සුනාමියෙන් පාසල් සිසුන් 30 කගේ දිවි බේරාගත් සුමතිපාල මාමා

December 28, 2016 | 7:25 pm    0   622

සුනාමියෙන් පාසල් සිසුන් 30 කගේ දිවි බේරාගත් සුමතිපාල මාමා

මිනිස්සු ජීවිතේට මුහුණ දෙනව වගේම ජීවිතේ වෙනුවෙන් මුහුදට ජීවිතේ දෙන මිනිස්සුත් ඉන්නවා. මුහුද අයිනෙ ජීවිතවලට අපි කියන්නේ වැල්ලේ ජීවිත කියලා. වැල්ලේ විවිධාකාර ජීවිත තියනවා. මුහුදු රස්සාවට මාළු අල්ලන්න යන මිනිස්සු වගේම ලෝකෙ වටෙන්ම සුදු පාට පෙන නඟින නිල්පාට මුහුදේ රහ හොයාගෙන එන මිනිස්සුන්ට මුහුද පෙන්නන බෝට්ටු අහ හොයාගෙන එන මිනිස්සුන්ට මුහුද පෙන්නන්න බෝට්ටු සවාරි එක්කරගෙන යන කිමිදෙන ගොඩ එන ජීවිතත් මේ වැල්ලේ තියෙනවා.
නැගෙන පෙරළෙන හැපෙන විසිරෙන රළ දිහා බලාගෙන සුමතිපාල මාමත් මේ මුහුදත් එක්ක ඔට්ටු වෙනවා. හික්කඩුව කොරලවැල්ල සුමතිපාල මාමගේ රාජධානිය. හැමදාම උදේ අටහමාර වෙනකොට ගෙදරත් ජීවත් වෙන්නේ වැල්ලෙ කඩවල ගැට ගහලදාල ආපු බෝට්ටු අෑතට අෑතට යන්න අවසර ඉල්ලලා කෑගහන නිසා සුමතිපාල මාමගෙ රස්සාව හික්කඩුවෙ කොරල් බලන්න මුහුදෙ එහාට මෙහාට සංචාරකයන් එක්කරගෙන යන එක. සුමතිපාල මාමාටම කියලා බෝට්ටු තුනක් තිබුණා. ඒක නිසා අපේ බෝට්ටුවත් එක්ක ටර්න් එකට කරගෙන ගිය වැඩේ නිසා සුමතිපාල මාමගෙ දවල් දවසම ගෙවුණෙ වැල්ලේ. මේ සමාජ ආස්සරෙත් මනුස්සකමත් එක්ක මුළු හික්කඩුවම සුමතිපාල මාම කිව්වම අඳුරනවා.
සුමතිපාල මාම වගේම ගොඩක් ජීවිත ජීවත් කෙරෙව්වේ මුහුද වගේම වැල්ලට වෙලා මුහුද දිහා බලාගෙන ඉන්න සුමතිපාල මාමා දිහා බැලුවම අපට හිතෙන්නේ මුහුද බලා කියාගන්න ඉන්න මුරකාරයෙක් වගේ කියලා. වැල්ලට එන පොලිතින් කෑල්ලක් වැටෙන්න නොදී දියඹත් එක්ක ඔට්ටුවෙන ජිවිත වගේම විනෝදෙට මුහුදෙ බැහැලා දඟ කරන ජීවිත දිහාත් මාමා බලාගෙන හිටියේ කාටත් හොරෙන්. ඒ ඇස් යට මුහුදත් එක්ක බැඳුණු කතන්දර ගොන්නක් තිබුණා. ඒ ගොන්නෙ එක කතන්දරයක් හොයාගෙන අවුරුදු 63ක් මේ මහ පොළොවේ කරක්ගහන අවුරුදු 35ක් මහ මුහුදත් එක්ක ජීවත් වෙන සුමතිපාල මාමව හොයාගෙන අපි හික්කඩුව කොරළවැල්ලට ගියා.
හික්කඩුව නගර සභාව ඉස්සරහ තාප්ප දෙකක් මැද්දෙන් වැල්ලට බහිද්දී හිතුණේ මීට අවුරුදු 12කට කලින් දවසක් ඒ දවසට අපි දැන් කියන්නේ පුංචි දවස කියලා.
මහා ඛේදවාචයක පිටිපස්සෙන් මනුස්සකමත් එලෝගෙන එනවා කියලා අපි දැනගත්තේ 2004 දෙසැම්බර් 26 වෙනිදා.
සුපුරුදු පරිදි සුමතිපාල මාම ගෙදරින් පිටවුණේ වැල්ලට එන්න. අහසේ පොඩි අඳුරු ගතියක් තිබුණත් මුහුද වෙනදා වගේම නිසංසලයි. මම මහත්තයගේ වාඩියට ආවේ වෙනදා වගේ කොල්ලෝ ටිකට බෝට්ටු ටික දීලා බිස්නස් එකක් එනකං බලාගෙන. ඔය වෙලාවේ පුංචි එවුන් ගොඩක් එක්ක මිස්ල සර්ලා කට්ටියක් වැල්ලට ආවා. කවුරු වුණත් වැල්ලට ආවම අපි කතාබහ කරනව. මේ කෑගල්ල පැත්තේ ඉස්කෝලෙක ළමයි. ඉස්කෝලෙන් චාරිකාවක් යන ගමන් කොරල් බලන්නයි වැල්ල පාගන්නයි, වැල්ලට බැස්සේ. උන් හරි විනෝදෙන් වතුරට පැනලා උන්නේ. මාත් එක්ක තව තුන් හතර දෙනෙක් හිටියා. පුංචි බෝට්ටුවල යන ඕනම මනුස්සයෙකුට තමන් කරන වැඩේ ගැන ඉවක් තියනවනේ මහත්තයෝ. කොහොමත් උදේ 9ට විතර මං වාඩියේ වාඩිවෙලා පොඩි එවුන් සෙල්ලම් කරන දිහා බලාගෙන උන්නා. මගේ බෝට්ටුවෙන් දියඹට යන්න පිටත් වුණා විතරයි මුහුදෙ ලොකු ගස්මක් එනවා මං දැක්කා. එහෙම වතුර පාර ගැස්සෙනවා කවදාවත් දැකලා තිබුණේ නෑ. මට ළඟ ඉඳපු අපේ එකෙක්ට මේක කිව්වම පිස්සු නැතුව ඉඳහං සුමති අයියා කියලා කිව්වා. ඒත් මට ඒ ගැස්ම ඒ තරම් ඇල්ලුවේ නෑ. හිච්චි පැටවු 35ක් හිටියා. මම කෝකටත් කියලා ඉක්මණට ගොඩවෙන්න කියලා කෑගහගෙන වාඩියෙන් බහින කොට අඩි 7ක විතර වතුර පාරක් පොඩි එවුන් ටිකත් උස්සගෙන වැල්ලට කඩා වැදුණා. මොකුත් හිතාගන්න බෑ මහත්තයෝ මීට කලින් මෙහෙම දෙයක් අපි දැකලා තිබුණේ නෑ. ඉස්කෝලේ හාමිනේලත් එක්ක හිටපු ළමයි ටික එතන තිබුණු වැට බදාගෙන හිටියා. අනික් පොඩි එවුන් රැල්ලත් එක්ක ආපස්සට ඇදිලා යද්දි මං පැනලා දඩිබිඩි ගාලා ගොඩට අරගෙන වැල්ලට ගෙනත් දැම්මා. ඒ වෙනකොටත් හිටපු අනිත් අය සී සී කඩ දුවලා ඉවරයි. ඒත් එක්කම තමයි මහමුහුද එකපාරටම හිඳිලා ගියේ. ඒ ආපු පලවෙනි රැල්ල. දඩිබිඩි ගාලා පොඩි එවුන් ටික ගොඩට ගෙනත් ඇරලවලා බස් එකට දුවන්න කියලා කියද්දි මගේ හිතට ආයෙත් දෙගිඩියාවක් ආපු නිසා ඔක්කොම පොඩි එවුන් ටිකත් ඇදගෙන එහා පැත්තේ තියෙන කන්ද පැත්තට දුවන්න කියලා දුවගෙන ගියා. ළමයි ටික යවලා මම ආයෙත් වැල්ලට දුවගෙන ආවේ බෝට්ටු තුනට මොකද වුණේ කියලා බලන්න. වැල්ලට කොච්චර පොඩි එවුන් ආවත් ඉස්කෝලෙ ඇඳුම පිටින් හිටපු මේ පොඩි එවුන් මගේ කොල්ලො දෙන්නා වගේ වැල්ලෙ දඟල දගල උන්නු හැටි මතක් වුණා. එනකොට එක බෝට්ටුවක් ගොඩ ගහලා අනිත් එක හිදිච්ච මුහුදේ එහෙම්මමයි. මොනව වුණත් ඔය බෝට්ටු තුනනේ මහත්තයෝ අපේ ජීවිතේ රැක්කේ.
මුහුදේ හිඳිලා කොහොමටත් විනාඩි 20ක් විතර තිබුණා. පලවෙනි රැල්ල ආවේ උදේ නවයට විතර. ඒ රැල්ලෙන් ගොඩගහපු මාළු අල්ලන්න ගොඩක් මිනිස්සු වැල්ලට බැස්සා. සීනිගම දේවාලේ පූජාවට එදා තුන්දාහක් විතර ඉඳලා තියෙනවා. මමයි, මගේ බෝට්ටු බලාගන්න දරුවයි මොකද වෙන්නෙ කියලා මුහුද දිහා බලාගෙන හිටියා. මොනව ද වෙන්නේ මොනව ද කරන්න ඕනෙ කියලා අපට හැඟීමක් තිබුණෙම නෑ. ගෙවල්වල මිනිස්සුන්ට මොනව වුණා ද කියලා බලන්න යන්න අනිත් පැත්ත හැරෙනකොට මුහුදේ අෑතින් අඩි තිස්පහක විතර මහරැල්ලක් එනව දැක්කා. කරන්න දෙයක් නැතිකමට අපි දෙන්නා වාඩිවෙලා හිටපු ගහට නැග්ගා. වැල්ලට ඇවිල්ල හිටපු මිනිස්සු ඔක්කොම දුවන්න පටන්ගත්තා. මහපුදුම වේගෙකින් ඒ රැල්ල වැල්ලට කඩාවැටුණේ. අපි දෙන්න නැගලා හිටපු ගහ දෙදෙරන්න පටන් අරන් මම අත්තත් එක්ක කඩා වැටුණා. එතන තිබුණු හෝටලය පැත්තට ගහගෙන යද්දි ඒකෙ කොන්ක්‍රීට් කණුවක එල්ලිලා යන්තන් පණ බේරගත්තා. ආයෙ වතුර පාර මුහුද පැත්තට අදින්න පටන් ගන්නකොට ගොඩ තිබුණු සේරම ඇදගෙනයි ගියේ. තනිකරම මහා මඩවතුරක් ආවේ මහත්තයෝ.
වතුර පාර බැහැලා ගියාට පස්සේ මහ කරුමක්කාර හැඟීමක් අවේ. හැමදේම බිමට සමතලා වෙලා. ඒ වෙලාවේ ගෙදරයි හිටියේ පවුලයි, පුතයි, පුතා බැඳපු දුවයි. මම දූවගෙන ගියේ ගෙදරට. යනකොට ගෙදරින් භාගයක් කඩන් වැටිලා. ගෙදර හිටපු මිනිස්සු ගැන කිසිම හෝඩුවාවක් තිබුණෙ නෑ. මං එයාලව හැමතැනම හොයන්න පටන්ගත්තා. අඩියක් අඩියක් ගාණේ කැඩිච්ච ගෙවල් මැද්දේ මැරිච්ච මිනිස්සු. බේරලා යවපු ළමයින්ට මොනව වුණා ද කියලා දන්නෑ. එයාලා ආපු බස් එක ස්ටේෂන් එකට එහාපැත්තේ පෙරලිලා තිබිලා හම්බුණා. මම හැමතැනම ඇවිදලා ඇවිදලා ඇඳිරි වැටෙද්දි ගෝණපීනුවල පැත්තට හෙමින් සැරේ පයින් ගියා. රැල්ල එනකොට දුවපු මිනිස්සු බද්දෙගම පැත්තට දුවලා තිබ්බේ. මඟක් යද්දි ගෙදර අය මාව හොයාගෙන ආයෙත් ගමට එනවා. එයාලා ගෝනපීනුවල පන්සලකට දුවලා බේරිලා තිබුණා.
අදටත් ඒ දවස මහ පුදුමාකර වේදනාවක්. එකට හිටපු ගොඩක් මිනිස්සු නැති වුණා. මාත් එක්ක ගහේ එල්ලිලා හිටපු දරුවා මේ ළඟදි මුහුදෙ ගිලිලා නැති වුණේ. මාස හයකට විතර කලින් රූපවාහිනියෙන්් ඇවිත් වැල්ලේ කරපු වැඩසටහනකට අපි මේ කතාව කිව්වා.
කොයිතරම් වේදනාවක් වුණත් ජීවිත තිස්පහක් බේරපු සතුට මට තියෙනව මහත්තයෝ. ඒ පොඩි එවුන් ටික ආයෙත් දකින්න තියෙනවා නම් කියලා ආසාවක් හිතේ තියෙනවා.
සුමතිපාල මාමගේ ඒ අහිංසක මනුස්සකමේ ආසාව ඉෂ්ට කරන්න ආදරණීය මිනිස්සු විදිහට මැදිහත් වෙන්න අපි කැමතියි. ආදරය මුණගස්වන්න තියෙනව නම් ඊට එහා වටිනාකමක් අපිට නැහැ. කෑගල්ලේ ඉස්කෝලේ කවුරුහරි ඉන්නව නම් කතා කරන්න. සුමතිපාල මාමා ඒ දරුවො දකින ආසාවෙන් හික්කඩුවෙ කොරලවැල්ලේ වාඩියේ මුහුද දිහා බලාගෙන තවමත් ඉන්නවා.
සුමතිපාල මාමා
සටහන – කසුන් ගනේවත්ත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: