හැමදාම කුණු වෙන ගඳ ගහන ප්‍රශ්න

March 7, 2017 | 2:00 pm    0   433

හැමදාම කුණු වෙන ගඳ ගහන ප්‍රශ්න

බැලූ බැල්මට මේ මොකක් ගැන කියන්න යනවද කියලා සමහර අයට හිතාගන්න බැරුව ඇති. හැබැයි සමහර අයට වහෙන් ඔරව වගේ මේ මොකාටද එන්නේ කියලා දැනෙනවා ඇති. ලංකාවේ අපිට හැමකාලේම තියෙනවා ප්‍රශ්න. ප්‍රශ්න පිට ප්‍රශ්න. කවුරුත් නොහිතන විදිහේ ප්‍රශ්න. මේවට උත්තර තියෙනවද කියලවත් හිතාගන්න බැරි විදිහේ ප්‍රශ්න. ඒ හින්දා අපේ ප්‍රශ්නවලට ඕනේ කාටවත් හිතාගන්න බැරි විදිහේ උත්තර. හරියට නිකං රෑට නිදාගෙන උදේට ඇහැරෙද්දි කුණු ප්‍රශ්නේ විසඳෙනවා වගේ දෙයක්. ආහ්…පොඩ්ඩක් ඉන්න. ප්‍රශ්නේ ගැන එහෙනම් ඔයාට ඉඟියක් ලැබුණා මං හිතන්නේ.

දැන් තියෙන දේශපාලන ප්‍රශ්න, ආර්ථික ප්‍රශ්න, ගෙදර හස්බන්ඩ්-වයිෆ්ට තියෙන ප්‍රශ්න, ඔෆිස් ප්‍රශ්න, කලාවේ ප්‍රශ්න වගේ මහපාරේ, රටේ තොටේ එදිනෙදා වෙන ප්‍රශ්න දිහා බලනවා වගේ කුණු ප්‍රශ්නේ දිහා නම් මේ විදිහට නිකං බලං ඉඳලා ෂේප් වෙන්න බෑ…(ඒක දන්නේ ඉතිං ගෙදර ගැහැණු උදවිය විතරයි කියන්නකෝ). අනේ මන්දා ඉස්සර නම් පාරක්, හන්දියක් ගානේ කුණු බක්කි වැහි වැහලා තිබුණට දැන් ඉතින් පාට පාට කුණු බකට් ගේ පිළිකන්නේ ගොඩගැහිලා. අනවශ්‍ය විදිහට බක්කි පාවිච්චි කරපු කුණු කසලපාලලා හින්දා තමයි බක්කි සිස්ටම් එකෙන් බකට් සිස්ටම් එකට මාරුවෙන්න සිද්ධ වුනේ කියලා හැමදාම උදේට ගෙදර ගැහැණු උදවිය නන්ස්ටොප් කෑ ගහනවා ඇහිලා ඇති නේද…

මේ සිස්ටම් එකේ මාරු වීම කොච්චරද කියනවනම් දැන් දැන් ලංකාවේ කොළඹ හතේ ගෙවල්වල විතරක් නෙවෙයි හද්ද පිටිසර ගම්වල පවා මේ කුණු ප්‍රශ්නේ පවුල් ප්‍රශ්නයක් වෙන තැනට වැඩ සිද්ධ වෙලයි තියෙන්නේ. ඉස්සර නම් උදේ පාන්දර සද්දෙට මියුසික් දාගෙන ආවේ චූන් පාන්. හැබැයි දැන් සද්දෙට මියුසික් දාගෙන ළමයි ඉස්කෝලේ යන වෙලාවට පාරක් ගානේ ගෙදරක් ගානේ එන්නේ චූන් පාන් ද කුණු ලොරියද කියලා හිතාගන්න බෑ. සිස්ටම් එකට අනුව සතියට කුණු ගන්න එන්නේ ටයිම් ටේබල් එකකට. මේ කුණු ලොරියේ මියුසික් එකට ඉස්සෙල්ලම කලබල වෙන්නේ ගෙදර ගැහැණු උදවිය. ඊට පස්සේ කලබල වෙන්නේ ගෙදර පිරිමි පාර්ශවය. ගෙදර මනුස්සයා කලබල වෙන්න හේතුව මොකද්ද දන්නවද…බැරි වෙලාවත් කුණුකාරයා කුණු ටික අරන් ගියේ නැත්තම් ගැහැණු උදවියගෙන් කුණු බැණුම් ටික අහගන්න වෙන්නේ ගෙදර පිරිමියාටනේ ඒකයි. කොහොමහරි මියුසික් එක ඇහිච්ච ගමන් ඇඳන් ඉන්න නයිටිය පිටින් ගේට්ටුව ළඟට දුවගෙන යන ගැහැණු උදවිය ඉක්මනට බලන්නේ අද මොන වර්ගයේ කුණු අරන් යන්නද මෙයා ඇවිත් තියෙන්නේ කියලා.

“ඉඳුල් ඉඳුල්….. ඉඳුල් ඉඳුල්…..
ඉඳුල් තියෙනවානම් ගේන්න
අද ඉඳුල් විතරයි……

(මේක මාර සිස්ටම් එකක්නේ…) එතකොට අනිත් ඒවා…
ඒවා ගන්න තව දවසක එන්නම් මැඩම්”.

සද්දේ ඇහුණු සුනන්ගුවෙන්, කුණු ටික අරන් එන ටිකට කුණුකාරයා වාෂ්පවෙලා. ඔන්න ඔහොමනේ චූන් පාන්කාරයත්. මියුසික් එක ඇහෙනකොට ඇඳන් ඉන්න ඇඳුම් පිටින් කෑම ගන්න දුවන් එන ගෑණු අයට වේගෙන් යන චූන් පාන් වාහනේ අල්ලන්න පාරට දුවන්න වෙනවා. මෙයාලට චූන් පාන් කියලා කියනවා ඇත්තෙත් මේ විදිහට චූන් කරලා මිනිස්සුන්ව ජුවල් කරලා යන්න එන හින්දා වෙන්නත් ඇති නේද. කොහොමහරි කුණුකාරයත් එන්නේ ලංකාවේ තියෙන සිස්ටම් එකේ හැටියට සද්දේ විතරක් දාලා යන්න විතරද මන්දා. දැන් ඉතින් දෙන්න බැරි වෙච්ච ඉඳුල් ටික තව සතියක් පල් කරන්න වෙනවනේ. අනේ මන්දා.. ඔන්න ඕකයි කුණු ප්‍රශ්නේ තත්ත්වේ. සතිගණන් ගොඩ ගහලා තියාගෙන හිටපු කුණු, සමහර වෙලාවට ෆ්‍රිජ් එකේ ෂොපින් උරවල පවා ඔතලා තියන් හිටපු ඉඳුල් ටිකට අන්තිමට මෙන්න මේකයි උනේ කියන්නකෝ.. ඒකත් කමක් නෑ කියමුකෝ. බලන්නකෝ මේ අත්දැකීම මොනවගේද කියලා…

සමහර බෝඩිම්වල තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි හරි විදිහට කුණු දාන්න තැනක් නෑ. ගෙදර අයිතිකාරයෝ ලොකු ඉඩම පිරෙන්න ගේ හැදුවට, කුණු වලක් හදන්න එයාලට ඉඩ මදි වෙලාද කොහෙදෝ. සද්දේ නැතුව හිටියට මේ ප්‍රශ්නේ ඉතින් හැමතැනම තියෙනවා කියලා දන්නෝ දනිති. මේකේ හොඳම චූන් එක තමයි ඔයා ඉන්නේ නගරෙන් ඇතුලට වෙන්නනම් අඩු ගානේ තමන්ගේ කුණු ටික අරන් යන්න නගර සභාවේ කුණු ලොරියවත් ගේ ළඟට එන්නේ නැති එක. එතකොට වෙන්නේ ඉතින් සතියෙම කුණු ටික ටික පාර්සල් කරගෙන ගිහින් ඔෆිස් එකේ ඩස්බින් එකට දාන එක තමයි. මේක කරන්න කියන තරම් ලේසි නෑ. කුණු කියලා පේන්නේ නැති විදිහට පැක් කරන්න ඕනේ. ඒ මදිවට සතියක කුණු හින්දා ස්මෙල් එක නො එන විදිහට පැක් කරන්නත් ඕනේ. නැත්තම් කොහොමද නහයක් තියාගෙන බෝඩිමේ ඉඳන් ඔෆිස් එක ළඟට අරගෙන යන්නේ. ඒ විතරක්ද ඒ වගේ දවසක වෙනදට වඩා ටිකක් කලින් ඔෆිස් යන්නත් ඕනේ..මොකද හොදට ඔතපු පාර්සලයක් අතේ වන වන එනකොට කෑමක් කියලා උදුරගත්තොත් එහෙම කාඩ් කුඩේ කුඩු.. ඒ හින්දා සතියට එක දවසක් හරි ලස්සනට ඇඳගෙන, ලස්සනට පැක් කරපු කුණු මල්ලක් අතින් කටින් එල්ලගෙන සමහර අය ඔෆිස් යන අවස්ථාත් නැතුවම නෙවෙයි.

මේ කතාව කියන ගමන් මට තවත් කතාවක් මතක් උනා. හැබැයි මේක ගොතපු එකක් නෙවෙයි ඇත්ත කතාවක්. ඔන්න දවසක් කපල් එකක් මේ විදිහට හොඳට පැක් කරපු කුණු පාර්සලයක් අතේ තියාගෙන පාර අයිනට වෙලා කොහෙටද දාන්නේ කියලා කල්පනා කර කර හිටියා. දාන එක නෙවෙයි ප්‍රශ්නේ කවුරුත් නැති වෙලාවක එපැයි දාන්න..ඒකයි ඉතින් මෙයාලා ටික වෙලාවක් පාර අයිනට වෙලා වට පිට බල බල හිටියේ. කොහොමහරි හිතපු නැති වෙලාවක හයියෙන් රේස් කරගෙන කපල් එක ඉන්න තැනට ආපු බයිසිකලයක් එයාලගේ අතේ තිබ්බ පාර්සලය උදුර ගත්තේ ඇස් පිල්ලම් ගහන සැනින්. කපල් එකට උනේ මොකද්ද කියලා හිතාගන්න බැරි වුණා. හොරා ඒක ගන්න ඇත්තේ පෙනුමෙන් වටින දෙයක් කියලා වගේ දැනුන හින්දා වෙන්න ඇති. හැබැයි එයාට ඒක දිග අරිද්දි මොකක් හිතුනද කියලා නම් ඉතින් මටත් හිතාගන්න අමාරුයි. හැබැයි ඒ කුණු පාර්සලේ විසිකරන්න තැනක් හොය හොය හිටිය කපල් එකට හිතේ ඇති වෙච්ච ඒ සතුට,සැනසීම ගැන නම් මට හිතා ගන්න පුළුවන්.

එක පැත්තකින් අතේ පිළිවෙළකට ඔතන් යන කුණු පාර්සලයකට මේ වගේ වටිනාකමක් ලැබෙනකොට තවත් පැත්තකින් අනවසරයෙන් පාරවල් අයිනේ තියලා යන කුණු මලුවලට ලැබෙන්නේ වෙන විදිහක වටිනාකමක්. ඒ හින්දා තමයි පාරවල් ගානේ “කුණු දැමීම බල්ලන්ට පමණයි, කුණු දැමීම සපුරා තහනම් CCTV සවි කර ඇත, ගෙදර කුණු පාරට ගේන්න එපා, තැන  තැන කුණු කරන්නේ තිරිසන්නු…..වගේ බෝඩ් කෑලි පාරවල් ගානේ ලියලා එල්ලලා තියෙන තැනට අද වැඩ කටයුතු සිද්ධ වෙලා තියෙන්නේ. එදා ඉඳන් අද වෙනකම්ම මේ කුණු ප්‍රශ්නේ කිසි අඩුවක් නැතුව දිගටම ඇදීගෙන යනවා. කොහොම වුණත් අවසානෙට කියන්න තියෙන්නේ තැන තැන කුණු අත ඇරලා යන්නේ නැතුව තමන්ගේ කුණු කොහොමද හිතකර විදිහට බැහැර කරන්නේ කියන එක තමන්ගේ රාජකාරියක් කියලා හිතාගෙන වැඩ කරන්න කියන එක යි.

එෆ්. ෂර්මිලා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: