සුසීගේ රත්තරං අම්මා

October 30, 2017 | 1:15 pm    0   260

සුසීගේ රත්තරං අම්මා

ඝණ වනාන්තරයක ගාම්භීරකම තවත් වැඩි වෙන්නේ, ඒ වනාන්තරේ ආඩම්බරකමට අහසේ වලාකුළු පසාරු කරලා ඉහළට ඇඳුණු නොසෙල්වී ඉන්න මහ රූස්ස ගස්වලින්. කතාවක් තියෙනවා ඒ වගේ මහ ගස් යට පොඩි ගස් සරුවට හැදෙන්නේ නෑ කියලා. මහ ගස් ගැන හැමෝම කතා කළාට ඒ ගස් “මහ ගස්” කරපු මව් ගහ ගැන කට්ටිය කතා කරන්නේ හරිම අඩුවෙන්. ඒ ගහ අර රූස්ස ගහ දිහා බලලා මොන තරම් සතුටු වෙනවා ඇත්ද?

අම්මලා කියන්නෙත් අන්න ඒ වගේ ජාතියක්. දරුවෝ කොච්චර ලොකු තැන්වලට ගියත්, ඉහළට ගියත් පහළ ඉඳගෙන එයාලා දිහා බලාගෙන ඉන්න කට්ටියක්.

අටුවා ටීකා ටිප්පනි කියලා අම්මලාගේ ආදරේ විස්තර කරන්න ඕනේ නෑ. මොකද ඒ ආදරේ කොච්චර විස්තර කරලා කිව්වත් වචන පිරිමහගන්න බැරි නිසා. මේ පූර්විකාව ගන්නෙත් පෙකණිවැල කපපු තැන ඉඳලා දිග ඇරෙන අම්මෙක්ගේ ආදරේ ගැන කියන්න. හැබැයි මේක ටිකක් වෙනස් විදිහක ආදරයක්.
අර කලින් කියපු වනාන්තරවල උසට උසේ තියෙන ලොකු ගස් වගේ චරිත මේ ලෝකෙට බිහි වෙනවා. දැවැන්ත ප්‍රතිරූප හැදෙනවා. හැමෝටම පරමාදර්ශී චරිත බවට ඒවා පත් වෙනවා. ලංකාව කියන නම ලෝකේ හැමෝම දැනගන්න හේතු වෙච්ච අන්න ඒ වගේ දැවැන්ත චරිත ගොඩක් ඉන්නවා.

ඒ ලැයිස්තුවේ ඉහළින්ම ඉන්න කෙනෙක් තමයි ආසියාවේ කළු වෙළඹ කියන්නේ. ඔව්.. ඔව්… එයා තමයි. සුසන්තිකා ජයසිංහ කියන්නේ ලංකාවේ මළල ක්‍රීඩා සන්නාමයක් කිව්වොත් හරියටම හරි. ලංකාවට ඔලිම්පික් රිදී පදක්කමක් ගෙනාපු පළමු සහ එකම කාන්තාව ලෙස ඇය ගැන, ඇගේ දස්කම් ගැන, ඇගේ පෞරුෂය ගැන නොදන්නා කෙනෙක් නැහැ.

අම්මලා ගැන කතා කරද්දි ඒ වගේ වීර චරිතයක කපපු පෙකණිවැලේ අයිතිකාරිය ගැනත් කතා නොකරම බැහැ. ඒ නිසාම සුසන්තිකා ජයසිංහගේ අම්මාව මුණගැහිලාම ඒ පෙකණිවැලේ කතාව දැනගන්න ඕනේ කියලා හිතුවා.

බොහොම කෙටි දුරකතන සංවාද කීපයකින් පස්සේ සුසන්තිකා අක්කා එයාගේ අම්මාව ටොරින්ටන් ක්‍රීඩාංගනයට එක්කං එනවා කියලා කිව්වේ එතනදි නිවිසැනසිල්ලේ අපිට කතා කරන්න පුළුවන් නිසා.
නිදහසේ පිළිසඳරක යෙදෙන්න ඕනෙනං ඒකට හොඳම වෙලාව තමයි හැන්දෑව කියන්නේ. මොකද ඕනෙම විඩාබර දවසක හැන්දෑ යාමය කියන්නේ විවේකි රාත්‍රිය ගැන බලාපොරොත්තු ඇති කරවන වෙලාවක්. ඒ නිසාම ද කොහෙද කොළඹ හතත් හැන්දෑකරේ හරි නොඉවසිලිමත්. මිනිස්සු ඒ තරමටම විවේකී රාත්‍රීය ගැන හැන්දෑවේ හීන මවනවා. වෙන වෙලාවල්වලට වඩා යුහුසුලු වෙනවා.

විනාඩි 35ක් විතර වාහනත් එක්ක කරපු හරඹයකින් පස්සේ ටොරින්ටන් ක්‍රීඩාංගනයට අපිට යන්න පුළුවන් වුණේ ඉර මුළු අහසයි වලාකුළු ඔක්කෝමයි තැඹිලි පාටින් පාට කරලා යන්න ලෑස්ති වෙන වෙලාව වෙද්දි.

ටොරින්ටන් ක්‍රීඩාංගනයට යද්දිම අෑතින් ඉඳන්ම දැක්කේ ජාත්‍යන්තර මළල ක්‍රීඩා ඉසව්වලට පුහුණුවෙන ළමයි සහ ඔවුන්ව පුහුණු කරවන පුහුණුකරුකවන්. සුසන්තිකා අක්කත් මේ අතර තමන්ගේ ගෝලයන්ව හරි හරියට පුරුදු පුහුණු කරවන ගමන් හිටියේ. අපිව දැක්ක ගමන් අපේ දිහාවට ආපු සුසන්තිකා අක්කා.

“ඔයාලා එනකං අම්මා මඟ බාලගෙන හිටියේ” කිව්වා. කොහොමත් අම්මලා එහෙමයි. තමන්ගේ දරුවො ගැන කතා කරන්න එයාලා නොඉවසිල්ලෙන් මඟ බලාගෙනයි ඉන්නේ.

රෝස පාට පසුබිමේ සුදු පාට පුංචි මල් වැටිච්ච චීත්ත රෙද්දෙන් මහපු දිග ගවුමක් ඇඳලා පිට්ටනියේ කෙරෝලක බංකුවක ඉඳගෙන ඒ අම්මා හිනා කටක් මූණේ පුරෝගෙන අපි දිහා බලාගෙන හිටියා.
“අම්මේ, අපි අර පිට්ටනියේ එහා පැත්තේ තියන ලොකු ගහ යටට යමු. එතන අපිට නිදහසේ කතා කරන්න පුළුවන්” කියලා මම කියද්දිම ඒකට එකඟ වුණා කියලා පෙන්නන්න වගේ ඉඳගෙන හිටපු සිමෙන්ති බංකුවෙන් නැඟිටපු අම්මා,

“ඒක හොඳයි පුතේ මෙතන හරි කලබලයි.” කිව්වා. හිමින් හිමින් අඩිය තියලා පිට්ටනිය එහා පැත්තට යන ඒ අම්මාත් එක්කම යන මම ආගිය විස්තර ටික එහා කෙලවරට යද්දි කතා කරලා ඉවර කරගත්තා.

අපේ සිතැඟි පරිදිම ඒ ලොකු රූස්ස ගහ යට තිබුණේ නිස් කාන්සුවේ කතා කරන්න පුළුවන් පරිසරයක්.
එතනම තිබුණ සිමෙන්ති බංකුවක හරි බරි ගැහිලා වාඩි වුණ අම්මාගේ අනිත් පැත්තෙන් වාඩි වුණා මං ඒ වෙනස් දිග කතාව අහන්න ලෑස්ති වුණා.

ඇය නමින් මැකික්පුරගේ බේබිනෝනා. සබරගමු පළාතේ දික්පිටියේ තමන්ගේ පොඩි කාලේ ගත කරපු මේ අම්මාගේ පවුලේ හිටියේ සහෝදරියෝ විතරයිලු. හය වසර වන තෙක් පමණක් අධ්‍යාපනය හදාරලා තියන අම්මා පොඩි කාලේ ඉඳන්ම හරි ක්‍රියාශීලියි.

“ඒ කාලේ මම හරි ආසයි ක්‍රීඩාවට. ඒ කාලේ අපිට දුවන්න පිට්ටනි තිබ්බෙ නැහැ. මීටර් 50, 100 අපි දිව්වේ පාරේ. මම දුවලා දිනලත් තියෙනවා. මහ රැජින ඔටුනු පලන්දන දවසෙත් ඉස්කෝලේ ඒ වෙනුවෙන් තිබ්බ උත්සවේට දුවනවා වගේම දුවලා මම පළවෙනියා වුණා. තෑග්ගට ලැබුණේ පොප්ලින් රෙදි යාරයක්.”

පුදුම වෙන්න දෙයක් නැහැ. තමන්ගේ දියනියට ආරමය සාධකත් ඇගේ හැකියාවට බලපාලා තියෙනවා කියලා සංඥාවක් තමයි අම්මා ඒ දුන්නේ. හරි සතුටෙන් රස කර කර තමන්ගේ පොඩි කාලෙ විස්තර කියන එක අතරමැද නවත්තන්න වුණේ ඇගේ තරුණ කාලේ ගැන අහගන්න තිබ්බ නොඉවසිල්ල නිසා.
“මම බැන්දේ 18න්. මම කැමති වෙලා හිටියේ ඩ්‍රැයිවර් මහත්තයෙක්ට. මට හම්බ වුණෙත් ඩ්‍රැයිවර් මහත්තයෙක්ම තමයි. 18න් බැන්දට මාව කැන්දන් ගියේ 21න්. 32 වෙද්දි මට ළමයි පස්දෙනෙක් ලැබුණා. දුවලා හතරදෙනයි පුතයි. එතනින් දුවලා දෙන්නෙක්ම දැන් නැති වෙලා. සුසන්තිකාව හම්බෙද්දි මට 31ක් විතර ඇති.”

කොහේදෝ අෑතක බලාගෙන තමන්ගේ තරුණ කාලේ මතකය ‍ෙදාඩන අම්මා දිහා මම මොහොතක් බලාගෙන හිටියා. ඒ අම්මා හරිම ‍ෙදාඩමළුයි. හරිම සුහදයි. හරි අව්‍යාජයි. හංගන්න තරම් කළු පැල්ලමක සේයාවක්වත් නැති අම්මගේ යටගියාව මාත් එක්ක බෙදාගන්න සොම්නස් සහගත සිතිවිල්ලෙන්.

“එතකොට අම්මේ සුසන්තිකා අක්කාව හම්බෙන්න ඉද්දි වැඩියෙන් කන්න ආස වුණේ මොනාද” අහන්නම බලාගෙන හිටපු ප්‍රශ්නයක් හරිම වෙලාවෙදී මම ඇහුවා.

“‍ෙදාලදුකටනං පුතේ මම අහුවෙන හැමදේම කෑවා. ඒත් චූටි මැණිකෙව හම්බෙන්න ඔන්න මෙන්න තියෙද්දි කන්න ආසාවක් ආවේ සුදු බතුයි කංකුං තෙල් දාලායි..”

“ඒ කියන්නේ සුසන්තිකා අක්කට අම්මා කතා කරන්නේ චූටි මැණිකේ කියලා ද?” ඇය සිනාවිය.

අම්මෙක් දරුවෙක් වෙනුවෙන් මොනතරම් දේවල් කරනවද? මොන තරම් වද දෙනවද? ඒ ආසාවෙන් කරන දේවල්, වද වීම් ආයෙ ආයෙත් මතක් කරද්දි දරු සෙනෙහස තව තවත් වැඩි වෙනවා ඇති. කෙලවරක් නැති ප්‍රශ්න ගොඩක් මම මගෙන්ම අහගන්න ගමන් සුසන්තිකා ජයසිංහ නම් වූ ඒ ලෝක පූජිත ක්‍රීඩා සන්නාමයේ ළමා විය ගැන වංහුං ඇහුවා.

“හරිම දඟ කටකාර ළමයෙක් චූටි මැණිකේ. ගෙදර ඉන්නෙම නැහැ. කොයි වෙලාවෙත් පිට්ටනියක බෝල ගහනවා. එක්කෝ කොහෙහරි ගිහින් සෙල්ලං කරනවා. කෙට්ටුයි, ඇට්ටරයි, කොල්ලෙක් වගේ. කිසිම පිළිවෙලක් නැහැ.”

පිට්ටනියේ පුහුණුවීම් කරන දැරියන් දිහා බලාගෙන අම්මා තමන්ගේ දුවගේ වීර කතාව කියනවා. ඒ වචන හැම එකකම තියන්නේ අප්‍රමාණ සතුට, ආඩම්බරය, ඒත් එක්කම හැංගිච්ච කඳුළු මතකත් නැතුවාම නෙමෙයි.

“මගේ මහත්තයට රස්සාව නැති වුණේ මට පුතා හම්බෙන්න ඉද්දි. පුතාටයි, චූටි මැණිකේටයි (සුසන්තිකා) කිසිම සැපක් දෙන්න ලැබුණේ නැහැ. සෑහෙන්න දුක්වින්දා දරුවෝ හදන්න.”

කොයිතරම් අඩුපාඩු තිබ්බත් තමන්ගේ දරුවන්ව බඩගින්නේ තියන්නේ නෑ කොයි අම්මා කෙනෙක්වත්. බඩට නොකා නොබී තමන්ගේ දරුවන්ගේ බඩ පුරවා සැනසෙන්නී, ඒ දෙස බලා සතුටින් කුස පුරවා ගන්නී, අනේක විද දුක්පීඩා විඳින්නී අෑ අම්මා නම් විය.

“අනේ මට මගේ කෙල්ලට රස්නෙන් බත් කටක්වත් කන්න දී ගන්න ලැබිලා නෑ. එයා පුහුණ­වීම්වලට උදේ යන්නේ හීල්බත් කාලා..”

ඇගේ ඇස අග කඳුළු බින්දු හිතුවක්කාරකමට එළියට පයින්න වෙර දරන්නීයය, අෑත ඉම් කොනක් දෙස බලා ඒ කඳුළු අතීතයේ දුක්ඛ දෝමනස්සයන් නැවත කොනහන්නීය, තමා අතින් මඟහැරුණු යුතුකම් ගැන පසුතැවෙන්නීය.

මේ හැමදේම අහන් ඉන්න මට ඕනේ කතාව වෙන අතකට හරවන්න. හෝද හෝද මඩේ දාන යටගියාව කඳුළු ගොඩක් නිසා ඒ කඳුළු මතින් ගොඩනැනඟුණු වර්ථමාන කතාව අහන්න මම ලෑස්ති වුණා.

ඇත්නාගල සිට කොළඹට ආපු සුසන්තිකා ජයසිංහ අනේකවිද අඩුපාඩු මැද කළ පුහුණුවීම් පිළිබඳවද ක්‍රීඩා ඉසව් නැරඹීමට ගිය තොරතුරු ද නොනවත්වා අෑ කියාගෙන යන්නීය. ඔලිම්පික් යාමට පෙර සුසන්තිකා ජයසිංහගේ විදේශ සංචාරයන් ස¼දහා මුදල් අවශ්‍යතා අෑ සැපරූ හැටි ද අෑ මාත් එක්ක කිව්වා.

“අම්මේ මම දිනුවොත් අම්මාට බලන්න ඊඍ එකක් ගෙනල්ලා දෙනවා කියලා ඉන්දියාවේ මීට් එකකට ගියා චූටි මැණිකේ. ගිහින් එනකොට කිව්වා වගේම මට ඊඍ එකක් ගෙනල්ලා දුන්නා.”

ඕනෙම අම්මා කෙනෙක් දකින්න කැමති එවැනි දරුවන්වය. ලෝකේ කොහේ කොතැනක හිටියත්, මොනතරම් ඉහළ කිරුළු පැලදුවත් “අම්මේ” කියාගෙන අම්මාව හොයාගෙන ඇවිත් වැළඳ ගන්නා දරුවන්වය.

“තියන අඩුපාඩු ඔයාට කවදා හරි හදාගන්න පුළුවන්.. යන්න ගිහින් දිනන්න..” ඒ සුසන්තිකා ජයසිංහ නම් වූ ඒ ඔලිම්පික් රිදී පදක්කම් ලාභිනියට ඔලිම්පික් යාමට පෙර මව කළ ආශිර්වාදයයි.

“චූටි මැණිකේ ඔලිම්පික් දුවද්දි මම පිරිත් කිය කියා හිටියේ. දුව දින්නට පස්සේ වරකාපොල පොලිස්සියෙන් ඇවිත් මාව එක්කන් ගියා. මමත් හීනෙන් වගේ එයාලා එක්ක ගියේ මටත් හිතා ගන්න බෑ. පොලිසියේ මහත්තුරු එක්කන් ගිහින් මට සුබ පැතුවා.”

තමන්ගේ දුව මුළු ලෝකයක්ම දිනනකොට අම්මා කෙනෙක්ට කොයිතරම් සතුටුක් ඇත්ද? මුළුලෝකෙම තමන්ගේ දුවට අත්පොලසන් නගද්දි ඒ සතුට දෙගොඩ තලා යන්න ඇතිද? රාජ මහාමාත්‍යවරුන්ගෙන් ගරු බුහුමන් ලබද්දි මොනතරම් ආඩම්බරෙන් බලාගෙන ඉන්න ඇතිද?

“මම මේ විඳින සතුට කියලා නිම කරන්න බැහැ. ඒක කියන්නත් මට අමාරුයි පුතේ. මගේ දුව මාවයි මගේ මහත්තයාවයි පණ වගේ බලාගන්නවා. මාව රැජිණක් වගේ දුව බලාගන්නේ.”

අම්මා කෙනෙක්ට තවත් ඕනේ මොනාද? ඉහළට ගියාම නැඟපු ඉණිමඟට පයින් ගහලා වැජඹෙන දරුවො ඉන්න රටක, හන්දියක් හන්දියක් ගානේ වැඩිහිටි නිවාස ඉදිවෙමින් පවතින රටක මේ අම්මා මොනතරම් වාසනාවන්තද? මොහොතකට ලද ඉසිඹුවෙන් කල්පනා ලෝකෙක අතර මං වුණ මම ආයෙත් පියවියට ආවේ අම්මා තමන්ගේ දුවගේ විවාහය ගැන කියද්දි.

කතාවක් තියෙනවා දුවෙක් හැදුවා නං දෙන්නම ඕනේ කියලා. ඒ තරම්ම වටින දුවෙක්ව වෙන පවුලකට දෙන්නත් අම්මාට ලෝබ ඇති. ඒත් පුහුණුවීම් අතරතුරම හාද වුණ ප්‍රේමයක කෙලවර විවාහයකින් අවසන් වූ බවත් තමා සහ සැමියා එයට කැමැත්ත දුන් බවත් අම්මා කිව්වේ හරි ආඩම්බරෙන්.

“ඒත් එයා කාලෙකදි නිස්සද්දව ඉඳලා පස්සේ දේශපාලනයට ගියානේ. අපි අකමැති වුණාට අකමැතියි කියන්නේ බෑනේ. දුවගේ සතුටට අපි ඉඩ දුන්නා. ඒත් මම ඒකට කැමති නැහැ.”

ඒ ඇගේ ගමනේ එක්තරා සන්ධිස්ථානයක් පිළිබඳව අම්මා කළ නෝක්කාඩුවකි. වෘත්තීය ජීවිතේ විතරක් නෙමෙයි පෞද්ගලික ජීවිතේ ද කරන ඇතැම් නොක්කාඩුවන් ගැන අම්මා ඇගේ කැමැත්තට ඉඩ දුන් බව කීවාය.

“එයා මහත්තයාගෙන් වෙන් වුණා. අපි එයාගේ කැමැත්තට ඉඩ දුන්නා. ඒවට අපිට මුකුත් කියන්න බැහැ.”

දරුවන් ලොකු මහත් වුණාම ජීවිතය ගැන තනිවම තීරණගන්න ඉඩදෙන එක අම්මලාගේ පුරුද්දක්. ඒ හැමදේම දිහා උපේක්ෂාවෙන් බලාගෙන ඉන්න අම්මලා කොහොමත් කැමතියි.

“මගේ මුණුබුරාටයි මිණිබිරියටයි මම අම්මා වගේ තමයි. ඒ දෙන්නා මාත් එක්කමයි කාලෙ ගෙවන්නේ. චූටි දුව හරිම හුරතල්. මගේ දුවලාටත් වඩා මගේ හිත සතුටු වෙනවා ඒ පොඩි දරුවෝ එක්ක ඉද්දි.”
අම්මා කෙනෙක් විදිහට විතරක් නෙමෙයි අත්තම්මා කෙනෙක් විදිහටත් තමන්ගේ මුණුබුරු මිණිබිරියන්ගේ ආදරේ ලබන්න අම්මලා කොච්චර පින් කරන්න ඕනේද?

ඒ අතරේ හදිස්සියෙම මගේ මතකයට ආවේ පහුගිය කාලේ සුසන්තිකා ජයසිංහ සහ ඇගේ රිදී පදක්කම පිළිබඳව නැඟුණු ආන්දෝලනයයි.

“එයාට ඒ රිදී පදකක්කම මම කීයටවත් විකුණන්න දෙන්නේ නැහැ. ඒක මම අනුමත කරන්නෙත් නැහැ. ඒත් දුව ඒ වගේ දෙයක් කියන්නත් හේතුවක් තිබ්බා. එයා කිව්වට ඒක කරන්නේ නැහැ.”

දරුවො දිහා උපේක්ෂාවෙන් බලාගෙන ඉන්නත් හිතුවක්කාරකම්වලදී එයට එරෙහි වෙන්නත් අම්මලා වග බලාගන්නවා. සුසන්තිකා සහ ඇගේ රිදී පදක්කම ගැන රට පුරා කටකතා පැතිරුණ ද එහි සැබෑ තත්ත්වය අම්මා කිව්වේ යම් හෙළිදරව්වක් ද කරමින්.

“ජීවිතේ අමාරුකම් ළමයින්ට දැනෙන්න දෙන්න ඕනේ. සැප විඳලා ඉහළ තැනකට යන්න අමාරුයි.”
අම්මා ඒ කිව්ව වචන ටික සුසන්තිකා ජයසිංහ වගේ ලෝකයක් දිනනන්න හීන බලන දරුවන්ට, ඒ දෙමාපියන්ට ගොඩක් වටිනවා. කැලේ මල් කැලේටම පර වෙන්න නොදී ලෝකෙම ඒ මල්වල සුවඳින් ප්‍රබෝධමත් වෙනුවෙන් ඒ වචන ආශිර්වාදයක් වේවි.

ජීවිතේ සැ¼දැ සමය ගත කරමින් ඉන්න මේ අම්මා තමන්ගේ ජීවිතේ විඳින්න තියන සියලුම දුක්වේදනා විඳ, ලබන්න තියන උපරිම සැප සම්පත් විඳ, ලෝකෙන්ම ගරුබුහුමන් ලද පින්වත්තියක්.
“මේ දරුවො ළඟ හුස්ම ටික අරින්න තමයි මට ඕනේ.”

මිනිස්සු ජීවිතේ පුරාවට කොයිතරම් දේවල් ගැන බලාපොරොත්තු ගොඩනගනවා ද ඒ සියල්ල ඉෂ්ඨ වූ විට මැරෙනතුරාවට මරණය බලාපොරොත්තු වෙමින් ජීවත් වෙනවා ද? කෙලවරක් නැති ඒ ප්‍රශ්න ගොඩට හිත ඉඩදෙමින් ඒ ආදරණීය සල්ලාපය එසේ හමාර විය.

හැන්දෑව කෙමෙන් කෙමෙන් රාත්‍රියට ඉඩදෙමින් වේදිකා අහසෙන් නික්ම යමින් පවතියි. අෑත ක්‍රීඩා පුහුණුවීම් කරන දැරියන්ද, දරුවන්ද තම පුහුණුවීම් නිමා කොට නික්ම යන්නට සැරසෙයි. කතාව හමාර කළ අම්මා තම දියණිය අප දෙසට එන තෙක් සිතිවිල්ලෙන් බලා හිඳියි.

නිර්මාණි බණ්ඩාරනායක

   

 

 

 

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: