හිංසාවෙන් මිනිසුන් මියැදෙනවාට වඩා ආදරයෙන් මිනිසුන් උපදින එක කොච්චර හොඳද…. නේද වික්ටර් අන්කල්…

March 14, 2017 | 12:00 pm    0   469

හිංසාවෙන් මිනිසුන් මියැදෙනවාට වඩා ආදරයෙන් මිනිසුන් උපදින එක කොච්චර හොඳද…. නේද වික්ටර් අන්කල්…

හිංසාවෙන් මිනිසුන් මියැදෙනවාට වඩා ආදරයෙන් මිනිසුන් උපදින එක කොච්චර හොඳද…. නේද වික්ටර් අන්කල්…

මම ඒ දෙනත දෙස බලමි. කිසිදාක මා නොදුටු කඳුළක් නෙත් කෙවෙනි අග දිලිසෙනු මට පෙනෙයි .ඒ තුළින් මම ප්‍රේමය සොයමි.
”ස්වයංජාතව සිතේ මතුවන නැවුම් සිතිවිල්ලක්ද ප්‍රේමය
ලේ නහර ඇට මිදුළු විනිවිද රිදුම් දෙන හැගුමක්ද ප්‍රේමය”
සකල පිරිපත විඳ දරාගෙන මිය ඇදෙන සිතකට ජීවනය පිඹ පණ පොවන ප්‍රේමයට, පුර්විකාව සපයන්නට එවන් ආලයම දහම කොටගත් වියපත් දෙනතක් තරම් යමක් මේ මිහිපිට ඇද්ද ? ප්‍රේමය නමැති ආත්මීය බැඳීම කිසිදා වියපත් නොවන්නකි. මන්ද එය සිත තුළින් උපත ලබන්නක් බැවිණි. ගත දිනෙන් දින වියපත් වුවද සිත එලෙසින් වියපත් නොවේ. එහෙයින්ම ගතෙන් වියපත් වූ පුද්ගලයෙක් තුළ වුවද ප්‍රේමය හටගත හැක. එසේ ගතෙන් වියපත් වූ පුද්ගලයෙක් තුළ හටගන්නා ප්‍රේමණීය හැ`ගීමක් ලෝකයාට අසම්මතයක් විය හැකිද? අද මේ වියපත් රත්නායකයන්ගේ දෙනෙතින් පුනර්ජීවනය ලැබ පණ ගසා නැගිට එන්නේ ආලයම නොවේද? සඳ එළිය ඒ දෙහිත යා කරන අදිසි පාලමක් වුයේද? සහසක් ප්‍රේමණීය කල්පනා ඒ පාලම මතින් කුර ගගා විත් දෙහද ආනන්දයෙන් සුවපත් කළේද?

සංගීතය වූ කලී ජනකායකගේ හදගැස්මේ රාව භාවය අතිශය සියුම් ලෙසත්, යථාර්ථවාදී ලෙසත් සවනට හා මනසට ස්පර්ශ වන සේ හැඬවිය හැකි ප‍්‍රබල මාධ්‍යයකි. මානව සන්තානගත උත්තරීතර සාරධර්මයන් පුබුදු කොට එමගින් ජනතා සිතුම් පැතුම් හා හැඟුම්වල ඒකමිතියක් ජනනය කිරීමේ අපූර්ව ශක්තියක් සංගීතය තුළ අන්තර්ගත වෙයි. මිනිසාගේ භාවමය ජීවිතය හා අනවරතයෙන් බැඳී පවතින මේ මාහැඟි කලා මාධ්‍යය තුළින් යට කී අභිප‍්‍රායයන් හා අර්ථ සිද්ධීන් සාක්ෂාත් කර ගත හැකි වනුයේ ස්වකීය මාධ්‍යය පිළිබඳ කලාත්මක ශික්ෂණයක් ලැබූ සංගීතඥයෙකුට පමණකි. වික්ටර් රත්නායකයන් එබන්දෙකි. සැලූම් වෙව්ලූම් කන, ඇතිවෙමින් බිඳෙමින් යන ලෝක ධර්මයක් හමුවේ ඉන්ද්‍රඛීලයක් සේ නොසැලී සිටීමේ ආත්ම ශක්තිය ලබන්නේ භාවනාවෙන් තම ඉඳුරන් හික්මවා ගත් මුනිවරයෙකු පමණි. උසස් සංගීතඥයාද ළං වන්නේ එබඳු මුනිවරයෙකුටය. සංගීත සමාධියකින් ඔහු සිය අධ්‍යාත්මය හික්මවා ගත් බැවින් ඔහුගේ ඇඟිලිතුඩ`ගින් හැඬවෙන තතින්, මුවින් පිටවෙන ගී සරින් නින්නාද වන්නේ මිනිසා යුගයෙන් යුගයට හඬ ගා පවසන සදාතනික පණිවුඩයයි. එනම් සිනහව කඳුළ දෙකම, නොඑසේ නම් උපත මරණය දෙකම මිනිසා සතු පොදු උරුමයක් බවයි. වික්ටර් රත්නායකයන් ශ‍්‍රී ලංකාවේ බිහිවූ විශිෂ්ටතම සංගීතඥයෙක් – ගායන ශිල්පියකු බවට පත්වූයේ පූර්වෝක්ත පණිවුඩය කලාත්මක චමත්කාරයක් දැනවෙන සේ පරිසමාප්ත ලෙස ඉදිරිපත් කළ හෙයිනි. ඒ සඳහා ඔහු ආවේශය ලැබුවේ දෙදහස් තුන්සිය වසරක දීර්ඝ කාලයක් මුළුල්ලේ මේ රටේ ජනතාව හික්ම වූ නිදහස් බෞද්ධ සම්ප‍්‍රදායෙනි. පාලි භාෂාවෙන් සුපෝෂිත වූ හෙළ බස් රීතියෙනි.

1942 පෙබරවාරි මස 18 වන දින කඩුගන්නාවේදී සොයුරු, සොයුරියන් දහ දෙනෙකුගෙන් යුතු පවුලක තුන්වැන්නා වී උපත ලැබීය. පියා ජේමිස් රත්නායකය. මව සුමනාවතී මායාදුන්නය. 1946 දී කඩුගන්නාවේදි මහා විද්‍යාලයෙන් පාසැල් ජීවිතය ආරම්භ කළේය. පසුව උත්තර භාරතීය රාගධාරි සංගීතයේ මූලධර්ම අභ්‍යාසත්, ගායනයත්, වයලීන් හා තබ්ලා වාදනයත් පිළිබඳ දැනුමක් ලබාගත් ඔහු ”ප‍්‍රාරම්භ” සහ ”මධ්‍යම” යන සංගීත විභාගවලට පෙනී සිටියේය. ගායන හා වාදන යන දෙඅංශයෙන්ම ගාන්ධර්ව, මධ්‍යම විභාග සමත් විය. ගුවන් විදුලි සංස්ථාවේ ”ඒ්” ශ්‍රේණියේ ගායකයෙකු වශයෙන් 1965 දී තම ප‍්‍රථම සරල ගී වැඩසටහන ඉදිරිපත් කෙරිණි. ප‍්‍රථම ගීතය වූයේ අරිසෙන් අහුබුදුගේ ”සිඳ බිඳ මොහදුරු පාප” ගීතයයි. ”ගොළු මුහුදේ මුතු ඇටේ සහ ඈත පෙනෙනා හිමිවු කඳුමත” ගීතය ඵදින ඉදිරිපත් කළේය. ගුවන්විදුලි තැටි ගතවූ පළමු ගීතය පියසේන කොස්තා ලියූ ”දෙවඟන පරදන කොමල කතා” ය. වෙළඳ සේවයේ ප‍්‍රථම සරල ගී වැඩසටහනට ගැයු ”මයුරාසන මත වැඩ හිඳිනා” සහ ”ඔබේ සෙවැණැල්ල වගේ නම්” වැනි ගීත ජනප‍්‍රිය විය. 1966 දී සංගීත ගුරුවරයෙකු ලෙස මුලින්ම බණ්ඩාරවෙල ඇත්තලපිටිය මහා විද්‍යාලයට පත්වීමක් ලැබිණි. ඔහු 1966 දී නොවැම්බර්  1 දා චිත‍්‍ර  රත්නලතා ජයසිංහ සමඟ විවාහ විය. ඔහුට ජයන්ත, චාන්දනි, මංජුලා හා ලෙළුම් වශයෙන් දරුවන් සිව් දෙනෙකි.

රෝමාන්තිකත්වයේ දොරකඩ සිට ගීතය පරිපෝෂණය කෙරූ විකටර් රත්නායකයන් හෙන සරල සුගම නිහතමානී මහත්මා ලක්ෂණයකි. කිසිදා වියපත් නොවන ඔහුගේ මධුර ස්වරයෙන් ආදරය ගැන අරුත්බර වදන් නිතර ගිලිහිණි. ඒවා ඇත්ත වශයෙන්ම රෝමාන්තිකභාවයේ උපරිමය කරා අප සන්තර්පණය කරන්නට තරම් සමර්ථ වූ ඒවා බව කීම කිසිසේත්ම අතිශයෝක්තියක් නම් නොවේ. පෙම්වතිය හමුවීමට යාමට තමන්ට බාධා කළ වැස්සට පවා ඔහු ගී කීවේය. අප මල් මිටක් දෝතට ගන්නට පෙර ඔහු තොටුපල අයිනේ සිට අතවැනුවේය. රැඩිකල් ප්‍රේමය ගැන ගයන්නට පෙර ඔහු පෙම්බර මධූ ගැන ගැයුවේය. ආදරණීය වස්සානය ගැන ගයන්නට පෙර ඔහු හිතමිතුරු සුළගට කතා කීවේය. සඳ සඳ වගේ කියා ගයන්නට පෙර ඔහු සිය ස්වරයෙන් සඳ හිරු තරු නිහඬව පවතින තුරු ප්‍රේක්ෂක හදවතේ ලැගුම් ගත්තේ ය. ලංකාවේ වසන කුහක මනුසතුන් හට ඒ සදාකාලික තාරුණ්‍යය, ලංකා ගීත සාහිත්‍යය නමැති තරු වළල්ලේ සූර්ය තාරකාව උහුලාගත නොහැකි වූයේය. කලක් දුම්පානයෙන් අපවාද විඳි ඔහු එයින් මිදුණු විට ඒ මනුසතුන් නිහඬ විය. නැවතත් ඔහුට මඩ ගසන්නට ඔවුන් පෙළඹී සිටින්නේ (අ*සම්මත යැයි ඔවුන්ම කියා ගන්නා විවාහයක මුවාවෙනි. ලිංගික දුබලතා ඇති පිරිමින් සදාචාරය ගැන දේශනා පවත්වන්නේ අන් පිරිමින්ගේ ගැබ්බර ගැහැණුන් දුටු කළ බව අප තරයේ සිත්හි තබා ගත යුතුය. මනුෂ්‍ය සන්තානයේ අති ගැඹුරු කලාපයන් කරා කිමිද හෘදතත් එකින් එක සීරුවට සුසර කරමින් ඔහු පෑ ස්වර පෙළහර අප හමුවෙහි වෙසෙස් අභියෝග මවන්නේ, වික්ටර් රත්නායක නම් ඒ මහා කන්ද මේ අපවාද අභියෝග ජයගන්නේදැයි හොරැුහින් බලමින්ට. ආදරය සුප් හොද්දක්, රෝසමලක්, හාදුවක් යන මානයෙන් ඔබ්බට ගොස් ආදරය ජීවිතයට පන්නරයක් වන්නේ, ආදරයේ සුන්දරත්වය හඳුනාගත්, වැඩිහිටියන්ගේ මනා ප‍්‍රතික‍්‍රියාවෙනි.

වික්ටර් රත්නායකගේ කණිටු පුත් ලෙලූම් රත්නායක අද සයිබර් අවකාශයට මුදා හැර ඇති වීඩියෝව නරඹන අවස්ථාවේ එහි කියවුණු යම් යම් කරුණු පිළිබඳව සිත තරමක් හෝ හැඟුම්බර වුණ ද, ඔහු කී එක්තරා අමන කතාවක් නිසා සැත්තෑ පස් වියැති වැන්දඹු වික්ටර් රත්නායක වයස තිස් තුනක කාන්තාවක් හා විවාහ වීම යනු මේ වසරේ ලංකාව තදින්ම හෙල්ලූ සිද්ධිය බව නම් පැහැදිළි ය. 1984 වසරේදී 1000 වන වතාවටත් ”ස” ප‍්‍රසංගය පැවැත්වූ වික්ටර් සතු කෝටි පහක් ඉක්මවන වත්කම් ඔවුන්ට හිමි නොවීම මේ සදහා උපයෝගිතා සපයන ප‍්‍රබලතම උත්තේජකය වනන්ට ඇත. ප‍්‍රසිද්ධ පුද්ගලයෙකු හා සම්බන්ධ කතාවක් වුවද, මෙය එක අතකින් සරල  ඕපාදූපයකි. සමහරු අසා තිබුණේ අර සුපුරුදු ප‍්‍රශ්නයමයි. එනම්, ”හා උඹේ දුවක් ඔය වයසෙදී නාකි මිනිහෙකු හා කසාද බැන්ඳොත් උඹ ඔහොම කියයි ද?” යන්නයි. එසේ අසන අයට තියෙන්නේ ලෙලූම් රත්නායකටත් එහා ගිය ප‍්‍රශ්නයක් බව කිව යුතු නැත. ඔවුන් හිතන්නේ වැඩිවියට පත් ගැහැනුන් සහ පිරිමින් තමන්ගේ පුද්ගලික කටයුතු කළ යුත්තේ තම කැමැත්ත පරිදි නොව පවුලේ අයට අවශ්‍ය විදියට බවය. ලෙලූම්ට අනුව, වයස හැත්තෑ පහේ වික්ටර් රත්නායකට මේ වයස තිස්තුනේ තරුණිය විසින් වශී ගුරුකමක් කර, ඔහුගේ සිත වශී කරගෙන ඇත. ලෙලූම් ඒ කියන්නේ වසර පනහකටත් වඩා කාලයක් තුළ දහසක් පෙම් ගී ගැයූ වික්ටර් රත්නායකට ඇත්තටම නැවතත් කාන්තාවකට ආදරය කිරීමේ හැකියාවක් නැත, මේ ආදරය ඉනාවක් කැවීම, වශී ගුරුකමක් කිරීම වැනි බ්ලැක් මැජික් එකක් නිසා ඇතිවුණු කෘතිම එකක්ය යන්නයි. ඊටත් වඩා ඔක්කාරය ඇති කරවන කාරණය නම්, ලෙලූම් රත්නායක වැනි තරුණයෙකු මේ ඉනා, වශී ගුරුකම් වැනි දේ විශ්වාස කරනවාය යන්නයි. වසර සීයකට පෙර, බහුතර ලාංකික ජනතාව අතර අවිද්‍යාව රජ කළ සමයේ තරුණයෙකු මෙසේ සිතුවා නම් එක අතකට කම් නැති යැයි සිතිය හැක. තම පියා මේ ඉනාවෙන් බේරා ගන්නට ආගමික වශයෙන් කටයුතු කරන ලෙසත්, යාඥා කරන ලෙසත්, බෝධි පූජා පවත්වන ලෙසත් ඔහු අපෙන් ඉල්ලා සිටී.

වික්ටර් රත්නායකයන්ගේ පුතණුවන් ලෙලූම් රත්නායක මේ අර්බුදය හමුවේ දක්වන ප‍්‍රතිචාරය පුදුමයක් නොවේ. මෙකල දරුවන් සිය පෞද්ගලික සම්බන්ධතා පවත්වන්නේ තාක්ෂණික මෙවලම් සමඟ යථාර්තයක්ද නොවූ කල්පිතයක්ද නොවූ ආඛ්‍යාන රීතියක හිඳ වඩා උවමනාවෙන් තත්පර ගලපමින්ය. එවැනි දේ ජීවිත අර්බුද විසඳාගන්නා අයුරු ප‍්‍රායෝගිකව කියා දෙන්නේ නැත. මිනිස් ඇසුරෙන් හා පරිසරයෙන් ඈත් වී වැඩෙන දරුවන්ගේ අනාගතය දැකීමට වික්ටර් සමත් වෙයි. එහිදී පුරුදු පරිදි වික්ටර් අප හමුවේ තබන්නේ ඔහු අනාගතය ගැන දකින සමාජ යථාර්ථයන්ය. තම බිරිඳ වියෝ වී වසර 13ක් වන බව බවසන ඔහු බොහෝ දෙනාට ගැටළුව වී ඇත්තේ තම වයස හා දෙවන බිරිඳගේ වයස බවත් සඳහන් කරමින් ලංකාවේ මෙවැනි විවාහයන් සිදුවෙලාම නැද්දැයි ප‍්‍රශ්න කරයි.

මෙලොව  ඕනෑම සත්වයෙක්ට ආදරය උවමනා බවත් ඊට වයස, කුල, මල, ආති, ආගම්, සීමා නැතැයිද පවසන වික්ටර් රත්නායක මහතා ජනතාවට තමන් විවේචනයට අයිතියක් ඇතත් එම අයිතිය ඇත්තේ ඔවුන් සහ තමන් අතර සංගීතය පිළිබඳව කාරණයේදී මිස පුද්ගලික ජීවිතය ගැන නොවන බවද කියයි. තම පුද්ගලිකත්වය විවේචනය නොකර තම සංගීතය විවේචනය කරන ලෙසද ඔහු අවසන් වශයෙන් ඉල්ලා සිටී.

පහදා කියනු නොහැකි හැඟුමකින් ඒ නෙත පිරී ඇතයි මට සිතේ. මම කිසිත් නොකියමි. මේ මොහොත ඒ සමාධිය බිඳ දැමීම තරම් නොවේ.

කලංගි රොද්‍රිගෝ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: