සෙන්පතියෙකුට මල් මිටක්

April 17, 2017 | 2:00 pm    0   266

සෙන්පතියෙකුට මල් මිටක්

තිස් වසරක ශාපලත් අඳුරු යුගය නිමාකරලීම වෙනුවෙන් අපේ රටේ ත්‍රිවිධ හමුදාව ඇතුළු ආරක්ෂක අංශ ජීවිත පූජාවෙන්, අනේකවිද කැපකිරීම් කළ බව ලොවම දන්නා කරුණකි. එකී අඳුරු යුගයෙන් ශ්‍රී ලංකාව මුදවා ගැනීමෙන් අනතුරුව මේ ගෙවෙන්නේ සංහිඳියාවේ සුබ සිහින යථාර්තයක් වන කාලයයි. එකී කාලය තුළදී යුද්ධයෙන් පීඩා විඳි ප්‍රදේශවල ජීවත් වන ජනතාවගේ ජන ජීවිත ගොඩනැඟීම වෙනුවෙන් රටේ රජයට සේම ඒ රටේ ආරක්ෂක අංශයටද පැවරෙන්නේ ඉමහත් භාරදූර්ය වගකීමකි. වගකීම උතුරේ යුද හමුදා සාමාජිකයන්ට සෘජුවම පැවරුණේ, 2009 වර්ෂයේ මේ රටේ ත්‍රස්තවාදය රටෙන් මුළුමනින්ම මැඩපැවැත්වීමෙන් අනතුරුවයි.
ගෙවුණු කාලය තුළ රටේ උතුරේ මෙන්ම දකුණේ ජනතාවගේ ජීවිත නැවත නඟාසිටුවීමේ කාර්ය සඳහා සෘජුව යුද හමුදාව මැදිහත්වීම කැපී පෙණිනි. ඒ අතරත් උතුරේ අවතැන් වූවන් නැවත පදිංචි කිරීමේ කාර්ය හා ඔවුන්ගේ ජන ජීවිත නඟා සිටුවීම වෙනුවෙන් උතුරේ හමුදා සාමාජිකයින් ඉටුකළ සේවය අතිමහත්ය. එකී කටයුත්තේ ප්‍රධාන මඟපෙන්වන්නා වූයේ මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක නම් වීර සෙන්පතියාය. එදා යාපනය ආරක්ෂක සේනා ආඥාපතිධූරය හොබවමින්, යාපා පටුනේ අවතැන් වූ ජනතාවගේ ජනජීවිත නැවත නඟා සිටුවීම වෙනුවෙන් එතුමා සිදු කළ මෙහෙය සුළුකොට තැකිය නොහැකිය. වර්තමාන යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස අද සිය සේවය යුද හමුදාවට එතුමා ලබාදෙන්නේ එකී උතුරේ සංහිඳියාව වඩාත් තීව්‍ර කිරීම වෙනුවෙන් සුවිශේෂී වූ දායකත්වයක් ලබාදීමෙන් අනතුරුවය.
මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක නැමති මෙම අභීත සෙන්පතියා ශ්‍රී ලංකා යුද හමුදාවට කැඩෙට් නිලධාරියෙකු ලෙස 1981 වසරේ ඔක්තෝබර් 16 වන දින එක්විය. එදා මෙදා තුර යුද හමුදාවේ එතුමන් රන් අකුරින් සිය නම සඳහන් කළ වාර ගණන අප්‍රමාණය. මේජර් ජෙනරාල් ව්.උ.ර්.ර්.එ. සේනානායක නැතහොත් නන්එදිරි උපේන්ද්‍ර මහේෂ් මැගිලියන් වීරතුංග සේනානායක වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම රණකාමී, මානව හිතවාදියෙක් බව සත්‍යයකි. කොළඹ ආනන්දයේ ආදි ශිෂ්‍යයෙකු වන එතුමාගේ කාලයේ “පොර” ඔහුය. ක්‍රීඩාව, අධ්‍යාපනය දෙකෙහිම විශිෂ්ටත්වය එක හා ප්‍රදර්ශනය කළේ ඔහුයි. බොහෝ දෙනෙක් තමන්ට කරකියා ගැනීමට නොහැකි කාලයක යුද හමුදාවට එක්වෙද්දී, එතුමන් යුද හමුදාව තෝරගන්නේ, තම පෞද්ගලික අපේක්ෂාවන්ට වඩා උපන් බිමට ආදරය කළ නිසාවෙන්මය.
යුද හමුදාව තුළ එතුමා පෙන්වූ විශිෂ්ටත්වය නිසාම යුද හමුදාවට ඔහු සම්පතක් විය. ලක්බිමේ පමණක් නොව විදේශ පාඨමාලාවන්වලදීද එතුමා ලාංකික අභිමානය ලෝකයා හමුවේ සනිටුහන් කළේ අති විශිෂ්ට ලෙසයි. ඉංජිනේරු රෙජිමේන්තුව තුළ තමන්ට දීප්තිමත් අනාගතයක් තිබෙන බව පෙනි පෙනී මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක නැමති අභීත සෙන්පතියා තමන් උපන් මව්බිම වෙනුවෙන් ඊට වඩා යමක් කළ යුතුය යන අපේක්ෂාවෙන් යුතුව, තම ජීවිතය අවධානයේ තබමින් “විශේෂ බලකායට” එක්විය. වර්තමානයේ විශේෂ බලකායේ රෙජිමේන්තු අධිපතිවරයා ලෙස එතුමන් මහඟු කර්තව්‍යයක් සිදුකරයි.
ඔහු සරල, අතිශූර, අව්‍යාජ, නැණවත් සෙන්පතියෙක් ලෙස දිනෙන් දින වැඩුණත්, කිසි කලෙක මාධ්‍ය ඉදිරියේ වීරයෙකු නොවීය. මහේෂ් සේනානායක නම් විශිෂ්ට රණකාමියා, විද්වතා, මානවවාදියා, සොඳුරු මිනිසාට සියල්ලන්ම දැඩි සේ ආදර කරන්නේ එනිසාය. වචනයේ පරිසමාප්තයෙන්ම ඔහු අව්‍යාජ මනුෂ්‍යත්වයේ උත්තරීතර සළකුණකි.
මේ සොඳුරු මිනිසාට ආදරය කරන වුන් අතර උතුරේ අවතැන්ව, නැවත පදිංචි කළ ජනතාවට ද හිමිවන්නේ වැදගත් තැනකි. ඒ මන්ද යත් කලක් වචනයට පමණක් සීමා වූ සංහිඳියාව, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඔවුනට දැනෙන්නට සැලැස්සුවේ එතුමන් නිසාය. නැල්ලිකපුරම් සංහිඳියා ගම්මානය උතුරේ අවතැන් වූවන්ගේ හිසට සෙවනක් ලබාදීම වෙනුවෙන් එතුමන් සිදුකළ තවත් උදාරතර කටයුත්තක් විය.
අව්‍යාජ මිනිසත් බවේ, සංකේතයක් ලෙසට එතුමා නිතරම යුද හමුදා සාමාජිකයින් හා සිවිල් ජනතාව අතරට පැමිණෙන්නේ අපූරු සිනහවකින් මුවඟ සරසාගෙනයි. ඒ සිනහව තුළ ගැබ්ව තිබෙන මානුෂීයත්වය නිසාම අදටත් උතුරේ ජනතාව එතුමන්ව සිහිපත් කරන්නේ දෑස් අඟට කඳුළක්ද එක්කර ගනිමිනි. වර්තමානයේ යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස අතිවිශිෂ්ට සේවයක් රට වෙනුවෙන් ඉටු කිරීමට මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක සෙන්පතිතුමන්ට හැකි වේවායි අපි ප්‍රාර්ථනා කරන්නෙමු.
අකලංක රත්නායක

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: