හැට පැන්න පිරිමින්ගේ සිඟිති මනමාලියන්

April 7, 2017 | 5:00 pm    0   185

හැට පැන්න පිරිමින්ගේ සිඟිති මනමාලියන්

විවාහයන් පිළිබඳ අපි නොයෙකුත් කතා අසා ඇත්තෙමු. ළමා විවාහයන්වලදී සියවස් ගණනාවක සිට ලොව බොහෝමයක් රටවල් සාම්ප්‍රදායිකත්වයට විරුද්ධ වී ඇත. කිනම් ආගමක, සමාජයක, සංස්කෘතියක ජීවත් වුවද තමන් කැමති ආකාරයේ විවාහයන් කරගැනීමට විවාහ නීතී සකස් වී තිබිය නොහැක. පරිණත බවට ප්‍රථමයෙන් විවාහ වන සමාජයේ මිනිසුන් ශාරීරික මෙන්ම සමාජමය වශයෙන්ද පිරිහෙන බව සරල සත්‍යකි. ළාබාල විවාහ ගැන කතා කරන විට ඒවා සිදු වන්නේ සතුන් තිරිසනුන් වැනි මිනිසුන් සිටින සමාජයක එසේත් නැත්නම් ආගමික උමතු බවේ උපරිමයකට පැමිණි සමාජයක යැයි කීම නිවැරැදියි.

ළමා විවාහ බොහෝ ආසියානු සහ අප්‍රිකානු රටවල පවතින චාරිත්‍රයක් වශයෙන් හඳුන්වාදීමට ඇතැමුන් පෙළඹ තිබේ. ලොව පුරා බාල වයස්කාර ළමා විවාහයන් හේතුවෙන් ගැහැණු ළමයින් මිලියන ගණනින් අනාථවන බව සරල යථාර්තයකි. සමහර දුගී දුප්පත් පවුල්වල දරුවන්ගේ වියදම් අඩු කර ගැනීම සඳහා ඔවුන්ව විවාහ කර දීමට සිදුව තිබේ. ඇතැම් දෙමව්පියන් තම දියණියට වඩාත් සුදුසු කෙනෙකු සමඟ විවාහ වීමට ඉඩ ලබාදෙනවා වෙනුවට බලහත්කාරයෙන් ඔවුන් විවාහ කරදීමටද කටයුතු කර තිබේ. කෙසේ වුවද මෙවැනි බාල වයස්කාර විවාහ දෙමව්පියන්ගේ කැමැත්ත මත සිදු වීම තවදුරටත් විකල්පයක් නොවේ.

සෑම තත්පර 7කට වරක් ලොව කොතැනක හෝ වයස අවුරුදු 15ට අඩු දැරියක විවාහ වන බවට සමීක්ෂණයකින් හෙළි වී තිබේ. ඇෆ්ගනිස්ථානය, යේමනය, ඉන්දියාව, සෝමාලියාව, බංගලාදේශය සහ නේපාලය වැනි රටවල බාලවයස් විවාහයන් බහුල වශයෙන් සිදුවන බවට වාර්තා වේ. වයස අවුරුදු 10 පමණ දැරියන්ට පවා විවාහ ජීවිත ගත කිරීමට සිදුව ඇති අතර එම දැරියන් සමඟ බොහෝ විට විවාහ වන්නේ වයසින් වැඩි පිරිමි අයයි. යුනිසෙෆ් සංවිධානය පෙන්වා දෙන්නේ 2030 වසර වන විට ලොව පුරා ළමා වයසේදී විවාහ වන ගැහැණු දරුවන්ගේ සංඛ්‍යාව මිලියන 700 සිට 950ක් දක්වා ඉහළ යා හැකි බව සහ ප්‍රායෝගිකව එය සෞඛ්‍ය, අධ්‍යාපනික, ආර්ථික සහ මානසික අතින් අහිතකරවන බවත් ඒ තුළින් සිදුවන අපචාර හා ප්‍රචණ්ඩත්වයේ අවධානම වැඩි විය හැකි බවටත් ඔවුන් නිගමනය කර ඇත.

සාමාන්‍යයෙන් විවාහය සඳහා වන අවම වයස අවුරුදු 18ක් වශයෙන් තවමත් සෑම රාජ්‍යයක්ම පිළිගනී. නමුත් රටවල් කිහිපයක බොහෝ ප්‍රාන්තවල දෙමව්පියන්ගේ කැමැත්ත මත අවුරුදු 16-17 වයසේ දරුවන් විවාහ කර දෙයි. මේරිලන්ඩ්, නිව්යෝර්ක් සහ වර්ජීනියා වැනි රටවල අවුරුදු 16ට අඩු දරුවන් අධිකරණය මඟින් අනුමැතියක් තිබේ නම් පමණක් විවාහ කර දීමට අවසර ලබා දී ඇත. Unchained නැමැති පර්යේෂකයාගේ දත්තවලට අනුව 1995 සිට 2012 වසර දක්වා බාල වයස්කාර ගැහැණු ළමුන් 90%ක ප්‍රතිශතයක් විවාහ වී ඇති බවට වාර්තා වේ. නිව් ජර්සි නැමැති පර්යේෂිකාව විසින් සිදු කරන ලද පර්යේෂණයකින් පෙන්වා දෙන්නේ එක් වසරකදී අවුරුදු 15ට අඩු දෙමළ ජාතික බාල වයස්කාර දැරියන්ගේ විවාහ 3,499ක් පමණ ලොව පුරා රටවලින් වාර්තා වන බවයි.

එක්සත් ජාතීන්ගේ ජනගහණ අරමුදලේ තොරතුරුවලට අනුව වයස අවුරුදු 18ට අඩු දැරිවියන් තිදෙනෙකු අතරින් එක් අයෙකු අඩු වයස් විවාහයකට එළඹෙයි. එමෙන්ම අවුරුදු 15ට අඩු දැරිවියන් නවදෙනෙකුගෙන් එක් අයෙකු අඩු වයස් විවාහයකට මුහුණ දෙයි. මිහිපිට ගැහැණු දරුවෙකු වශයෙන් උපත ලබන සෑම අයෙකුම මෙම තර්ජනයට මුහුණ දෙමින් ජීවිකාව ගතකරන නමුත් සත්‍ය වශයෙන්ම ළමා විවාහ නැත්නම් අඩු වයස් විවාහ යනු ගැහැණු දරුවෙකුගේ මානව හිමිකම් දැඩි වශයෙන් උල්ලංඝනය කිරීමකි. 2012 වසරේ පටන් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබූ ඔක්තෝම්බර් 11වන දිනට යෙදී තිබෙන ලෝක ගැහැණු දරුවන්ගේ දිනයෙහි එක් අරමුණක් වූයේ ද ලෝකයාටම තර්ජනයක් වී ඇති ළමා විවාහ වළක්වාලීමය.
ලොව පුරා සිදු වන ළමා විවාහවල ආදීනව පිළිබඳ සටහන් කිරීමේදී පසුගිය වසරේ පහලොස් හැවිරිදි තුර්කි දැරිවියක් දරු උපතක් සිදු කිරීමේදී මිය යෑමේ සෝචනීය පුවත ගෙන හැර දැක්විය හැකිය. තුර්කියේ බැට්මන් නුවර පෞද්ගලික රෝහලකදී මෙම දැරිවිය 14 වියේ සිටියදී බලහත්කාරයෙන් විවාහ කර දුන් බවට වාර්තාවල සඳහන් වී තිබුණි. මේ මරණයත් සමඟම ලොව පුරා ළමා විවාහයන්හි බරපලතලකම නැවතත් කතාබහ කෙරෙන්නට පටන් ගැණුනි. ළමා විවාහවල භයානකම පැතිකඩ ඔවුන් ගැබ්ගත් පසුව මුහුණදෙන ජීවිත තර්ජනයවන බව බොහෝ විශේෂඥයන්ගේ අදහස විය. නව යොවුන් වියේ දැරියකගේ සිරුර හරිහැටි දරු උපතකට ඔරොත්තු දෙන මට්ටමට සැකසී නොමැති නිසා මෙලෙස ජීවිත හානි සිදු විය හැකි බවත් අධි රුධිර පීඩනයට ගොදුරු වීමේ වැඩි අවධානමක් පවතින බවත් ඔවුන් පෙන්වා දෙයි.

‘ඇය මැදි වයසේ පසුවන යෞවන දැරියකි. ඇය විවාහ වී ඇත්තේ අවුරුදු 50ක පමණ පුද්ගලයෙකු සමඟය. ඇය ඔහුත් සමඟ වෙළඳපොලට පැමිණ තිබේ. වෙළඳපොල තුළ යම් සිද්ධියක් විමර්ශනයට පැමිණි පොලිස් නිළධාරීන් කිහිපදෙනෙකුට මෙම දැරිය ඇස ගැටීමත් සමඟ මේ නීති විරෝධි විවාහය පිළිබඳව පරීක්ෂණ ආරම්භ කිරීමට පියවර ගෙන ඇත’. මේ වර්ජිනියාවේ සිදු වූ එක්තරා සිදුවීමකි. අතීතයේදී වර්ජීනියාවේ විවාහ නීතිය මගින් දරුවන් ආරක්ෂා කළේ නැත. නමුත් බාල වයස්කාර ළමා විවාහයන් දැඩි ලෙස සීමා කිරීමට වර්තමානයේදී වර්ජිනියාව තුළ කටයුතු කර තිබේ.
2005 වසර්දී වර්ජිනියාවේ නෙබ්රස්කා ජන කොට්ඨාශයට අයත් ලාබාල දැරියක්ව අවුරුදු 50ක තැනැත්තෙක් විවාහ කරගැනීම හේතුවෙන් ඒ පිළිබඳව පුළුල් විමර්ශනයක් කිරීමෙන් අනතුරුව අදාල පුද්ගලයා ලිංගික වැරිදිකරුවෙකු වශයෙන් මාස 15ක් සිරගත කළේය. එමෙන්ම 2011 වසරේදී 16 හැවිරිදි ඉබධඤඤඥද නැමැති දැරිය 51 හැවිරිදි ඩග් හඩ්සන් නම් ගායකයා සමඟ විවාහ විය. පසුව බාල වයස්කාර දැරියක් විවාහ කර ගැනීමේ වරදට ඔහුව අත්අඩංගුවට ගනු ලැබීය.

නේපාලයේ සෑම ගැහැණු ළමුන් තිදෙනෙකුගෙන් එක් අයෙකු අවුරුදු 18ට පෙර විවාහ වන බවට හියුමන් රයිට් වොච් ආයතනය විසින් කළ සමීක්ෂණයකින් අනාවරණය වී තිබේ. එම වාර්තාවට අනුව අඩු වයසින් විවාහවන ගැහැණු ළමුන්ගෙන් වැඩි දෙනෙක් නේපාලයේ මුල් පදිංචිකරුවන්ගේ ප්‍රජාවට අයත් වන බවට කරුණු සොයාගෙන ඇත. ළමා විවාහ නේපාලයේ නීති විරෝධි ක්‍රියාවක් වන නමුත් නීතිය ක්‍රියාත්මක කිරීමේදී පවතින දුර්වලතාවයන් මෙම තත්ත්වය වැඩී වර්ධනය වීමට හේතුවී ඇති බව ඔවුන් පෙන්වා දෙයි.

නිව්යෝර්ක් ප්‍රාන්තය තුළ 2000-2010 වසර තුළ බාල වයස්කාර දැරියන් 3,853ක් විවාහ වී ඇති බවට එරට රාජ්‍ය සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ දත්තවලින් සොයාගෙන තිබේ. වර්ජිනියාවේ ප්‍රාන්ත රාජ්‍ය සෞඛය සංඛ්‍යා ලේඛනවලට අනුව 2000-2013 වසරේ බාල වයස්කාර දැරියන් 4500කට වඩා වැඩි පිරිසක් විවාහ වී ඇති බව පෙන්වා දෙයි. එමෙන්ම වර්ජිනියාවේ 2010 වසර අවුරුදු 15ට අඩු ගැහැණු දරුවන් අවුරුදු 50ට වැඩි පිරිමින් සමඟ විවාහ වීම් වැඩි වශයෙන් වාර්තා වී ඇති වසරක් වී ඇත.

90%ක සාක්ෂරතාවයක් පවතින අපේ අසල්වැසි ඉන්දියාවේද ළමා විවාහයන් ශීඝ්‍රයෙන් ඉහළ යමින් තිබේ. ඉහළ සාක්ෂරතාවයක් සහ මනා ස්ත්‍රී පුරුෂ සමතුලිතතාවයක් තිබෙන ඉන්දියානු කේරළ ප්‍රාන්තයේ දැන් දැන් ළමා විවාහයන් ශ්‍රීඝ්‍රයෙන් වැඩි වී ඇතැයි එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල වාර්තා කරයි. මීට අමතරව ඉන්දියාවේ ළමා විවාහ වැඩි වශයෙන් සිදු වන්නේ බිහාර් ප්‍රාන්තයේ බවත් එය 68%ක ප්‍රතිශතයක් ගන්නා බවත් සඳහන් වේ.
අප්‍රිකාවේ ගැම්බියා සහ ටැන්සානියා රාජ්‍යයන් විසින් ළමා විවාහ තහනම් කිරීමට තීරණය කර ඇත. තහනම පැනවීමට පෙර එම රටවල විවාහ වීමේ වයස අවුරුදු 14ක් වුවද තහනමින් පසුව එම වයස් සීමාව අවුරුදු 18ක් දක්වා ඉහළ නංවා ඇත. ගැම්බියාවේ බාල වයස්කාර දැරියන් 30%ක්ද ටන්සානියාවේ ළාබාල දැරියන් 37%ක්ද විවාහ වීමේ තත්ත්වයක් තිබුණි. ගැම්බියානු ජනාධිපති විසින් වයස අවුරුදු 18ට අඩු දැරියන් විවාහ කර ගන්නා ඕනෑම පුදුගලයෙකුට වසර 20ක සිර දඬුවම් ලබාදීමටද තීරණය කර තිබේ.

ලෙබනනය බාල වයස් විවාහයන් සම්බන්ධයෙන් ඉහළ වාර්තා සංඛ්‍යාවක් දරන කරන රටක් වශයෙන් හඳුනාගෙන තිබේ. එයට හේතු වී තිබෙන්නේ වසර ගණනාවක් තිස්සේ සිරියාවේ රජය සහ මූලධර්මවාදීන් අතර පවතින ගැටුම් හේතුවෙන් එරට ජනතාවගෙන් බහුතරයක් ඔවුන්ගේ අසල්වැසි රටවන ලෙබනනයට පළා යාමයි. මෙලෙස පළා යන පිරිසගෙන් අති බහුතරයක් ළමා වියේ පසුවන ගැහැණු දරුවන් වන අතර ඔවුන්ට ලෙබනනයේ තම ජීවිකාව පවත්වා ගෙන යාමට අඩු වයසේ පසු වුණත් වැඩිමහල් අය සමඟ විවාහ වීමට සිදුව තිබේ.

ඇමරිකාව වැනි දියුණු රටක ළමා විවාහ සිදු වීම අවම වන අතර දැරියක් ගැබ් ගත් අවස්ථාවකදී සහ දෙමව්පියන්ගේ කැමැත්ත මත විවාහය සිදු කරගත් අවස්ථාවකදී හැර ළමා විවාහයන් සම්බන්ධයන් එවැනි රටක දීර්ඝ කාලීනව සිදුවන සිදුවීම් වාර්තා වී නොමැත. එවැනි රටක මෙවැනි බාල වයස්කාර විවාහයන්ට එරෙහිව තදින්ම නීතිය ක්‍රියාත්මක වූ අවස්ථාද ඇත. වර්තමානය වනවිට ලෝකයේ බොහෝ රටවල ළමා විවාහය සීමා කිරීමට කටයුතු කෙරෙමින් පවතී. ඊට අදාළ කරුණු කාරණා ඇතුලත් ව්‍යවස්ථාමය අනපණත් මෙන්ම ප්‍රතිපත්තීන්ද සම්පාදනය කරමින් පවතී.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දත්තවලට අනුව සෑම වසරකම අවුරුදු 18ට අඩු වයසේ සිටින ගැහැණු දරුවන් මිලියන 17.4ක් විවාහ දිවියට එළඹෙන බව සඳහන් වෙයි. එය දෛනික වශයෙන් ගණන් බැලූ විට විවාහ 47,000කි. මෙලෙස විවාහ වන දැරිවියෝ බහුල වශයෙන් ලිංගික අතවරයන්ට ලක්වෙන අතර ලිංගිකව සම්ප්‍රේෂණයවන රෝගවලටද ගොදුරු වෙති. තවද මොවුන් ළමා වියේදී විවාහ කරදෙන නිසා ඔවුන්ට අධ්‍යාපනය අහිමිවන අතර පෝෂණය, ශරීර වර්ධනය ආදියද අහිමි වෙයි. අඩු වයස් විවාහ හේතුවෙන් ගැබ්බර වන මෙම දැරිවියන් මාතෘ මරණවලට මුහුණදීමේ දැඩි අවධානමක් පවතියි.

කෙසේ වුණත් ලෝකයේ අනෙකුත් රටවලට සාපේක්ෂව ලංකාවේ අඩු වයසේ ළමා විවාහ අඩු මට්ටමේ සිදුවන බවයි බොහෝ දෙනෙකුගේ අදහස වන්නේ. යුනිසෙෆ් වාර්තාවලට අනුව ලංකාවේ අඩු වයස් ගැබ් ගැනීම් 5.3%ක අගයක් ගන්නා බවත් 2015 වසරේ වයස අවුරුදු 12-17ත් අතර වයසේ ළමා විවාහ 20,780ක් වාර්තාවන බවත් සඳහන් කළ හැකියි. නමුත් ඉකුත් දිනකදී ලංකාවේ මුස්ලිම් ප්‍රජාව තුළ ළමා විවාහ සිදු කිරීම ක්‍රමයෙන් වැඩිවීමේ ප්‍රවණතාවක් දක්නට ඇති බව මුස්ලිම් මානව හිමිකම් ක්‍රියාධාරීන් ප්‍රකාශ කර තිබිණි. විශේෂයෙන්ම නැගෙනහිර පළාතේ ඔවුන් විසින් සිදු කළ පරීක්ෂණයකට අනුව ලංකාවේ මුස්ලිම් විවාහ වසරක් ඇතුළත දෙගුණයකින් ඉහළ ගොස් ඇති බවට ඔවුන් සොයාගෙන ඇත. 2014 වසරේ දී 14%ක්ව තිබූ නැගෙනහිර පළාතේ මුස්ලිම් ළමා විවාහ 2015 වසර වනවිට 22%ක් දක්වා ඉහළ ගොස් තිබේ. මේ ආකාරයෙන් වැඩී වර්ධනය වන මුස්ලිම් ළමා විවාහයන් වැළැක්වීම පිණිස මුස්ලිම් විවාහ සහ දික්කසාද නීතිය සංශෝධනය කළ යුතු බව ඔවුන්ගේ අදහසයි. මුස්ලිම් පුද්ගල නීතියට අනුව ගැහැණු දරුවන් විවාහ කරදීම සඳහා නිශ්චිත වයස් සීමාවක් නොමැති වුවත් මෙවැනි ළමා විවාහයන් හේතුවෙන් බරපතල සමාජ ගැටළු මතුවිය හැකි බව ඔවුන් පෙන්වා දෙනු ලබයි. මේ හේතුවෙන් මුස්ලිම් පුද්ගල නීතිය සංශෝධනය කිරීමේ අවශ්‍යතාවය අද ඊයේ නොව වසර 25ක කාලයක් තිස්සේ හටගෙන තිබෙන්නක් බව සඳහන් කළ යුතුය.

කෙසේ වුවත් මුළු ලෝකයා දෙසම බලනකල පෙනී යන්නේ ලෝකයේ ඇතැම් රටවල් ගැහැණු දරුවන්ට කිසිසේත්ම නුසුදුසු බවය. එළෙස වර්තමාන ලෝකයේ ගැහැණු දරුවන්ට නුසුදුසුම රටවල් අතරින් ඉදිරියෙන්ම සිටින රටවල් 10ක්ද හඳුනාගෙන තිබේ. ඒ රටවල් වන්නේ ඉරානය, චීනය, කොංගෝව, ඇමරිකාව, රුසියාව, නයිජීරියාව, යේමනය, එල්-සැල්වදෝරය, ඉන්දියාව සහ සෞදි අරාබිය යන රටවල්ය. ලංකාවේ වත්මන් තත්ත්වය බලන කළ නොබෝ දිනකින් මේ ලැයිස්තුවට ලංකාවද ඇතුලත් වේවීදෝ යන සාධාරණ සැකය මතුවන්නට පුළුවන.

සොඳුරු බාලවියේ දුව පැන නටන පුංචි අහිංසක ජීවිත රැසක අනාගත ආලෝකය මකා දමමින් ඔවුන්ගේ ජීවිත සිඳ බිඳ දමා ඔවුන්ව තලා පෙලා පොඩි කර දමන්නට බලා සිටින වල්මත් වූ වෘකයින් වැනි කෘෘර පාපතරයන් අද සමාජයේ පැටව් ගසා ඇත. කෙතරම් දියුණු සමාජයක් බවට අප පත්ව සිටිය ද සදාචාරය සහ මනුෂ්‍යත්වය ඉදිරියේ අතරමංව සිටින අප නැවතත් මුල් යුගයට පා තබමින් සිටිනවාදෝ යන හැඟීම මේසා ඇති වීම සාධාරණය.

එෆ්. ෂර්මිලා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: