මා වහා ක්‍රියාත්මක විය. මම සිනහා පහළ කළේ ඔබව පහත හෙළීමට නො වන බව මම ඔහුට ප්‍රකාශ කළෙමි. එහෙත් මාගේ ප්‍රතිචාරය ඔහු අපහසුතාවකට පත් කළ බව ඔහුගේ මුහුණින් පිළිබිඹු විය.
 
“සම්ප්‍රදායික ඥාණය අතිශය වටින දෙයක්. නමුත් එය අදහමින්, සම්ප්‍රදාය තුළ ඒ ආකාරයෙන්ම පවත්වා ගනිමින් තබාගැනීම තුළින් සිදුවන්නේ එහි ගැඹුර සමාජගත නො වන එක. ඒ පිළිබඳව ඇදහීමකින් තොරව එය හාරා අවුස්සා බලමින් යම් ගවේශනයක හා අධ්‍යනයක නිරත වීම එම ශාස්ත්‍රයේම සත්‍ය බව පසක් කරගැනීමට හේතුවකි. නමුත් පවතින නූතන අධ්‍යාපනික ක්‍රම ශිල්ප සාම්ප්‍රධායික ඥාණය බුද්ධිගෝචරව ප්‍රත්‍යක්ෂ කරගැනීම සඳහා ප්‍රමාණවත් නොවීම අභාග්‍යයකි. ඒ අනුව පැරණි ඥාණ ගවේශනය අප සිතන තරම් සරල නොවේ.
 
ඊට අවශ්‍ය මානසික ශික්ෂණය, චර්යාමය විනය, කැපවීම නිවැරදි ගුරු ඇසුර, ඊට සුදුසු සමාජ තත්ත්වය පවා අනිවාර්ය වේ. ඒ සඳහා මනුෂ්‍යයෙකු සතු ප්‍රධානම සුදුසුකම තමා සතු ‘ඉව’යි. එය ඉතා පහසුවෙන් යමෙකුට නො පිහිටයි. එය සංසාරික පුරුද්දක් නො එසේ නම් සොබාදහම විසින් පිරිනමන සුවිශේෂී වරප්‍රසාදයක් ද විය හැකි ය. කෙසේ වුවත් අනාවැකිකරුවා ඉන්ද්‍රජාලිකයෙකු නො විය යුතු ය. අනාවැකිකරුවා සත්‍යවාදී විය යුතු ය. ඔහු විශ්වාසනීයත්වයෙන් පැවතිය යුතු ය.
 
ජේ‍යා්තිෂ්‍ය පිළිබඳ සය මාසික සහතික පත්‍ර පාඨමාලාවලින් හෝ උපාධිවලින් පමණක් හොඳම ජේ‍යා්තිෂ්‍යවේදියෙකු බිහි නොවේ. එය සංකීර්ණ අධ්‍යයනයක ප්‍රතිඵලයක්ම ය.
අවසානයේදී මගේ මිත්‍රයාගේ හිත හදන්න අවශ්‍ය නිසා මම මෙසේ යෝජනාවක් කළෙමි.
 
“මට එළඹෙන සතිය ගැන අනාවැකියක් අවශ්‍ය නෑ. හැකි නම් මා ගෙවා දැමූ පසුගිය සතිය ගැන අනාවැකියක් කියන්න” එවිට ඔහු සිනාහ පහල කළේ ය. කිසිවක්ම නො කියා යන්න හැරුණේ ය.
මම වහා ඔහුගේ අතින් අල්ලා මිත්‍රත්වය පෙරදැරිව නැවත ඉල්ලීමක් කළේ ය. “අද සවස ඔබ විවේකී ද? මම ගිටාර් එක අරන් එන්නම්, අපි සිංදුවක් කියලා අද දවස සතුටින් ඉවර කරමු” ඔහු හිස සලා අවසන මට මෙහෙම ප්‍රශ්නයක් මතු කළේ ය…
 
මචං හවස වැස්සොත්…?
තවත් කිසිවක් ඔහුට කීමට මට සිතක් පහල නොවී ය. ජනේලයෙන් අහස දෙස බලා සිටිනු හැර එළඹෙන වැස්ස ගැන ඔහුට හෝ මට ද කිසිදු අනාවැකියක් පහල කිරීමට නො හැකි විය.
 
අමිල ජයකොඩි
 
 
Sunday Apple තාරුණ්‍යයේ ජාතික පුවත්පත
2017 – 02 – 05

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: