සිම්බාබ්වේ සටනට එන සිංහ පැටව් මෙන්න

June 28, 2017 | 11:00 am    0   112

සිම්බාබ්වේ සටනට එන සිංහ පැටව් මෙන්න

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත තරගාවලියේ පළමු එක්දින තරග දෙක සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් තේරුම් කමිටුවේ සභාපති සනත් ජයසුරිය මහතා විසින් ප්‍රකාශයට පත්කර ඇත.

ඒ අනුව ශුරයන්ගේ කුසලාන තරගාවලියට සහභාගී වූ ජේෂ්ඨ ක්‍රීඩකයන් වන දිනේෂ් චන්දිමාල්, තිසර පෙරේරා, නුවන් කුලසේකර, චාමර කපුගෙදර යන ක්‍රීඩකයින් සංචිතයෙන් ඉවත්කර ඇත. තවද ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ පාකිස්තාන කණ්ඩායමට එදිරිව තරග වැදුණු ධනංජය ද සිල්වා හට ද මෙවර සංචිතයේ ස්ථානය අහිමි වී ඇත. එමෙන්ම කලව ප්‍රදේශයේ ආබාධවලට ලක්ව සිටින කුසල් පෙරේරා හා සීකුගේ ප්‍රසන්න වෙනුවට වෙනත් ක්‍රීඩකයින් දෙදෙනෙකු ද ආදේශ කර ඇත. මේ දිනවල මහත් ආන්දෝලනයකට තුඩු දුන් ලසිත් මාලිංගට ද මෙම සංචිතයේ දොරගුළු විවරවී ඇත.

වේග පන්දු යවන ක්‍රීඩක දුශ්මන්ත චමීර ආබාධයකින් අනතුරුව සුවය ලබා මාස 18කට පමණ පසු නැවතත් ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියට අවතීර්ණ වන අතර, ඔහු අවසන් වරට ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් (ටෙස්ට් තරගයක්) ක්‍රීඩා කර ඇත්තේ පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ දී ය.

ඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජය ද වසර 5කට පමණ පසුව නැවතත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පැමිණෙන අතර ඔහු 2012 වර්ෂයේ දී පැවැත්වූ ලෝක ශූරතා 20-20 ක්‍රිකට් තරගාවලියේ තරග 5ක් තුල කඩුලු 7ක් දවා ගනිමින් දස්කම් දැක්වූ ක්‍රීඩකයෙකි. එමෙන්ම පළමු පෙළ ක්‍රිකට් තරග 39කදී කඩුලු 36ක් දවා ගැනීමට ද සමත් වී ඇත.

තවමත් 19 හැවිරිදි වියේ පසුවන වනිඳු හසරංගව ද ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට ප්‍රථම වරට කැඳවා ඇත. ඔහු පසුගිය වර්ෂයේ දී ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම නියෝජනය කරමින් බංග්ලාදේශයේ දී පැවැත්වූ ලෝක ශූරතා ක්‍රිකට් තරගාවලිය සඳහා ද තම දායකත්වය සපයා ඇත. මේ වන විට ඔහු ශ්‍රී ලංකා 23න් පහළ සංවර්ධිත කණ්ඩායම ද නියෝජනය කර ඇත.

වේග පන්දු යවන ක්‍රීඩක ලහිරු මධුෂංක නිමා වූ දකුණු අප්‍රිකානු ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් අවසන් වරට ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කර ඇත.

සිම්බාබ්වේ කණ්ඩායම සමඟ තරගාවලිය ජුනි 30 සිට ආරම්භවීමට නියමිතය.

ශ්‍රී ලංකා සංචිතය ඇන්ජලෝ මැතිව්ස් (නායක), උපුල් තරංග, ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස් , නිරෝෂන් දික්වැල්ල, අසේල ගුණරත්න, වනිඳු හසරංග, ලහිරු මධුෂංක, අකිල ධනංජය, ලක්ෂාන් සඳකැන් , නුවන් ප්‍රදීප්, දුශ්මන්ත චමීර, ලසිත් මාලිංග

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: