සුර ඇසුර යුද ජය තහවුරු කරමින් කතරගම පෙරහැර පටන් ගත්තේ මෙහෙමලු

August 4, 2017 | 7:00 am    0   291

සුර ඇසුර යුද ජය තහවුරු කරමින් කතරගම පෙරහැර පටන් ගත්තේ මෙහෙමලු

විශාල බැතිමතුන් පිරිසක් පිරිවරාගනිමින් කතරගම පුරවරය මේ දිනවල කාර්යබහුල වන්නේ වාර්ෂිකව පැවැත්වෙන ඇසළ මංගල්‍යය ආරම්භ වීමත් සමඟයි.

පැරණි සිරිත් විරිත් හා චාරිත්‍රානුකූලව හැඩ ගැසෙන ඇසළ පෙරහැර මෙවරත් ඉතා සාර්ථක අයුරින් ආරම්භ වූයේ ඉකුත් 24 වනදාය.

ඉතා දිගු ඉතිහාසයකට නෑගම් කියන කතරගම ඇසළ මංගල්‍යය මෙවරත් කිරිවෙහෙර රාජමහා විහාරාධිපති නාහිමිපාණන් වහන්සේ ඇතුළු සංවිධායක මණ්ඩලයේ සහභාගිත්වයෙන් ආරම්භ වී අදට දින ගණනාවක් ගතවී ඇත.

ඇසළ මංගල්‍යය සෑම අවුරුද්දකම ආරම්භ වන්නේ කප් සිටුවීමෙන් දින හතළිස් හතරකට පසුවයි. මෙය සෑම වර්ෂයකම ජූලි මාසයේ යෙදී තිබීමට හේතු කාරණා පොතපතේ විවිධාකාරයෙන් සටහන්වේ.

සුරයන් හා අසුරයන් අතර පැවති යුද්ධයේ ජයග්‍රහනය සිදු වූයේ ජූලි මාසයේ බැවින් ඇසළ මංගල්‍යය සෑම අවුරුද්දකම ජූලි මාසයේ ආරම්භ වන බව මුඛ පරම්රාගත පිළිගැනීමක් ඇත.

එලෙසම උතුරු ඉන්දියානු පුද සිරිත් හා චාරිත්‍ර විධි රැගෙන ක්‍රි.පූ. පස්වන සියවසේදී පමණ විජය ඇතුළු කණ්ඩායමේ ලංකා ආගමනයත් සමඟ ලංකාවේ ඇසළ උත්සවය ආරම්භ වූ බව පැරණි මූලාශ්‍රවල සඳහන් වේ.

කෙසේ වෙතත් ඉතා උත්කර්ෂවත්ව හා අලංකරව ඉකුත් 24 වැනිදා ආරම්භ වූ කතරගම ඇසළ පෙරහැර මුල් දින පහ තුළ ගමන් කෙරෙනුයේ දේවාලයේ පිට වීදියේ පමණි. මුල් දින පටන් පැවැත්වෙන පෙරහැර මඟුල් පෙරහැර නමින් හැඳින්වෙන අතර මේ දිනවල පැරණි චාරිත්‍රයක් වශයෙන් කැවුම්, කිරිබත් ආදී කැවිලි පිළියෙල කිරීම අතීතයේ සිට පැමිණ එන සිරිතකි.

දේවාභරණ ගෙන යන ඇතුට වස්ත්‍ර ඇතිරීමෙන් පසු පෙරහැර ආරම්භ වන්නේ ඉර හඳ නිරූපණය කෙරෙන පිත්තල සේසත් සහ දිසා කොඩි දරන උපාසක පිරිසගෙනි.

ඉන්පසුව අපට දැනගත හැකි වන්නේ පැරණි උඩරට නිලමේ කෙනෙකු වන බස්නායක නිලමේ සහ දේවාලයේ ලේකම්වරයායි.
ඔවුන් දෙපස කපුරු හා පහන් අතැති තේවාකරුවන් සහ ඇතු පිටුපසින් අත්වැල් බැඳගෙන ගමන් කරන්නේ ආලත්ති අම්මලා ය.
එසේ ආරම්භ වන පෙරහැර අලි ඇතුන් හා විවිධ නර්තනාංගයන්ගෙන් ද සමන්විත වී ආලෝකමත් වූ දේවාල භූමිය දිගේ ගමන් ගන්නේ නරඹන්නන්ගේ සිත් තුළ මනහර හැඟුමක් ඇති කරමිනි.

මේ සියලු කාර්යයන් හමාර කොට එනම් දින කිහිපයක් මුළුල්ලේ පැවැත්වුණු ඇසළ පෙරහැර අවසන් වන්නේ ලබන මස 07 වන දින පැවැත්වෙන මහ පෙරහැර මංගල්‍යයෙන් පසුදින යෙදෙන දිය කැපීමේ මංගල්‍යයෙනි.

මහ පෙරහැර මංගල්‍යය අනෙක් පෙරහැර දිනයන්ට වඩා විශේෂ වන්නේ එය කිරිවෙහෙර දක්වාම ගමන් කොට කිරිවෙහෙර අබියස සිට පෞරාණික සම්ප්‍රදායන්, නියමයන්ට අනුව පුද පූජාවන් පැවැත්වීමය.

පෙරහැර මංගල්‍යයේ දින ගණනාවක් ගෙවී ඇති මුත් බැතිමතුන්ගේ කිසිම අඩුවක් නැත. දේවාශිර්වාදය පතා තවමත් ඇසළ මංගල්‍යය වෙනුවෙන් කතරගම නොපැමිණි ජනතාවට ඉදිරි දින කිහිපය තුළ කතරගම ඇසළ මංගල්‍යය නැරඹීමට තවමත් අවස්ථාව ඇති බව මතක් කළ යුතුයි.

ඓතිහාසික වටිනකමක් සහිත කතරගම දෙවියන්ගේ ජීවමාන අඩවියට පැමිණ එලෙස භාර හාර වී යන සියලු බැතිමතුන්ගේ එකී අරමුණු සාර්ථක වේවායි අවසන් වශයෙන් අපි ප්‍රාර්ථනා කර සිටින්නෙමු.

ලක්මාල් විජේවර්ධන

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: