සිනමාවට ප්‍රේමය ඇවිත්ද?

March 14, 2017 | 1:00 pm    0   342

සිනමාවට ප්‍රේමය ඇවිත්ද?

විලියම් ශේක්ස්පියර් විසින් රචිත හැම්ලට් නාට්‍යයේ මුඛ්‍ය උදාන වාක්‍යය පහත පරිදිය.
To be, or not to be: That is the question හැම්ලට්ගේ මුඛ්‍ය ප්‍රශ්නය වන්නේ අවශ්‍ය දේ කරනවාද? නැත්ද? ‘හැම්ලට්’ නම් චරිතය පිළිබඳව අප යම් අර්ථකතනයකට යන්නේ නම් ඔහුගේ ගැටළුව කුමක්ද?
හැම්ලට් කුමරාගේ පියා ඔහු ඉපදෙන විට මිය ගොස් ඇත. ඔහුගේ පියා විටින් විට අවතාරයක හැඩය ගෙන ඔහුට යම් නියෝගයන් ලබා දෙයි. නියෝගය වන්නේ තමා ඝාතනය කළ පුද්ගලයා ඝාතනය කරන්න යන්නය. විවිධ බාහිර හේතු තමාටම පනවා ගන්නා හැම්ලට් මේ ක්‍රියාව සිදු නො කොට ඒ සඳහා කල් ලබා ගනියි. කෙටියෙන් කිවහොත් හැම්ලට් කුමරා තම ‘ක්‍රියාව’ (Action) ප්‍රමාද කරයි.

‘ප්‍රේමය නම්’ චිත්‍රපටයේ මුඛ්‍ය තේමාව වන්නේ ප්‍රමාදයයි. චිත්‍රපටයේ ප්‍රධාන චරිතය තමන්ට යම් මානසික ගැටළුවක් තිබෙන බව පිළිගනියි. නමුත් ඒ සඳහා නිසි ක්‍රියාමාර්ගයක් ගැනීම කල් තබයි. මනෝවිද්‍යාව පැත්තෙන් ගතහොත් හැම්ලට් කුමරාගේ තීරණය (Decision) ප්‍රමාද වන්නේ ඇයිද යන්න පැහැදිලි කිරීම සෞන්දර්ය ගැටලුවක් නොවේ. එය ක්‍රියාව පිළිබඳ ගැටළුවකි. කතාවේ න්‍යෂ්ටිය වන්නේ මිනීමරුවකු පෙම්වතා කරගන්නා මවක් පිළිබඳ ආශාවකි. හැම්ලට්ගේ මව විවාහ වී සිටින්නේ ඇයගේ සැමියාගේ ඝාතකයා සමඟය. නමුත් හැම්ලට් මෙම කරුණ ගැන දැන සිටිත්දී පවා තම මවට ආශා කරයි. එබැවින් හැම්ලට්ගේ ආශාව විරුද්ධාභාසයකි. හැම්ලට් තීරණයක් ගැනීම ප්‍රමාද වන්නේ මේ නිසාය.

හැම්ලට් කුමාරයාගේ ගැටළුව ගැන යම් ප්‍රවේශයක් දැන් අපට නිර්මාණය කළ හැක. තම සැමියාගේ වියෝව ගැන ඇය පසුතැවිලි වෙනවාද? නැත්ද? එක පැත්තකින් තම සැමියාගේ ඝාතනයට ඇය වගකිව යුතුය. අනෙක් පැත්තෙන් ඇය ඒ ගැන සමාජයට පෙනෙන්නට පසුතැවිලි විය යුතුය. මෙම තලයන් දෙක එකට මුසු කිරීමට නොහැක. මෙම හේතුව නිසා හැම්ලට් කුමාරයා තීරණයක් ගත හැකි නූතන මිනිසෙක් වීමෙන් වලකියි. සොබාවිකත්වයෙන් සංස්කෘතියට යා හැකි විශ්වාසදායක පාලමක් නැත. ඒ සඳහා ඇති එකම පැසේජය (කොරිඩෝව) වන්නේ උමතුවයි. සොබාවෙන් කැඩී වෙන් වී සංස්කෘතියට ඇතුල් වීමට තීරණයක් ගැනීමට නම් උමතුව අවශ්‍ය වෙයි. මවගේ සැමියා ඝාතනය කිරීමට තීරණයක් ගැනීම අත්‍යාවශ්‍යය. එවිට අර්ථකතනයට ඇති ඉඩ අවසන් වෙයි.

තීරණයක් නොගෙන දිගින් දිගටම සංවාද කිරීම රෝමාන්තික පරමාදර්ශයකි. ප්‍රේමය යනු ගැඹුරෙන් ගත් විට අර්ථකතනයට ඉඩක් නැති අවකාශයකි. සැබෑ ලෙසින් ප්‍රේම කිරීමේදී අප ප්‍රේම කරන වස්තුව ඉදිරිපිට ඇද වැටිය යුතුය. ප්‍රේමය දෙස බලා සිටින, ඒ ගැන විනිශ්චයක් දෙන කිසිවකු මෙලොව නැත. ප්‍රේමය පිළිබඳ තීන්දුව ගත යුත්තේ ඊට අදාළ පුද්ගලයන් දෙදෙනාය.
රොමැන්තිකයකු සෑමවිටම උත්සාහ කරන්නේ තමා අවට ලෝකය හරහා තමන්ව දිදුලන ආකාරයට ප්‍රකාශ කරවීමටය. කවිය, චිත්‍රය, චිත්‍රපටය, නවකතාව හරහා රොමැන්තිකයා තමාව බාහිරට ප්‍රකාශ කරවීමට උත්සාහ කරයි. අවසානයේදී මෙම උත්සාහය අසාර්ථකත්වයෙන් අවසන් වෙයි.
‘ප්‍රේමය’ නම් තේමාව පදනම් කොටගත් බොහෝ චිත්‍රපටවල අපට බාහිර සතුරකු හමු වෙයි. ජනප්‍රිය හොලිවුඩ් සහ බොලිවුඩ් චිත්‍රපටවල මෙම තේමාව බහුලය. ‘දුහුලු මලක්’ චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාව වන නීටා ප්‍රනාන්දු තම හුදෙකලාව මකා ගන්නට විකල්ප පෙම්වතෙක් සොයා ගනියි. අවසානයේ ඇයට තම විකල්ප පෙම්වතාව පෙනෙන්නේ ප්‍රේමයට බාධාවක් ලෙසය. චිත්‍රපටය අවසන් වන්නේ එම බාධාව කපා ඉවත් කිරීමෙනි. සන්නස්ගලගේ ‘වස්සාන සිහිනය’ නවකතාවේ ප්‍රධාන භූමිකාව වන චාපාගේ ප්‍රේමයට රොහාන් නමින් බාහිර බාධාවක් සිටියි. මේ බාහිර බාධාව නොතිබුණේ නම් ‘වස්සාන සිහිනය’ බොහෝ යෞවනයන්ගේ  සිහිනයක් නොවීමට ඉඩ තිබුණි.

සමාජය තුළ වඩ වඩා වානිජකරණය තහවුරු වෙමින් වෙළඳපොළ අධිකාරය තහවුරු වන යුගයකදී මෙම බාහිර බාධාවකට සිදු වන්නේ කුමක්ද? බොහෝ විට සිදු වන්නේ මෙම බාහිර බාධාව ව්‍යාජයක් ලෙස දකින්නට පුහුණු වීමයි. මේ හේතුව නිසා යෞවනයන් ආශ්‍රීත ප්‍රේම කතා ලියවීම වේගයෙන් අප අතරින් අතුරුදහන් වෙමින් පවතියි. අපගේ ප්‍රාර්ථනාවක් ඉෂ්ට කරගැනීමට යාමේදී බාහිර අනෙකක් ඉන්නවා යන හැඟීමයි. සරලව කිවහොත් බාහිර අනෙකෙක් අප දෙස හැරී බලනවා යන අර්ථය අපට එන්නේ බාහිර සතුරකු උපකල්පනය කරන විටය. Titanic නම් චිත්‍රපටයේ බාහිර බාධාව වන්නේ සාමජ පන්තියයි. රෝස් යනු ඉහල පන්තියට අයිති පෙම්වතියකි. ජැක් යනු කම්කරු පන්තියේ සාමාජිකයෙකි. Titanic නැව අයිස් පරයක ගැටුණේ නැත්නම් නිව්යෝර්ක් නගරයට සේන්දු වූ වහාම ඔවුන් විවාහ වනු ඇත. ඉන්පසු නීරස  විවාහ ජීවිතය ඉක්මණින් අවසන් වනු ඇත.

‘ප්‍රේමය නම්’ චිත්‍රපටය තුළ අපට අලුත් ප්‍රශ්නයක් සම්මුඛ වෙයි. එහිදී ප්‍රේමයට බාධාව වන්නේ බාහිරින් පවතින මානසික රෝගයයි. චිත්‍රපටයට එහි නිර්මාණකරුවන් ඉදිරිපත් කරන කතා සාරංශය (Synopsis) මෙසේය.

“තමන්ගේ පෙම්වතිය තමන්ගේ ග්‍රස්ථික පැවැත්ම ආශි්‍රත ව්‍යාකූලතාවයන් (ඔහු තමන්ගේම Urine වලට බිය වෙයි) නිසා තමාව අතහැර යයි. මානසික රෝහලකට ඇතුලත් වන කථානායකයා රෝගය සමඟ ගැටී එය සුව කර ගනියි. නැවත ඔහු කරා බිරිඳ පැමිණෙයි.”

‘වස්සාන සිහිනය’ නවකතාවට වෙනස්ව ‘ප්‍රේමය නම්’ චිත්‍රපයේ කතා වස්තුවට අනුව බාහිර සතුරෙකු කතාවට නැත. එය දැන් අභ්‍යන්තරයේම ගිලී ගිය සතුරෙකි. මේ වන විට කිසිවකු තව කෙනෙකුගේ ‘ප්‍රේම කතාව’ දිහා බලන්නේ නැත. එබැවින් සමකාලීන ආදර කතාවලට තම සම්බන්ධය තුළින්ම සතුරකු සොයා ගැනීමට බල කෙරී ඇත. මානසික අබාධය යනු මෙම සතුරාගේ සමකාලීන රූපකයයි. අඩුම වශයෙන් ප්‍රේමයට මේ වන විට දුෂ්ටයකු හෝ  සොයා ගැනීමට නොහැකි වී ඇත. Facebook යුගයේදී දුෂ්ටයා පවා හුදු ප්‍රබන්ධයක් හෝ fake කෙනෙක් පමණි. ප්‍රේමයට දුෂ්ටයා අහිමි වීම නිසා එය නපුරු ලෙස යළි පැමිණ ඇත්තේ ‘මානසික රෝගයක’ ස්වරූපයෙන්ය. පෙම්වතුන්ට දැන් ප්‍රේමය යළි තහවුරු කර ගැනීමට සිදු වී ඇත්තේ මානසික රෝග සමතික්‍රමණය කිරීමෙන්ය. ප්‍රේම කතාවලින් දුෂ්ටයා අතුරුදහන් වීම නිසා සමාජ කතිකාව තුළ රෝග ලක්‍ෂණයක් ලෙස ස්වපීඩාව සහ පරපීඩාව ප්‍රේම සබඳතා ලෝකයට එන්නත් වී ඇත. මේ මෙහොතේ ප්‍රේමය අර්ථයක් හෝ දැනුමක් නොවී එය වේදනාවෙන් සතුටු වීමක් දක්වා පල්ලම් බැස ඇත. ප්‍රේමයට දැන් විඥාණයක් අවශ්‍ය කර ඇත.

දීප්ති කුමාර ගුණරත්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: