හිරිමල් වික්ටර් හා 60 පැනපු ලෙලුම්

March 13, 2017 | 2:00 pm    0   503

හිරිමල් වික්ටර් හා 60 පැනපු ලෙලුම්

ඔහු ජීවිතයේ බොහෝ දුර ගෙවා ගොස් ඇත. දුක් ‍ෙදාම්නස්, සිත් තැවුල්, ආදරය කරුණාව ආදී සියලු මානව හැඟීම් වින්දනය කළ ඔහු දැන් ගෙවන්නේ ජීවන ගමනේ 75වන කඩඉමය. කළුවන් හිසකෙස් ද, නොපැසුණ ඝනකම් රැවුල ද, ශක්තිමත් මාංශපේශි සහිත රැළිනොවැටුණ සම ද ඔහු හැරගොස් බොහෝ කල්ය. ඔහු තාරුණ්‍යය ඉක්මවා ඇත. මේ ඔහුගේ බාහිර ස්වරූපය දකින බොහෝ දෙනා තුළ මේ මොහොතේ ඇතිවෙන සිතුවිල්ලය. එහෙත් ඔහුගේ මනස, ඔහුගේ සිතුවිලි කිසිවෙකුට එය දැකිය හැකි ද? එහි මහළුකම හෝ තාරුණ්‍යය මනින සාධකයක් තිබේද? නැත. ඒ නිසාම ඔහු මනසින් තවමත් තරුණ යැයි යමෙකුට නිගමනය කළ හැක.

මන්ද සිතුවිලි මෙන්ම හැඟීම් මනස තුළ හටගන්නේ වයස් භේදයකින් තොරව වන නිසාය. ඒවා දිනෙන් දින අලුත් වන නිසාය. එසේ නම් මෙවන් ප්‍රශ්නයක් ද අපට ඔබගෙන් ඇසිය හැක. ගතින් මහළු වූ සිතින් තරුණ වූ මිනිසෙකුට ප්‍රේමය ඇකැපද? ප්‍රේමය කිසිවෙකුට අකැප නැත. හිරිමල් යෞවනයාට ද 50 විය ඉක්ම වූ මහල්ලාට ද ප්‍රේමය විඳින්නට එක සමාන අයිතියක් ඇත. ප්‍රේමය සිතුවිල්ලකි. එසේ නම් එයට වාරණ නියෝග පැමිණවිය නොහැක. එනයින් සියලු මිනිසුන්ට ඇති ඒ අයිතිය විඳගන්නට වික්ටර් රත්නායක නම් සොඳුරු මිනිසාට ද අයිතියක් නැතැයි අපට කිව නොහැක. මන්ද ඒ ඔහු තුළ උපන් ඔහුගේ සිතුවිල්ලක් වන නිසාය.

වික්ටර්, ඔහු ගී ලොව අප සැමගේ වීරයයාය. හිත මිතුරු සුළගේ සිට තනිතරුව දක්වා ප්‍රේමයේ රසමුස තැන්ද, වියෝගයේ දුක්ඛ දෝමනස්සයන් ද අපට පහදා දුන් ළයාන්විත මිත්‍රයාය. අපට කියා දුන් ඒ ප්‍රේමයේ වියෝව ඔහු ද විඳින්නට ඇත. ඒ සිය බිරිඳගේ මරණය තුළිනි. යුතුකම් සියල්ල ඉටුකරමින් ආදරය කරුණාව දැක්වූ දරුවන්ද තම තමන්ගේ ප්‍රේමයන් තුළ කූඩු තනාගෙන අවසන්ය. අවසානයේ ඔහු හුදකලා තනි තරුවකි. ඒ නිසාම ඔහු පාළුව තනිකම තුළ ප්‍රේමණීය වන්නට ඇත. ඔහු සොයා ගිය තරමටම ප්‍රේමය ඔහු සොයා එන්නට ඇත. ඇය ඔහුට වඩා බෙහෙවින් ලාබාලය. එහෙත් ඔවුන්ගේ ප්‍රේමය ඇය මෙන්ම හිරිමල්ය. එහෙයින් ඔහු කූඩුවක් තනා ඇත. ඉතින් එය වරදක්ද? අප ඔහු ගැන ලැජ්ජාය යුතුද? නැත ඔහු ගැන ආඩම්බර විය යුතුය. ඒ ඔහු රටෙහි බොහෝ දෙනාට ජය ගත නොහැකි අභියෝගයක් ජයගත් බැවිනි. සංස්කෘතිය, සමාජ බාධක බොහෝ දේ ඉදිරියේ ප්‍රේමය සඟවාගෙන දෙතැනක දුක් විඳින සියලු පෙම්වතුන්ට, පෙම්වතියන්ට ඔහු දුන්නේ ආදර්ශයකි. එහෙයින් ඔහු දැන් ගී ලොවේ පමණක් නොව පෙම් ලොවේ ද අප සැමගේ වීරයා විය යුතුය.

දැන් ලෙලුම් දෙසට හැරිය යුතුය. ඔහු වික්ටර් රත්නායක නම් ගී ලොවේ රජ්ජුරුවන්ගේ කනිටු පුත්‍රයාය. එහෙයින් ඔහු ගී ලොවේ කුමාරයෙකු හෝ විය යුතුය. එහෙත් ඔහු කවරෙක් ද? ලාංකීය ගීත කලාව පෝෂණය කරන්නට ඔහු කර ඇත්තේ කුමන සේවයක් ද? ඔහු නොමිලේ ගී ප්‍රසංග කීයක් නම් පවත්වා ඇත් ද? කිසිවක් කර නැත. එහෙත් ඔහු දැන් සමාජයෙන් යම් දෙයක් අයදී. ඒ පියාගේ ප්‍රේමයට වැට කඩොළු බඳින්නට සහයෝගය යි. දැන් පෙරලා ප්‍රශ්නයක් ඇසිය හැක. ඒ ඔහු සමාජයෙන් ඉල්ලන ලද උදව්ව ඉටු කරන්නට ඔහු සමාජයට ඉටු කර ඇති සේවය හෝ යුතුකම කුමක්ද? කුමක්වත් නැත. එහෙත් විකටර්. නැවතත් ගී ලොව අප වීරයාය. එහෙත් ඔහු ප්‍රේමය රැක ගන්නට අප කිසිවෙකුගෙන් උදව් ඉල්ලන්නේ නැත. එහෙයින් ඔහු නැවත සමාජය ඉදිරියේ වීරයෙකු වෙද්දී ලෙලුම් දුෂ්ටයා වී අවසන්ය. වික්ටර් ගතින් මහළු වූ ද සිතිවිල්ලෙන් තරුණයෙකි. ඔහු ඉදිරියේ ලෙලුම් වනාහි ගතින් තරුණ වුවද සිතුවිල්ලෙන් මහල්ලෙකි. මේ දිනවල පියා කෙරෙහි ඔහු තුළ හට ගෙන ඇති ද්වේෂය සැබෑවටම පියා කෙරෙහි ඇති ලෙන්ගතුකමින් හෝ ප්‍රේමයෙන් ඇති වූවක් දැයි කවරෙකුට හෝ සැකයක් ඇති වන්නේ නම් එහි පුදුමයක් නැත. මන්ද වික්ටර් රත්නායක නැමති මහා කලාකරුවාගේ ගීවල ඔහුගෙන් පසු උරුමය ගැන මේ මොහොතේ ලෙලුම්ගේ සිත තුළ ද ප්‍රශ්නයක් නැතැයි කිව නොහැකි බැවිනි. ලෙලුම් පියා ගැන කරන සියලු ප්‍රකාශයන් හුදු සෙනෙහස පදනම් කරගත් සිතුවිලි පමණක් නොවේ යැයි ඇපල් අපට සිතෙන්නේ එහෙයිනි.

ඊළඟට කතා කළ යුතු තවත් පිරිසක් සිටී. ඒ වික්ටර්ගේ ප්‍රේමය දෙස කුහකත්වයෙන් බලන 50 විය ඉක්ම වූ ද, ඉක්ම නොවූවන් ගැනය. ලංකාවේ බොහෝ දෙනා සංස්කෘතික කඩතුරාවකින් වහන් වී සිටින බව කාටත් රහසක් නොවේ. එහෙත් මේ මොහොතේ නම් ඒ සියලු දෙනා වික්ටර් නම් සොඳුරු කලාකරුවා කෙරෙහි බලපවත්වන්නේ සංස්කෘතික කඩතුරාව ඉක්මවා ගිය ලිංගික ඊර්ෂියාව හා කුහකත්වය බව නම් පැහැදිළිය. මන්ද ඔහු ඔවුන් කිසිවෙකුට අත්පත් කර ගත නොහැකි විජයග්‍රහණයක හිමිකරු වී ඇති නිසාය. එහෙයින් අවසන් වශයෙන් කීමට දෙයක් අපට ඇත. දයාබර වික්ටර්, ඇපල් අපට නම් ඔබ සැබෑ වීරයෙකි…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: