හිතේ දුකට මහරගම පිළිකා රෝහලේ ඉඳන් කතරගමට පයින් යත්දී මරුවා එක්ක ගිය අපේ තාත්තා

July 27, 2017 | 3:49 pm    0   144

හිතේ දුකට මහරගම පිළිකා රෝහලේ ඉඳන් කතරගමට පයින් යත්දී මරුවා එක්ක ගිය අපේ තාත්තා

පෙරුම් පුරලා පුරලා දරුවෙක් අම්මා කෙනෙක්ගේ කුසේ පිළිසිඳගත්තට පස්සේ ඒ අම්මා, තාත්තා ඒ ගැන කොච්චර නම් හීන දකිනවද? බලාපොරොත්තු ඇති කරගන්නවද? පොඩි එකාට හොඳට උගන්වන්න, හොඳ ඉස්කෝලෙකට දාන්න, හොඳ නරක කියලා දෙන්න, සමාජයේ ඉහළ තැනකට ගේන්න එයාලා සෑහෙන්න වෙහෙස මහන්සි වෙන්නෙත් ඒ නිසාමයි. දරුවො කියන්නේ සම්පතක්. කලාතුරකින් කෙනෙක් හැරුණම අනිත් හැම අම්මා කෙනෙක්ම තාත්තා කෙනෙක්ම ඒක තේරුම් අරගෙනයි ඉන්නේ. ඒ නිසා පුළුවන් උපරිමයෙන් දරුවන්ගේ ජීවිත ලස්සන කරන්න අම්මලා, තාත්තලා තමන්ගේ ජීවිත කැප කරනවා.

ඒ කැපකිරීම කවදාවත් ගෙවලා ඉවර කරන්න බැරි, වටිනාකම මේ තරම් කියලා හිතාගන්නවත් බැරි දෙයක් බව දරුවන්ට හරියටම තේරුම් යන්නේ එයාලත් ජීවිතේ අත්දැකීම් එක්ක ටිකෙන් ටික පරිණත වන විටයි. සමහර විට ඒ එයා කවදා හරි අම්මෙක් තාත්තෙක් වුණ දවසට වෙන්නත් පුළුවන්. අම්මට තාත්තට දරුවෙක්ව මොන තරම් වටිනවද, ඒ තරමින්ම දරුවන්ටත් තමන්ගේ අම්මගේ තාත්තගේ වටිනාකම දැනෙනවා. ඒ බැඳීම ඒ තරම්ම ශක්තිමත්. හැබැයි ඒ බැඳීම් ශක්තිමත්කම වටහා නොගත්ත, තමන් වෙනුවෙන් දෙමව්පියන් කළ ඒ කැපකිරීම්වල වටිනාකම තේරුම් නොගත්ත දරුවනුත් අද සමාජයේ ඉන්නවා කියලා කණගාටුවෙන් වුණත් කියන්න වෙනවා. කාත් කවුරුත් නැතව අසරණ වෙලා හිටපු තාත්තා කෙනෙක් පහුගිය දවසක ගාල්ලේ මහමඟ මියයාමේ සිද්ධිය මීට ආසන්නතම සිදුවීමයි.

නමින් ජෝසප් ඇන්ටන් වුණ මේ පුද්ගලයා දරුවො පස් දෙනෙකුගේ තාත්තා කෙනෙක්. කෙටියෙන්ම කිව්වොත් පුතාලම පස් දෙනෙක්. පහුගිය 16 වනදා ගාල්ල නගරයේ වෙළඳසැලක් ඉදිරිපිට මිය ගිහිල්ලා ඉඳපු මේ තාත්තා පිළිකා රෝගයකින් පෙළෙන කෙනෙක් බවයි පොලීසිය කියන්නේ.

මියයනවිටත් ඔහුගේ කමිස සාක්කුවේ තිබුණු ඔහුගේම අත් අකුරින් ලියා ඇති බවට සැක කළ හැකි විදිහේ ලිපියක් එතනදී පොලීිසිය විසින් සොයාගෙන තියෙනවා. කතරගම, බුත්තල, මහවත්ත බස්නැවතුම අසල ජීවත් වූ බව කියන මේ තාත්තා උගුරේ පිළිකාවක් නිසා හරි ආකාරව කතා කරගැනීමටවත් නොහැකිව අසරණව සිටි බවත්, ඒ වෙනුවෙන් කරාපිටිය සහ මහරගම රෝහල්වලින් නේවාසිකව ප්‍රතිකාර ලබාගත් බවත් ඒ ලිපියේ සඳහන් වෙලා තියෙනවා.

බිරිඳ ද මේ වනවිට මියගොස් ඇති අතර පුතුන් පස්දෙනා ද තමන්ට සැලකීමට තරම් උනන්දුවක් නොමැති වීමෙන් අන්ත අසරණ තත්ත්වයට පත්ව ඇති බවත්, මියගිය ජෝසප් ඇන්ටන් ලිපියේ සටහන් කරන්නට ඇත්තේ කෙතරම් සිත් වේදනාවකින්ද යන්න තේරුම් ගැනීම, හැඟීම් දැනීම් ඇති ඕනෑම අයෙකුට එතරම් අපහසු කාරණාවක් නොවේ.

කර දණ්ඩ උස් මහත් වුණු මෙවැනි පුතුන් පස්දෙනෙකු ගොඩනඟන්නට මේ තාත්තා කෙතරම් දුක් විඳින්නට ඇත්ද? කෙතරම් කැපකිරීම් කරන්නට ඇත්ද? ඒ සියල්ල අවසානයේ ජීවිතයේ අවසන් සමය දරුවන් සමඟින් ගෙවන්නට කෙතරම් හීන දකින්නට ඇත්ද? නමුත් ඒ සියල්ල අවසානයේ බොඳව යන්නේ ජීවිතයේ සැදෑ සමයේ දරු සැලකිල්ලක් ලබන්නට තරම් ඇන්ටන් වාසනාවන්ත නොවීමත් සමඟිනි.

මහරගම පිළිකා රෝහලේ සිට ප්‍රතිකාර ලබා නිවසට යාමට අවසර ලැබූවද ඔහු වෙනුවෙන් කිසිඳු භාරකරුවෙකු පැමිණ සිටියේ නැහැ. කබලෙන් ලිපට වැටුණාක් බඳු මේ සිද්ධිය හමුවේ රෝගී ඇන්ටන් අන්ත අසරණ තත්ත්වයට පත්වන්නේ ඒ වනවිට එක රුපියලක් හෝ ඔහු අත නොතිබීම නිසයි. සියලු වේදනා හිතේ දරාගත් මේ අසරණ තාත්තා පසුගිය ජූනි 09 වනදා මහරගම සිට කතරගම දක්වා පයින්ම ගමන් කිරීමට තීරණය කරමින් සියලු විස්තර සඳහන් ලිපියක් මෙලෙස ලියා තබන්නේ මින් එහා ඔහුට ඔහු වෙනුවෙන් කළ හැකි යමක් නොවන බව වටහා ගත් නිසා විය යුතුයි.

එතැන් පටන් කතරගම දක්වා ගමන් ඇරඹූ ඔහු කිසිවෙකුගේ හව්හරණක් නොමැතිව පා ගමනින්ම ගාල්ල දක්වා පැමිණීමට ගත වූ මාසය මුළුල්ලේ විඳි දුක් කන්දරා ප්‍රමාණය නම් සුළුපටු වන්නේ නැහැ. පිළිකා රෝගයකින් පීඩා විඳි මේ තාත්තා ඔහුගේ දරුවන්ට පිළිකාවක් වුණේ කොහොමද?

ඔහුගේ දරුවන්ට පිළිකාවක් වුණේ කොහොමද? ඔවුන්ට උස් මහත් කරන්නට තාත්තා කළ කැප කිරීම් අමතක වුණේ කොහොමද? සැබැවින්ම ප්‍රශ්නයක්.

මහමඟ මියගොස් සිටි ඇන්ටන්ව සොයාගෙන මේ වන විට දින කිහිපයක් ගතව ඇති නමුත් තවමත් ඔහුගේ දේහයට අයිතිවාසිකම් කීමට කිසිවෙකු ඉදිරිපත් නොවීමද ඛේදවාචකයකි.

මොනයම් හෝ හේතුවකට මේ තාත්තා යහමින් මුදල් ඉපැයූ ලොකු බූදලයකට හිමිකම් කී තාත්තෙකු වූයේ නම් මෙලෙස මහමඟ හිඟන්නෙකු සේ මිය යාමට ඉඩ නොලැබෙන්නට තිබුණි.

එසේත් නැතිනම් බූදලය බලාපොරොත්තුවෙන් හෝ ඔහුගේ දේහය බාර ගැනීමට එක් දරුවෙකු හෝ ඉදිරිපත් වීමට ඉඩ තිබුණි.
කෙසේ වෙතත් පුතුන් පස් දෙනෙකුගේ පියෙක් වූ ඇන්ටන්ගේ තනිවුණ ජීවිතය දහසකුත් දුක් කන්දරා විඳ එලෙස අවසන් විය. මේ එක් තාත්තෙකි.

මෙලෙස තනි වූ තාත්තලා බොහොමයක් අපි අවටම සිටිය හැක. එවැනි වූ කෙලෙහි ගුණ නොදත් දරුවන්ද සිටිය හැක. ධර්මිෂ්ඨ, දියුණු යැයි කියා ගන්නා අප රටේ තවත් එක් අඳුරු පැතිකඩක් කියා පාමින් සිදු වූ මේ ඛේදජනක සිදුවීම එවැනි වූ දරුවන්ට වැරදි නිවැරදි කරගැනීමට දැල්වුණු රතු එළියක් බවත් අවසානයේදී මතක් කර සිටිය යුතුයි.

රිද්මි පතිරණ
ගාල්ල – ටොත්මල් නානායක්කාර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: