සුවඳින් මිනිසුන් සොයා යන හඳුන්කුරු මාමාගේ කතාව

September 6, 2017 | 8:00 am    0   217

සුවඳින් මිනිසුන් සොයා යන හඳුන්කුරු මාමාගේ කතාව

 

පෝය සුළඟට බෙල්ලන්විල පූජා භූමිය සුවඳ කරන ඒ මහා සිල් සුවඳ ඇතුළේ මහා අපූරු මිනිස් සුගන්ධයක් සැඟවිලා තියෙනවා වගේ දැනෙනවා. ඒ හඳුන්කූරු සුගන්ධය ආරියදාස මාමාගේ මහා උපේක්ෂාවක සුවඳ කියලා අපට දැනුණේ මේ දෑස් නොපෙනෙන අවිහිංසක මනුස්සයා තමන්ගේ ජීවිතේ අපේ ඉදිරියේ දිග හරිද්දී…..

රූපවාහිනී තිරයේ මැවෙන රූපවලින් සියයට 99කටත් වඩා චරිත රඟපාන ඒවා කියලා අපි දන්නවා. ඒත් ඒ රූපවාහිනිය ඇතුළේ සුවඳින් මිනිස්සු අඳුනගන්න ආරියදාස මාමාගේ චරිතය රංගනයක් නොවන බව ඒ කතාව ඇහුවම අපට දැනුණා. අපි මේ කතා කරන්නේ සුවඳ හොයාගෙන අපි ළඟට ආපු බෙල්ලන්විල හඳුන්කූරු විකුණලා ජීවිතය සරි කරගන්න කාගෙත් දෙනෙතට මිනිස් සුවඳක කඳුළු මුහුකළ වෙළඳ දැන්වීමක ඇත්තටම දෙනෙත් නොපෙනෙන ආරියදාස මාමාත් එක්ක.

මාමගේ ඇස් දෙකම කොහෙත්ම පෙනීම නැද්ද?

අන්ධකාරේ විතරයි මහත්තයෝ.

කොහොමද මාමා මේ දේ සිද්ධ වුණේ? උපතින්ම ද?

මට අවුරුදු 13දී තමයි මුලින්ම පෙනීම නැතුව යන්න පටන් ගත්තේ. 1976යේ 77තේ මුලින්ම දකුණු පැත්තේ ඇහැ පෙන්නේ නැතුව ගියා. ටික කාලයක් යද්දී දෙකම නොපෙනී ගියා.

මාාමගේ මුල් ගම මේ දැන් ඉන්න පිළියන්දලම ද?

අපොයි නෑ. මං වලස්මුල්ලේ. ඔය හිටපු ජනාධිපතිතුමාලගේ ගෙවල්වල ඉඳගෙන හැතැප්ම පහක් විතර ඇති. ඒ කාලේ අපි කොළඹ අහල විතරයි තිබුණේ.

කොහොමද එතකොට කොළඹ රටට එන්නේ?

එතකොට ප්‍රේමදාස මහත්තයගේ කාලෙනේ. හැත්තෑහතේ ඡන්දේ තියෙනකොට බෙලිඅත්ත ආසනෙන් ඡන්දෙ ඉල්ලපු රංජිත් අතපත්තු මහත්තය අපේ ගෙදරටත් අවා. එය හිටපු සෞඛ්‍ය ඇමතිනේ. ඉතින් මං එයාට කිව්වා ඇස් දෙක හොඳ කරගන්න මාව කොළඹ යවනවා නම් සපෝර්ට් එකක් දෙනවා කියලා. එතකොට මට ඡන්දෙත් නෑ ඉතින් ඊට පස්සේ එයා ඡන්දෙන් දිනුවා. මං ගියා එයාව බලන්න. මට රුපියල් විස්සක් දීලා ලියුමකුත් ලියලා දුන්නා කොළඹ එන්න. ඒ කාලේ ගෙදර ඉඳන් මාතරට එන්න රුපියල් දෙකයි යන්නේ. එතනින් කෝච්චියේ කොළඹට රුපියල් හයයි. ඒ ආපු ගමන තමයි මේ මං තාම ඉන්නේ.

ඒ කියන්නේ ඊට පස්සේ ගමේ ගියේම නැද්ද?

මං හැදුණේ ආච්චි ළඟ. තාත්ත මං පුංචිම කාලේ නැති වුණා. මං ආච්චි ගාවට වුණා. සහෝදර සහෝදරියෝ ඉන්නවා එයාල අම්ම ළඟ. කොළඹට ආපු කාලේ ගෙදර යන්න ලැබුණේ නැහැ. පස්සේ මං යන්න පුරුදු වුණා දැන් අවුරුද්දකට සැරයක් යනවා.

එතකොට දැන් මාමගේ වයස?

උපන්නේ 1961. 51 ක් වෙනවා.

කොළඹට ඇවිත් මොකද කළේ?

මම කෙලින්ම ආවේ ඇස් වාට්ටුවට, වීරසිංහ කියලා දොස්තර මහත්තයෙක් ළඟ මං හිටියේ. දෙකේ වාට්ටුවෙයි හතේ වාට්ටුවෙයි මාසයක් විතර හිටියා. ඉතින් හොඳ කරන්න බෑ කිව්වා. ඉතින් ඇටෙන්ඩන් මිස්ලා එහෙම මා එක්ක හිතවත්. මං කිව්වා මට මොකක් හරි රස්සාවක් හොයල දෙන්න කියලා. ඉතින් තව උත්සාහ කරමු කියලා ස්කන්ද රාජා කියලා දෙමළ දොස්තර නොනා කෙනෙක් ළඟ මං අවුරුද්දක් විතර හිටියා හරි හොඳයි ඒ නෝනා. ඔපරේෂන් එකකුත් කළා. එත් පෙනීම ගන්න බැරි වුණා. ඉතින් ඊට පස්සේ අන්ධ සේවා මණ්ඩලේ මහත්තයෙක්ට මාව භාර දුන්නා. මං පුටු වියන්න ඉගන ගත්තා. එතනින් මං ඒ මහත්තයාගේ දෙල්කඳ තියන කඩදාසි ප්‍රතිචක්‍රීකරණය කරන වැඩපලට ගත්තා. අවුරුදු එකොළහක් එතන වැඩ කළා. මුල් කාලේ රුපියල් අටක් ලැබුණා දවසේ පඩිය. කඩදාසි පොඟවලා මෝල්ගහෙන් කොටලා ඔය ගඩොල් වගේ හදන්න ඕන. ඒකේ ලණු තියනවා අදින්න. පළවෙනි මාසේ වැඩ කරලා මං අත් දෙක පෙන්නුවා මහත්තයට මෙන්න කියල තුවාල වෙලා ලණු ඇදලා. ඕක හරියයි කිව්වා ඉතින්. මං පළවෙනි පඩිය අරන් ආච්චිටයි සියටයි ඇඳුම් අරගෙන ගියා වලස්මුල්ලේ.

මාමට අකුරු ලියන්න පුළුවන් ද?

ඔව් මං දහම් පාසලේ ඉගෙන ගත්තේ. ගමේ පන්සල ශ්‍රී පුෂ්පාරාමය.

කොහොමද එතන රස්සාව නැති වෙන්නේ?

කාලයත් එක්ක ඉතින් ඒ කොම්පැණියට වැඩ නැතුව ගියා. ඒ පාර මාව එයාලගේ වෙන කඩදාසි කපන තැනක වැඩ කළා. ඊට පස්සේ මේ මඩපාත එයාලගේම තැනකට අවා. එතන මට කොන්ත්‍රාත් දුන්න එක කිලෝ එකකට සත විසි පහ ගාණේ. මං ඉතින් දවසට කිලෝ හාරසීයක් විතර ගහනවා. මට ගෝලයෙකුත් හිටිය එතකොට. එතනිනුත් බඬේ පාර වැදුණ. ඒ වැඬේ කම්පනිය කරන්න පටන් ගත්ත නිසා. ඒපාර මාව පුහුණු කම්කරුවෙක් විදියට එකට බඳවා ගත්තා. ඊට පස්සේ රුපියල් දෙසීියක දීමනාවක් ඉල්ලලා කට්ටිය ස්ට්‍රයික් එකක් කළා. ඒත් මං වැඩ කළා. කම්පැණිය වහන්න වුණා. මාස දෙකක පඩි දීලා වහල දැම්මා.

එතකොට බැඳල ද?

ඔව්. අපි එතකොට රුපියල් එකසිය පනහේ කුලියට කාමරේක හිටියේ.

ඔය ආදර කතාව පටන් ගන්නේ කොහොමද?

එයත් ළමා නිවාසෙක ඉඳගෙන දෙල්කඳ කඩදාසි වැඩ කරන්න අවා. එතැනදී තමයි ඉතින් ඔය අඳුන ගත්තේ. එහෙම ඉන්නකොට තමයි මේ ඉන්න තැන හම්බුණේ. ඒකට ඉතින් ප්‍රේමදාස මහත්තයා එක්ක හරියට හැප්පුණා. ඒ කියන්නේ ලියුම් කඩදහි යැව්වා අවුරුදු දහයක් විතර. උත්තර නම් නෑ. ඉතින් කතරගම ගම් උදාව තියනකොට නිලධාරීන්ට විරුද්ධව ලියුමක් යැව්වා. ඒ පාර කොළඹින් ආවා මාව හොයාගෙන. සෙවණ අරමුදලෙන් රුපියල් දහදාහක් දුන්නා. ඊට පස්සේ මං පිළියන්දල දිසාපතිතුමාට කිව්වා ඉන්න තැනක් දෙන්න කියලා. අනේ ඉතින් තිලකරත්න මහත්තය හා කියල මට පර්චස් 5ක් දුන්නා. එහෙම තමයි මෙතනට ආවේ.

කවුද මුලින් ආදරේ ප්‍රකාශ කළේ?

එයා තමයි.

රස්සාව නැති වුණාම පවුල රකින්න මොනවද කළේ?

ඇත්ත කියන්නේ, බොරු කියන්න ඕන නෑ මහත්තයෝ. මං ගියා බෙල්ලන්විල පන්සල ළඟට. කළේ මොකද්ද කියලා හිතාගන්න පුළුවන්නේ. හරි අමාරුයි කන්න ටිකක්වත් හොයාගන්න ඒ හරියේ. ඒ පාර දෙහිවලට ගියා. එතන තිබුණා ගාමිණී ෆොන්සේකා මහත්තයාගේ අක්කගේ කඩයක්. මං අවුරුදු 3ක් විතර ඔතන ඉඳන් අතපාලා තමයි බඩ පිරෙව්වේ. එහෙම ඉන්න කොට මුස්ලිම් එක්කෙනෙක් ගෙනත් දුන්න කපුරු බෝල බෑග් එකක්. ඒක පැකට් කරලා විකුණන්න කිව්වා. මං ඒක පටන්ගත්තා. ඊට පස්සේ කොටුවේ ගිහින් හඳුන්කුරු බඩු අරගෙන මට හිතෙන හැටියට කඬේ අයගෙන් විස්තරේ අහගෙන වලස්මුල්ලේ ගිහින් හඳුන්කුරු හැදුවා.

දැන් පවුලේ කීදෙනා ද?

දරුවෝ හතරයි, අරයයි මමයි.

මුලින්ම බෙල්ලන්විල ගියේ කොයි කාලේ ද?

2018 ලෝක ළමා දිනේ දවසේ. එකතැනකට ගියාම එතනින් එලවනවා. එතනින් වෙන තැනකට ගියාම ආයේ එලවනවා. මං මොනවා කරන්නද? මට පුළුවන් දේනේ මං මේ කරන්නේ මහත්තයෝ.

ඇස් පේන සමාජය ගැන නොපෙනෙන මාමට මොකද හිතෙන්නේ?

මං ඉතින් කටහඬින්, කතා කරන දේවල්වලින් තමයි ගොඩක් මිනිස්සු හඳුනගත්තේ. ඉතින් රැවටෙන වෙලාවලුත් තියෙනවා.

ඇස් දෙක නොපෙනී යද්දී මොකද හිතුණේ?

අනේ ඉතින් මට ඒ කාලෙ නම් ලොකු දුකක් වේදනාවක් හට ගත්තා.

ඔය ලිව්වා කියන ලියුම් ලිව්වේ කවුද?

යාළුවෙකුට කියල ලියව ගන්නවා. බැන්ඳට පස්සෙ නම් මෙයා තමයි ලිව්වේ.

කොහොමද ඔය ලියුම් යවන්න ඕන තැන දැනගන්නේ?

මං රේඩියෝ එක අහනවනේ. ඔය සින්දු අහනවට වඩා මං දේශපාලන වැඩසටහන් තමයි අහන්නේ. මුවන්පැලැස්සට හරි ආසයි. සුභාරතී යනවනේ උදේට.

රේඩියෝවක් කොහෙන්ද?

අම්මෝ බොහොම දුක් විඳලා ගත්ත එකක්. වතුර බීලා වැඩ කරනවා බඩගින්නේ. ඒ සල්ලි එකතු කරලා ගත්තේ. ඔය ජූලි කලබල කාලේ නුගේගොඩින් ගන්න කොට රුපියල් 600ක් වුණා. අවුරුදු පහලවක් විතර ඇහුව ඒක. මං ඉතින් වලස්මුල්ලේ යනකොට අරන් යනවා. ඒත් එහෙට වැඩකරන් නෑ එක. අපේ පන්සලේ විතරයි රේඩියෝවක් තිබුණේ එතකොට.

මාම මේ හඳුන්කුරු වෙළඳ දැන්වීමක ඉන්නවා දැකල ලැබුණ ප්‍රතිචාර කොහොමද?

ගොඩක් අය හොඳයි කියල තමයි කියන්නේ. මට පෙන්නේ නැහැනේ ඉතින්. බෙල්ලන්විල පන්සල ළඟ මං ඉන්නවා දැකලා හොයාගෙන ඇවිල්ලා ෆොටෝ ගහගෙන ගියා. ඊටපස්සේ මාව එක්කරගෙන ගියා ශුටින්වලට. දවස් දෙකක් ගියා… හරි හොඳයි ඉතින්…

මාමා දැන් මේ ගේ හදාගෙන යන්නේ ඒ උදවුවෙන් ද?

මම ගේ හදන්න පටන් ගත්තේ සිමෙන්ති කෝට්ටේ රුපියල් 70ට තියෙනකොට. ඒ ගේ තමයි මේ හඳුන්කුරු එකේ මහත්තුරු මට හදලා දෙන්නේ. එක මහා පිනක් මහත්තයෝ.

මාමා කොහොමද වෙලාව හොයාගන්නේ?

ගෙදරින් වෙලාව දැනගෙන ගියාම හිතාගන්නවා ඉතින් දැන් මේ මේ වෙලාව කියලා. ඇස් දෙකට දැනෙන්නේ නෑ. ඔය දවල්ට රස්නෙයි රෑට සීතලයි. එකෙන් තමයි දවල් ඉස්සර අඳුන ගත්තේ.

මාම වගේම තවත් අය හම්බුණාම මොනවද කතා කරන්නේ?

ගොඩක්ම ඔය ආගිය කතා තමයි.

රහට උයන්න පුළුවන් කියලා අහන්න ලැබුණා?

මං දෙල්කඳ ඉන්නකොට තනියම උයනවා. පුංචි කාලේ ආච්චි සිල් ගත්ත ගියාම මං බත් උයල පොල් සම්බල් හදනවා. ඉතින් අතේ හුරුව තිබුණා. දෙල්කඳ කාමරේ ඉන්නකොට උයනවා ඉතින්. දවසක් කාමරේ ගිනි ගත්තා අර කරන්ට් ලිපෙන් පපඩම් බදින්න ගිහින්. තෙල් වගයක් වැටිලා මට පෙන්නේ නැහැනේ. ගිනිගන්න කොට පහල පාරේ ඉඳපු අය ඇවිල්ලා තමයි නිමුවේ. එදා ඉඳන් දර ගෙනල්ල උයන්න පටන් ගත්තා.

කොහොමද මේ මේ බඩු මේ මේ තැන්වල කියල අඳුන ගන්නේ?

මතක තියා ගන්නවා. පුරුද්දට එකම තැනක තිය ගත්තම ලේසියි. ඔය කොලොප්පමට සමහරු වෙනස් කරනවා ඉතින්.

වැඩිම දුරක් කොහෙද ගිහින් තියෙන්නේ?

අපි ගියා සිරීපාදේ. එතකොට බස් එකට ගාණ රුපියල් 50යි වැඩපලේ කොල්ලෝ සෙට් එක ගියේ. මාව අතින් අල්ලන් එක්කගෙන ගියා. අර උඩ තියනවනේ අත්වැල් අල්ලන්න එතනින් එහාට මම තනියම ගියා අනිත් අයටත් කලින්. ගිහින් එයාල එනකම් හිටියා.

ප්‍රේමදාස මහත්තයට හරි ලැදියි නේද?

ඔව් මට උදවු කළානේ. මං ගිය එක පාරක් හම්බෙන්න ප්‍රේමදාස මහත්තයාගේ කෙහෙල්වත්තේ තියන ගෙදරට. රෑක ගියා. එතකොට ගෙදර නෑ. එනකන් ඉන්න කියල මට පත්තර පිටු දෙකක් දුන්නා. බනිස් ගෙඩි තුනකුයි වතුර බෝතලයකුත් දුන්නා. මං ඉතින් කාලා කොළ දෙක පේමන්ට් එකේ එලාගෙන නිදිය ගත්ත එතුමා එනකන්. ඊට පස්සේ මට කතා කළා. මං ගිය වේගෙට තව පොඞ්ඩෙන් එතුමා බිම. මගේ ලියුම ගත්තා. මං කිව්වා ඉතින් විස්තරේ හා කියලත් කිව්වා. මං හිතන්නේ ඒ ප්‍රේමදාස මහත්තයම වෙන්න ඕන.

ඒ දවස්වලත් සරමයි ෂර්ට් එකයි ද ඇන්ඳේ කොල්ල කාලෙනේ?

නෑ නෑ එතකොට කොට කලිසම. හරි ලේසියිනෙ ඒක.

ඔය විදියට කොන්දේ වවන්න කිව්වේ හාමිනේද?

අපෝ මං ඉස්සර ඉඳන් වැව්වා. ඔරලෝසුවක් බැන්දා. සමහර දවසට ටයි එකකුත් දාගෙන සපත්තුත් දාගෙන ගමේ යන්නේ. දවසක් මං අලුත් අවුරුද්දට අම්මට ගනිපු රෙදියි ඒ බඩු ඔක්කොමයි හොරු අරගෙන තිබුණා. මට කරගන්න දෙයක් නෑ. හරි අසරණයිනේ එතකොට. ඇඬෙන්න එනවා මොනවා කරන්නද? එදා ඉඳන් මං ආයේ සපත්තු ඔරලෝසු පාවිච්චි කළේ නෑ.

ආදර සම්බන්දෙට හාමිනේගේ යාළුවෝ ඒ දවස්වල මොකද කිව්වේ?

එයාල විරුද්ධ වුණා ඉතින් මං අන්ධයෙක්නේ කියලා. මෙයා මාව අතෑරියේ නෑ ඉතින්. ළමා නිවසේ බලාගන්න මනුස්සයා මෙයාලගේ සල්ලි හොරකම් කරනවා. ඉතින් අන්තිමට එයටත් ගහල වාහනේ කණ්නාඩිත් පොඩි කරලා මාත් එක්ක ආවේ. මහරගම අරලිය හෝල් එකේ හිටිය මිස් කෙනෙක්. එයා ළඟ තමයි රෙජිස්ටර් වුණේ. මගේ යාළුවෝ දෙන්නෙක් අත්සන් කරන්න ආවේ. කොම්පැණියේ මිස්ලා තමයි මුද්දර සල්ලි රුපියල් 250 දුන්නේ.

ප්‍රේමදාස මහතාගේ රැස්වීම් බලන්න යනව ද එතකොට?

ඔව් මට බලන්න බෑ. ඒත් අහන් ඉන්න යනවා. ඔය කොටිකාවත්ත පැත්තෙත් ගියා. එතුමා නැති වුණාමත් මං ගියා බලන්න. පෙට්ටිය දෙපාරක් අතගාලා ආවා. මං හැබැයි මහින්ද රාජපක්ෂ මහත්තයටත් ඡන්දේ දුන්නා එතුමා දකුනේනේ. මට ඇහුණා කවුද කියනවා රට භාරයි නුඹට පුතේ කියලා. මගේ හිතේ තිබුණා ලොකු පුටුවට දකුණේ මිනිහෙක් ඉල්ලුවොත් දෙනවා කියන එක ඉතින් දුන්නා.

ගාමිණී ෆොන්සේකාගේ අක්කගේ කඬේ ගාවනේ හිටිය කිව්වේ. චිත්‍රපටි ගැන දන්නව ද?

මං ගියා චිත්‍රපටි දෙකකට. නුගේගොඩ ඔය හෝල් එකක් තියෙන්නේ. එකේ ඉඳන් බැලුවේ. බලනවා කියන්නේ අහගෙන ඉන්නවා. ආසයි ඉතින්. ගඟ අද්දර චිත්‍රපටිය දෙපාරක් ඇහුවා. ඊට පස්සේ සිරිබෝ අයියා බලන්න ගියා මට එක හරි ගියේ නෑ ඊට පස්සේ එක අතැරලා දැම්මා.

සටහන- කසුන් ගනේවත්ත

ඡයාරූප – දිල්හාන් විමල්ක

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: