සෙල්ෆි තරඟයකට සිසුන් කැඳවන්න – රනිල් අකිලට කියයි

March 13, 2017 | 3:00 pm    0   331

සෙල්ෆි තරඟයකට සිසුන් කැඳවන්න – රනිල් අකිලට කියයි

“ටැබ් දෙනකන් බලන් හිටපු උසස් පෙළ සිසුන්ට සෙල්ෆිවලින් තරඟ තියන්න අගමැතිගෙන් අකිලට අලුත් අදහසක්”

“ලංකාවේ මිනිස්සු තවමත් ඉන්නේ ලෝකේ අනික් රටවල් එක්ක බලනකොට ගෝත්‍රික අවදියක” පහුගිය සතියේ පශ්චාත් උපාධිය සඳහා තිබුණ දේශනයකදී එක්තරා දේශකවරයෙක් ඒ විදියට කිව්වා. දේශකවරයා කිව්වේ මෙහෙම කියන්න හේතුව එක එක්කෙනා තනිව කල්පනා කරලා බලන්න කියලා. ඒ වෙලාවේ එහෙම කියලා ඒ ගැන අවධානයක් නොදීම ඔහු පාඩම වෙනත් දිශාවකට හැරෙව්වා. ඒ නිසා දේශනය අතරතුර දේශකවරයා කියපු දේ ගැන ගැඹුරින් හිතන්න වෙලාවක් නොතිබුණත්, ඒ දේශනයෙන් ඊළඟ දේශනයට හුවමාරු වෙන්න ලැබෙන විවේකය අතරතුර ඒ ගැන ටිකක් හිතන්න කාලය ලැබුණා.

ඇත්තටම ලෝකේ අනික් රටවල් සමඟ සසඳන කොට අපි තවමත් ඉන්නේ ගෝත්‍රික අවදියක කියලා කියන්න එක හේතුවකට වඩා වැඩි හේතු ගණනක් තියෙන්න ඇති කියලා ඒ වෙලාවේ කල්පනා වුණා.  එහෙම බලනකොට අපි ළඟ ගෝත්‍රික ලක්ෂණ බොහෝමයක් තවමත් ඉතිරිවෙලා තියෙනවා නේද කියලා කල්පනා වුණේ ඉබේටම. ඇත්තටම ලෝකේ අනික් රටවල සමාජ සංස්ථාව නූතනත්වයත් එක්ක ඉදිරියට යනකොට අපි තවමත් එක තැන නතර වෙලා. ඒ රටවල් දියුණුව ගැන හිතන්න හැම තප්පරේම වැය කරනකොට අපි අපේ තප්පර ගණන් නෙමෙයි පැය ගණන් වැය කරන්නේ අනික් අයගේ ඕපාදූප හොයන්න. ඒ රටවල් සමාජ මාධ්‍යය භාවිතා කරලා සමාජ පෙරළි තුළින් ප්‍රජාතන්ත්‍රවාදය හොයනකොට අපි ඒවා භාවිතා කරලා කරන්නේ ජාතිභේදය අවුස්සලා වෛරය වපුරනඑක. එකිනෙකා අතර ගැටුම් ඇතිකරගන්නඑක. මේ විදියට බලනකෙට එකකට වැඩි  ගෝත්‍රික ලක්ෂණ ගොඩක් අපි අතර තියනවා කියලා හිතෙන්න ගත්තා. කොහොම හරි ඒ ගැන කල්පනා කර කර ඉද්දි තමයි ළඟපාත තිබුණු පුවත්පතක් ළඟ ඇස් දෙක ඉබේම නතර වුණේ. පුවත්පත අතට අරන් පිටුවෙන් පිටුව පෙරලන් යනකොට එක්තරා පාසලකට වසර 150 ක් සැපිරීම වෙනුවෙන් පැවති නව නිෂ්පාදන ඇගයීමේ උත්සවයකට සහභාගී වෙමින් අගමැතිතුමා කරපු කතාවක් වෙනුවෙන් පුවත්පතේ පිටුවක්ම වෙන්කරලා තිබුණා දැක්කා. යහපාලන ආණ්ඩුව ගැන මේ දවස්වල මොන තරම් විවේචන තිබ්බත් අගමැතිතුමාට හොඳ අදහසුත් ඔළුවට එනවා කියලා වැටහෙන්න වැඩි වෙලාවක් ගියේ නෑ. මේ උත්සවයට අගමැතිතුමා සහභාගිවෙලා තිබුණේ තනියම නෙමෙයි අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහත්තයත්් එක්ක. ඒ නිසාම පහුගිය කාලේ අධ්‍යාපන ඇමතිතුමාගේ අදක්ෂකම් පෙන්නපු අධ්‍යාපන අමාත්‍යංශයේ වැරදි ටික වහලා සුදුහුණු ටිකක් ගාලා දෙන්නත් අගමැතිතුමාට පුළුවන් වෙලා තිබුණා. තාරුණ්‍යයේ හැකියාවන් වගේම අනාගත පරපුරේ දක්ෂතා අගයන්න තමන් විසින් අධ්‍යාපන ඇමතිතුමාට කරාය කියන යෝජනා ටික දැක්කට පස්සේ, ඇත්තටම අගමැතිතුමාට අධ්‍යාපන ඇමතිතුමාට වගේ, මෝඩ චූන්වලින් හිට්වෙන්න උවමනාවක් නෑ කියලා ඕනම කෙනෙක්ට තේරෙනවා ඇති. ඒවා නිකම් පාසල් නිල ඇඳුම් සඳහා ඒ ඒ දිස්ත්‍රිකවලට පාටක් වෙන් කළ යුතුයි කියන යෝජනාව වගේ යෝජනාවක්  නම් නෙමෙයි. එහෙම නැත්තම් රටේ අධ්‍යාපනයේ මේ තරම් අර්බුධ තියෙද්දි උසස් පෙළ දරුවන්ට ටැබ් දිය යුතුයි කියන යෝජනාව වගෙත් නෙමෙයි. ඇත්තටම රටේ අනාගත පරපුරේ දක්ෂතා අගයලා ඒ තුළින් අපේ රට තාක්ෂණික විෂයෙන් ඉදිරියට ගෙනයන්න පාසල් මටට්මින් දක්ෂයන් අගයන යෝජනා තුනක්. මේ යෝජනා තාරුණ්‍යය වෙනුවෙන් කරලා තියෙන අගය කළ යුතු යෝජනා ටිකක් කිව්වොත් හරි.

මේ යෝජනා අගය කළ යුතු යෝජනා කියන්න හේතු කිහිපයක්ම තියෙනවා. අපේ රට ලෝකේ අන් රටවල් හා සසදා බලන කොට තවමත් ඉන්නේ තාක්ෂණික අතින් බොහොම පහළ තැනක. ඇත්තටම අලුතින් පාරක් හදන්න ගියත් අපි තාක්ෂණය ගේන්නේ චීනෙන්. අපේ රටේ හොඳ ඉන්ජිනේරු දැනුමක් සහිත පිරිසක් හිටියත් ඒ පිරිස අඟය කරන්න මෙතෙක් කිසිම රජයකින් උත්සහ නොකළ නිසාම ඒ ක්ෂේත්‍රයේ කටයුතු අඩාල වෙලා තාක්ෂණය වෙනුවෙන් විදේශයන්ට ගැති වෙන්න වෙලා තියෙනවා. අනික් පසින් අපේ රටේ නව නිෂ්පාදන කළ හැකි විශාල පිරිසක් ඉන්නවා. චීනය, ජපානය, සිංගප්පූරුව වැනි රටවල් රොබෝ තාක්ෂණය භාවිතා කරමින් ඉදිරියට යද්දි අපට ඒ තාක්ෂණයේ අහලකටවත් එන්න බැරි වෙලා තියෙනවා. හැබැයි අපේ රටේ බටහිර දියුණු ශිල්පයට අභියෝග කළ හැකි පිරිසක් ඉන්න බව රහසක් නෙමෙයි. ඒ පිරිසට අත හිත දුන්නා නම් ලෝකයේ අනෙක් රටවල් අභිබවා යන්න හැකියාව ලැබෙන එක නවත්තන්න කාටවත්ම බැහැ. ඒ නිසා වෙන්න ඇති අගමැතිතුමා යෝජනා කරලා තියෙන්නේ දිවයිනේ පාසල් අතර නව නිපයුම්කරුවන්ගේ තරඟයක් තියලා ඒ තරගයෙන් දිස්ත්‍රික්ක මට්ටමින් හෝ ජාතික මට්ටමින් ජයගන්න අයට තෑගි පිරිනමන්න කියලා. මේ යෝජනාව අගමැතිතුමා කරපු ඉතාම හොඳ යෝජනවාක් වුණත් මේක ක්‍රියාත්මක වෙද්දි මොන මොන දේ අධ්‍යාපන ඇමතිතුමා අතින් මඟ හැරෙයිද කියලා නම් කියන්න බෑ. සමහර විට ඒක යෝජනාවක් විදියටම තිබිලා අමතක වෙලා යන්නත් පුළුවන්. එහෙම වෙන තාක්කල් අපේ රටට තාක්ෂණිකව ඉදිරියට යන එක නම් ලොකු හීනයක් විතරයි කියලත් කියන්නම ඕන. ඒ නිසාම විවෘත මට්ටමින් නැතත් පාසල් මට්ටමින් හෝ අපේ රටේ නව තාක්ෂණික නිෂ්පාදන අගය කරන්න හිතපු එක ඉතාම හොඳයි. මේ අතරම අගමැතිතුමාගේ යෝජනා කිහිපය අතරේ තවත් ඉතා හොඳ යෝජනාවක් තිබුණා. ඒ සොෆ්ට්වෙයා අලුතින් නිපදවන අයව අගය කිරීම. මුළු ලෝකයම තාක්ෂණිකව ඉදිරියට යද්දි අලුතින් මෘදුකාංග නිෂ්පාදනය වෙන එක වළක්වන්න බැරි දෙයක්. ඒ නිසාම අපේ රටේ මෘදුකාංග නිෂ්පාදනය කළ හැකි දක්ෂයන් පාසල් මට්ටමින් හෝ ඇගයීමත් ඉතා වටිනා දෙයක්.

මේ යෝජනා දෙකටම අමතරව අගමැතිතුමා තවත් අපූරු යෝජනාවක් කරලා තිබුණා. ඒ යෝජනාව ටිකක් ආන්දෝලනයට තුඩුදෙන යෝජනාවක්. හැබැයි මේක මේ දවස්වල උන්මාදයක්. ඉඳල හිටලා අගමැතිතුමා සහ අධ්‍යාපන ඇමතිතුමත් අරගන්න ජංගම දුරකථන තියෙන බොහෝ දෙනෙක් ඇබ්බැහි වෙලා ඉන්න සෙල්ෆි ආශ්‍රිතව තරගයක් තියන්න අගමැතිතුමා යෝජනා කරලා තියෙනවා. හැබැයි ප්‍රශ්නේ ඒක නෙමෙයි. පාසල් තුළට ජංගම දුරකථන ගෙන ඒම නීතියක් හෝ රීතියක් වෙලා තියෙද්දි පාසල් ළමුන් සෙල්ෆි ගන්නේ මොන විදියට ද කියන එක. නිල ඇඳුමෙන් නොවුණොත් ඒක පාසල් අතර තරගයක් වෙන්නේ කොහොමද කියන එක. කලින් යෝජනා දෙකටම වඩා වෙනස් එකක් වුණත් මේ දවස්වල සෙල්ෆි ලෝකේ පුරාම උන්මාදයක් වෙලා තියෙන නිසා සමහරවිට අගමැතිතුමා මෙහෙම යෝජනාවකුත් ගේන්න ඇත. පහුගිය කාලේම වෙබ් අඩවි තහනම් කරන්න ගියපු යහපාලන රජයම මෙවැනි යෝජනාවන් ගේන්න හිතන හිතන එකත් ධනාත්මක පියවරක් වෙන්න පුළුවන්. අඩුතරමේ සෙල්ෆි වැඩිපුර ගහලා හරි අනික් රටවල් අභිබවලා ගෝත්‍රික මානසිකත්වය නැති කරගෙන ඉදිරියට එන්න පුළුවන්නේ. ඒ නිසාම හොඳ නරක මොනව වුණත් පසු විපරමක යෙදෙන්න නම් අධ්‍යාපන අමාත්‍යංශය සෙල්ෆි තරගය පවත්වනකම්ම ඉන්න වෙයි. හැබැයි එතකොට නම් පහුගිය දවස්වල ෆේස්බුක් එකෙන් චතුරව අතඇරලා වික්ටර් රත්නායක ළඟ නතරවුණ හැම කෙනෙක්ටම කතා කරන්න අලුත් මාතෘකාවක් ලැබෙනවා කියන එක නම් නොඅනුමානයි.

චමෝදි කළුආරච්චි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: