සිවුරු අන්දන්න ගස් ගොඩක් තියෙනවා

April 17, 2017 | 12:00 pm    0   216

සිවුරු අන්දන්න ගස් ගොඩක් තියෙනවා

රටක ආර්ථික වර්ධනයට සෘජුවම බලපාන දෙයක් හැටියට ඒ රටේ ප්‍රවාහන පද්ධතියේ තත්ත්වය සලකනවා. උසස් තත්ත්වයේ පුළුල් මාර්ග තියෙන එක සාමාන්‍ය ජනතාවටත් ඉතා වටින දෙයක්. මිනිස්සුන්ගේ කාලය ඉතුරු කරගන්න හොඳ විදියක්. මේ මොන දේ හරියට වෙන්නත් ඒ රටේ මිනිස්සුන්ගේ ආකල්ප හොඳ වෙන්න ඕන. මිනිස්සු විද්‍යාත්මකව හිතන්න ඕන.

පහුගිය දවසක පන්නිපිටියේ බෝ ගසක් ඉවත් කරන්න ගිහින් විශාල ජරමරයක් වුණා. ඉස්සර ඔය කියන තැන මාර්ගය වැටිලා තිබුණේ කඳු දෙකක් අතරින් පාර ටිකක් පටුයි. කොට්ටාවේ අධිවේගී මාර්ගයත් එක්ක මේ ප්‍රදේශයේ වාහන ප්‍රමාණය සීඝ්‍රව වැඩි වුණා. ඒ නිසාම කඳු දෙක අතර පුරවලා මාර්ගය පුළුල් කළා. දැන් එතන දෙපසටම වාහන හයක් විතර එක වර මාරු වෙන්න පුළුවන්. ඒත් බෝ ගහ හින්දා පාරේ එක තැනක් පටුයි. පාර පුළුල් වුණ එකේ වාසිය ගන්න බෑ ඒ හින්දා.
මාර්ග සංවර්ධන අධිකාරියෙන් බෝ ගහ ඉවත් කරන්න ආවාම මහා විශාල බෞද්ධයෝ ටිකක් ඇවිත් උද්ඝෝෂණය කරලා වැඩේ නැවැත්තුවා. මීට කළින් කවදාවත් නැති භක්තියකින් බෝ ගහ ඇන්දුවා. දැන් බෝ ගහ රකින සංවිධානයකුත් තියෙනවා.

මේ වැඩේමයි කොට්ටාවේ හන්දියේ උනෙත්. මිනිස්සුන්ගේ කඩ සාප්පු කඩලා නගරයේ පාරවල් විශාල කළා එක තැනක බෝගහ හින්දා වාහන සේරම තද වෙනවා. ඒක ඉවත් කරන එකටත් කට්ටිය විරුද්ධයි. එතනටත් පිළිමයක් වැඩිය. මහා විශාල භක්තියක් තියෙන්නේ මේ මිනිස්සුන්ට.

හැබැයි බුද්ධ දර්ශණය කියන්නේ හරිම තාර්කික, විද්‍යාත්මක දර්ශණයක්. බුදු දහම හරියටම දන්නවා නම් මේ බෝ ගස් දෙකම ඉවත් කරන එකට කවුරුත් විරුද්ධ වෙන්නේ නෑ. ගෞතම බුදුන් ජීවමානව වැඩ හිටියානම් උන්වහන්සේ මේ තැන්වලට වැඩලා මේ බෝ ගස් දෙකම ඉවත් කරන්න කියලා ධර්මය දේශණා කරනවා සහසුද්දියෙන්ම. එහෙම වුණා නම් මේ අයට මාර්ගඵල ලබන්නත් තිබුණා.

මේ ඔක්කොම අස්සේ කොට්ටාව නගරේ තමයි ලංකාවේ ආතල්ම තැන කියලත් මට හිතෙනවා. කොට්ටාවේ හන්දියේ විතරක් රට බීම සැල් (wine stores) හතක් තියෙනවා. බාර් පර්මිට් තියෙන අවන්හල් (restaurants) පහක් තියෙනවා. කොට්ටාවේ ධර්මපාල ඉස්කෝලේ ඉඳන් මීටර් 100 යන්න කලිනුත් එක රට බීම හලක් තියෙනවා. කොළඹ ප්‍රධාන නගරේ ඉඳන් එළියට බහිනකොට හම්බවෙන පළවෙනිම නයිට් ක්ලබ් එක තියෙන්නෙත් කොට්ටාවේ. හැබැයි මේවට නම් විරුද්ධ වෙන්න එපා. එහෙම වුණොත් කොට්ටාව මලානික වෙයි.

බෝ ගහ ඉවත් කරන එක ගැන අපි කතා කරන්නේ බුද්ධාගමට විරුද්ධව නම් නෙමෙයි. අපි කිසිම ආගමකට විරුද්ධ නෑ. රටේ ජනතාවට ප්‍රශ්නයක් වෙන ඕනම තැනක තියෙන බෝ ගසක් විතරක් නෙවෙයි ඕනම සුරුවමක් හරි වෙන ආගමික දෙයක් හරි ඉවත් කරන්න ඕන නම් අපි එතන ඉන්නවා.

ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර කියන්නේ සංඝ පීතෘවරයෙක්. උන්වහන්සේ උගත් බුද්ධිමත් ආගමික නායකයෙක් හැටියට ලංකාවම පිළිගන්නවා. මං දන්න විදියට උන්වහන්සේ ගේ මතයත් බෝ ගහ ඉවත් කරන්න ඕන කියන එක. උන් වහන්සේ එහෙම හිතනවා නං ඒ උන්වහන්සේ බුදු දහමට නිගා කරන දෙයක් හිතනවා නොවෙයිනේ. ඒක තමයි ප්‍රායෝගික විද්‍යාත්මක යථාර්තය.

කොහොම උනත් බෝ ගස්වලට සිවුරු අන්දලා මේ කරන වැඩෙන් තමයි බුදු දහම පහත වැටෙන්නේ. බුදු දහම රකින්න නම්, ආගමට ගෞරව කරන්න නං විද්‍යාත්මකව, ප්‍රායෝගිකව හිතන මිනිස්සු බිහි වෙන්න ඕන.

ලෝකයේ මෙතෙක් බුදුවරු විසි අට දෙනෙක් පහල වුණා කියලා තමයි අපි ඉගෙන ගෙන තියෙන්නේ. ඒ සෑම බුදුවරයෙක්ම පිට දුන්නේ ඇසතු ගසකට, එයට තමයි බෞද්ධයෝ වන්දනා මාන කරන්නේත එහෙම ගත්තොත් අපිට නා, රුක් අත්තන, කෑල, පලොල්, නෙරළු, සල්කළණ, කුඹුක්, බුරුත, සලල, බක්මී, හුණ, සපු, රත් කරව්, කිණිහිරිය, කොහොඹ, නෙල්ලි, ඇටඹ, සල්, මාර, දිඹුල්, නුග මේ සෑම ගහකටම සිවුරු අන්දන්න වෙනවා. මේ සේරම බුදු වරු පිට දුන් බෝධීන් හැටියට සලකන්නේ.

දුමින්ද බොරළුගොඩ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: